කොදෙව්වන්ගෙන් දෙවන දිනයේ දී කරට කර තරඟයක්

720
S.Hetmyer sl v wi

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් ආරම්භ වූ කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර තෙවන හා අවසන් නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (19) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්විණි.

පසුගිය ලිපි: තෙවැනි ටෙස්ට් තරගයට සඳුන්ගෙන් සුපිරි ඇරඹුමක්

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉණිමට කඩුලු 7ක් දැවී ලකුණු 272ක් ලබා‍ගෙන සිටියේය.

තරගයේ දෙවන දිනය ආරම්භ කරන විට රොශේන් සිල්වා ලකුණු 40*ක් හා ලක්ෂාන් සඳකැන් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටි අතර දෙවැනි දිනයේදි රොෂේන් තම ඉණිමට තවත් ලකුණු 9ක් එක් කර‍ගනිමින් අර්ධ ශතකයට එක් ලකුණක් මෙපිටින් තිබියදී අවාසනාවන්ත ලෙස දැවීයන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 3 ලකුණු 46ක් තුල දවාලීමට කොදෙව් පන්දු යවන්නන් සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉණිම – 318/10 (89.2): සඳුන් වීරක්කොඩි 79, කුසල් ජනිත් 69, රොෂේන් සිල්වා 49, චරිත් අසලංක 46, කසුන් මදුසංක 20, ඩිලොරන් ජොන්සන් 4/65, රහකීම් කෝන්වල් 3/93

කොදෙව් ආරම්භක පිතිකරණය විසින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අපොහොසත් වූ අතර කසුන් මදුසංක විසින් ඔවුන්ගේ පළමු කඩුල්ල දවාගන්නා ලදී. එසේ දැවීගියේ රජේන්ද්‍ර චන්ද්‍රිකයි, ඔහු ලකුණු 11ක් ලබාගන්නා ලදි. ලකුණු 35ක් වන විට කොදෙව් කඩුලු දෙකක් දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ තෙවන කඩුල්ල සඳහා ශම්රා බෲක්ස් හා ශිම්රන් හේට්මයර් ලකුණු 104ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.

මැද පෙල සවිමත් කරමින් දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වූ හේට්මයර්ගේ කඩුල්ල 3වන කඩුල්ල‍ ලෙස ඔහුත් නොසිතූ මොහොතක දැවීගිය අතර ඒවන විට ඔහු 4 පහර 17ක් සමගින්  ලකුණු 94ක් ලබාගෙන සිටියේය. ඔහුගේ කඩුල්ල දවා ගනු ලැබුවේ දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් විසිනි.

අද දිනයේ අයහපත් ආලෝකය හමුවේ තරඟය නවතා දමන විට, කොදෙව් කණ්ඩායමේ පළමු ඉණිම වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරන ශම්රා බෲක්ස් 4 පහර 5ක් සමගින් නොදැවී ලකුණු 43*ක් හා ජමාර් හැමිල්ටන් නොදැවී ලකුණු 5*ක් ලබාගෙන සිටියි.

කොදෙව් පළමු ඉණිම (දෙවන දිනය අවසන් වනවිට) – 183/04 (45): ශිම්රන් හේට්මයර් 94, ශම්රා බෲක්ස් 43*, කසුන් මදුසංක 1/22

කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉණිමට වඩා තවත් ලකුණු 135ක් පසුපසින් පසුවෙයි.

මෙම තරගයේ තෙවන දිනය හෙට (20) ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට