සඳකැන්, කසුන් කොදෙව් සිහින බොඳ කරයි?

713
SL vs WI

සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සිව්දින ටෙස්ට් තරගයේ තෙවන දිනය අද (20) රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය. අද දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේ මෙන්ම මෙම තරගාවලියේ ද වැඩි වාසිය අත්පත් කරගැනීමට සමත් විය.

පසුගිය ලිපි: කොදෙව්වන්ගෙන් දෙවන දිනයේ දී කරට කර තරඟයක්

අද දිනය ආරම්භ කරන විට කොදෙව් කණ්ඩායම තම පළමු ඉණිමට කඩුලු 4ක් දැවී ලකුණු 183ක් ලබාතක සිටි අතර ඒ වන විට කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කල ශම්රා බෲක්ස් 4 පහර 5ක් සමගින් නොදැවී ලකුණු 43ක් හා ජමාර් හැමිල්ටන් නොදැවී ලකුණු 5ක් ලබාගෙන සිටියේය.

අනතුරුව තෙවන දිනයේ පළමු කඩුල්ල ලෙස 4 පහර 7ක් සමඟින් නායකත්වයේ ඉණිමක් දියත් කල ශම්රන් බෲක්ස් ලකුණු 54කට දවාලීමට කසුන් මදුසංක සමත් විය.

ඡායාරූප ඇල්බමය

විශිෂ්ට හා අත්දැකීම් බහුල කොදෙව් A පිතිකරණයේ තිදෙනෙකුට හැරෙන්නට අන් කිසිවෙකුට ලකුණු 15 සීමාව පසුකර යෑමට සිංහ A පන්දු බල ඇණිය ඉඩ ලබා දුන්නේ නැත.

අවසන් කඩුලු 5 ලකුණු 44ක් තුල දවාලමින් ලක්ෂාන් සඳකැන් හා කසුන් මදුසංක ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සුපිරි දස්කම් දක්වමින් කොදෙව්වන් අන්ත අසරණ තත්ත්වයකට ඇඳ දැමීමට සමත් විය.

කොදෙව් A පළමු ඉණිම – 243/10 (61.4): ශිම්රන් හේට්මයර් 94, ශම්රා බෲක්ස් 54, රහකීම් කෝන්වල් 25, කසුන් මදුසංක 3/45, ලක්ෂාන් සඳකැන් 3/54

ලකුණු 75ක පළමු ඉණිමේ වාසිය ද ඇතිව දෙවන ඉණිම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවූ අතර පළමු ඉණිමේ අර්ධ ශතක ලබාගත් කුසල් ජනිත් හා සඳුන් වීරක්කොඩි දෙවන ඉණිමට ද ලකුණු 67ක සුපිරි ආරම්භක සබඳතාවයක් ලබා දීමට සමත් වූහ. පළමු කඩුල්ල ලෙස ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන කුසල් ජනිත් ලකුණු 20කට දැවී ගියේය.

කුසල් දැවී ගොස් පන්දු කිහිපයකට පසු පළමු ඉණිමේ ලකුණු 79ක් ලබා ගත් සඳුන් වීරක්කොඩි 4 පහර 7ක් සමගින්, අර්ධ ශතකය පෙනෙන මානයේ සිටියදී ලකුණු 48කට කඩුල්ල මුවා කිරිමකට හසුකරීමට රහකීම් කෝන්වල් සමත් විය.

ඉවසිලිමත්ව පිතිකරණයේ නිරත වුනු නායක ලහිරු තිරිමාන්න මෙම ඉණිම තුල දී 4 පහර 2ක් සමගින් ලකුණු 27ක් ලබාගෙන සිටියදී තෙවන කඩුල්ල ලෙස ලකුණු 63ක සාර්ථක සබඳතාවයකට තිත තබා ක්‍රීඩාගාරයේ අසුන් ගන්නා ලදි.

දිනයේ අවසන් කඩුල්ල ලෙස මැදපෙළ සවිමත් කරමින් අර්ධ ශතකයක් ලබා ගත් අසේල ගුණරත්න 4 පහර 10ක් සමගින් ලකුණු 69ක් ලබාගෙන සිටියදී දැවීයන ලදි. ඒ යලිත් ලකුණු 51ක වටිනා සබඳතාවයක් ගොඩනංවා අවසන් වූ පසුවයි.

දිනය නිමාවන විට නොදැවී ක්‍රීඩා කරන රොෂේන් සිල්වා එක් 4 පහරක් සමගින් ලකුණු 29*ක් හා දසුන් ශානක ලකුණු 7ක් ලබා සිටියි.

ශ්‍රී ලංකා A පළමු ඉණිම (තෙවන දිනය අවසානයේ දී) – 211/05 (61): අසේල ගුණරත්න 69, සඳුන් විරක්කොඩි 48, රොෂේන් සිල්වා 29*, රහකීම් කෝන්වල් 2/64

ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පළමු ඉණිමට වඩා ලකුණු 286ක් ඉදිරියෙන් පසුවෙයි.

මෙම තරගයේ අවසන් දිනය හෙට (21) ක්‍රියාත්මක වන අතර මේවන විට කණ්ඩායම් දෙකම 1-1 ක් ලෙස සමතත්වයේ පසුවෙයි.

තවත් ක්‍රිකට් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවටCrawler