ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත් අත්සන් කිරීමට දින නියම කෙරේ

413
Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, දක්ෂතා මත දීමනා හිමිවීම මත පදනම් වන නවතම වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට හැකි අවසන් දිනය ලෙස 2016 ඔක්තෝබර් 20 වැනිදා නම්කර තිබේ.

පසුගිය ලිපි: ශානක, අපෝන්සු, ගමගේ හා වීරක්කොඩි ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට

ක්‍රීඩකයින් මෙම කාල සීමාව තුල කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට අසමත් වුවහොත් පුරප්පාඩු සහිත සංචිතයක් සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සඳහාත්, බටහිර ඉන්දීය කොදෙව්වන් ද සහභාගි කරගෙන පැවැත්වීමට නියමිත තුන්කොන් තරගාවලියත් සඳහා යැවීමට අදහසක් පවතී. මේ පිලිබඳ ක්‍රිකට් ආයතනයේ ඉහළ බලධාරීන් අතර පවා යම් දෙගිඩියාවක් ඇති නමුත් ක්‍රීඩකයින් හෙට දිනයේදී (ඔක්තෝබර් 20) කොන්ත්‍රාත්තු සඳහා අත්සන් තබනු ඇතැයි ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවේ.

මීළඟ සංචාරය සඳහා සහභාගි වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය 24 වැනිදා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව ඇති අතර ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රීඩකයින් අතර ඇතිව තිබෙන මෙම අර්බුදය නිසා තවමත් සංචිතය නම් කර නොමැත. මේ ආකාරයේම මතභේදයක් ක්‍රීඩකයින් සහ පාලක මණ්ඩලය අතර 2014 වර්ෂයේදී ද පැන නැගුණු අතර එයට හේතු වූයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් (ACC) පවත්වන තරගාවලි වලින් ලැබෙන ප්‍රතිපාදන වලින් ප්‍රමාණවත් කොටසක් ක්‍රීඩකයින් සඳහා වෙන් කිරීම ක්‍රිකට් ආයතනය මගින් ප්‍රතික්ෂේප කිරීමයි.

මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා ජේෂ්ඨ ක්‍රීඩකයින් සහ බලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක් ඊයේ (18) සහ අද (19) දිනයේ ක්‍රිකට් ආයතනයේදී පැවති බව විශ්වාසවත්ත ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන අතර සමහර ක්‍රීඩකයින් කොන්ත්‍රාත් මුදලේ වැඩි වීමක් අපේක්ෂා කරන බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනතෙක් කොන්ත්‍රාත් හිමිව ඇති අවසන් ක්‍රීඩකයින් 30 දෙනා පිලිබඳවත්, ඔවුන් අයත් වන කාණ්ඩයන් පිලිබඳවත් නිවේදනයක් නිකුත් කර නොමැත.

2015/16 වර්ෂයන්ට අදාළව පෙර පැවති කොන්ත්‍රාත්තුවට අනුව පළමු කාණ්ඩයේ ක්‍රීඩකයෙකු සඳහා ඇමෙරිකානු ඩොලර් 165,000ක් ද, දෙවැනි කාණ්ඩයේ ක්‍රීඩකයෙකු සඳහා ඇමෙරිකානු ඩොලර් 100,000ක් ද, තෙවැනි කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට ඇමෙරිකානු ඩොලර් 70,000 ද, සිව්වන කාණ්ඩයේ එක් ක්‍රීඩකයෙකු සඳහා ඇමෙරිකානු ඩොලර් 40,000 බැගින් ද සාමාන්‍ය තරග ගාස්තු ලෙස හිමිවූ අතර, ICC සහ ACC මගින් පවත්වනු ලබන ඉසව් වලින් 10%ක් ද, කණ්ඩායම් අනුග්‍රාහකයින් විසින් ලබාදෙනු ලබන මුදලින් කිසියම් ප්‍රතිශතයක් ද හිමිවිය.

නව කොන්ත්‍රාත්තුවේදී වාර්ෂික කොන්ත්‍රාත් මුදලේ සැලකිය යුතු කපා හැරීමක් සිදුව ඇති අතර, ජයග්‍රහණය සඳහා ගෙවනු ලබන ප්‍රසාද දීමනා සහ පෞද්ගලික දක්ෂතා මත ලබාදෙන දීමනා වල ආකර්ෂණීය වැඩි වීමක් සිදුකර තිබේ. ඒ අනුව පළමු කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට වාර්ෂික කොන්ත්‍රාත් ගාස්තුව අඩු කිරීමෙන් පසු නව ගාස්තුව ලෙස ඇමෙරිකානු ඩොලර් 125,000ක් හිමිවන අතර දෙවන කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට ඇමෙරිකානු ඩොලර් 80,000ක් ද, තෙවැනි කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට ඇමෙරිකානු ඩොලර් 60,000ක් ද හිමිවේ. සිව්වැනි කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට නව වාර්ෂික කොන්ත්‍රාත් මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 40,000ක් හිමිවන අතර පස්වන කාණ්ඩයේ ක්‍රීඩකයෙකු ලබා ගන්නා කොන්ත්‍රාත් මුදල ඇමෙරිකානු ඩොලර් 20,000කි.

නව කොන්ත්‍රාත්තුවේ සිදුවූ තවත් එක් විශේෂිත වෙනස්කමක් වනුයේ එක් ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙකුට ගෙවනු ලැබූ ඇමෙරිකානු ඩොලර් 7,500ක ගාස්තුව මෙවර ඇමෙරිකානු ඩොලර් 5,000ක් දක්වා අඩු කිරීමයි. නමුත් කණ්ඩායම ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුවහොත් මෙම මුදල ඇමෙරිකානු ඩොලර් 10,000ක් දක්වා ඉහළ යනු ඇත. සෑම කඩුලු 5 බැගින් දවා ගැනීමක් සඳහා සහ ටෙස්ට් ශතකයක් සඳහා අමතර ඇමෙරිකානු ඩොලර් 5,000ක දීමනාවක් හිමිවේ.

එක්දින සහ විස්සයි විස්ස තරග ගාස්තු වල වෙනසක් සිදුව නැති අතර ඇමෙරිකානු ඩොලර් 3,000 සහ 2,000 බැගින් ඒ සඳහා හිමිවන අතර එක්දින තරග වලදී ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහළ නැංවීම සඳහා, වාර්තා කරනු ලබන සෑම ශතකයක් සහ කඩුලු 5 බැගින් දවාගන්නා අවස්ථාවන් සඳහා ඇමෙරිකානු ඩොලර් 5,000 බැගින් පිරිනමනු ලැබේ. විස්සයි විස්ස තරගයකදී වාර්තා වන ශතකයක් හෝ කඩුලු 5ක් දවා ගැනීම සඳහා ගෙවනු ලබන මුදල ඇමෙරිකානු ඩොලර් 7,500කි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්නCrawler