තෙවැනි ටෙස්ට් තරගයට සඳුන්ගෙන් සුපිරි ඇරඹුමක්

1390
Sri Lanka A vs West Indies A 3rd Test match

සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වුනු දෙවැනි සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී කොදෙව්වන් ලැබූ දැවැන්ත ජයග්‍රහණයත් සමඟින් ඔවුන් අද (18) ආරම්භ වුනු තෙවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා සහභාගී විය. තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පසුගිය ලිපි: ශානක, අපෝන්සු, ගමගේ හා වීරක්කොඩි ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට

කණ්ඩායම් නායක ලහිරු තිරිමාන්න විසින් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී.

දිමුත් කරුණාරත්න වෙනුවට ආදේශ කල නවක ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි සහ ආබාධයකට ලක්ව සුවය ලැබීමෙන් පසුව පිටියට පිවිසි කුසල් ජනිත් යන ක්‍රීඩකයින් දෙපල විසින් ශ්‍රී ලංකා පළමු ඉණිමට සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූ අතර පළමු කඩුල්ල සඳහා කොදෙව් පන්දු යවන්නන් නොසිතූ ලෙස ලකුණු 133ක දැවැන්ත ලකුණක් කරා යෑමට ශ්‍රී ලංකා ආරම්භ පිතිකරණ යුගලයට හැකිවිය.

කෙසේ නමුත් දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කිසිවෙකුත් නොදැවී ලකුණු 121ක් ලෙස සටහන්ව තිබුනි. දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට කුසල් හා සඳුන් යන දෙපලම නොදැවී අර්ධ ශතක වාර්තා කිරීම මෙම තරගයේ තවත් විශේෂිත සිදුවීමක් විය.

දිවා ආහාරයෙන් අනතුරුව උප නායක කුසල් ජනිත් පළමු කඩුල්ල ලෙස දැවීගියේ 4 පහර 11ක් සමගින් ලකුණු 69ක් ලබා සිටිය දීය. යළිත් වරක් අසාර්ථක වූ නායක තිරිමාන්න ලකුණු 2කට දැවීගිය අතර ඉන් පසුව දක්ෂ ඉණිමක් දියත් කල සඳුන් වීරක්කොඩි 4 පහර 10ක් සමගින් ලකුණු 79ක් ලබා සිටියදී තෙවන කඩුල්ල ලෙස දැවීයන ලදි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 153ක් ලෙස සටහන්ව තිබුණි.

5වන කඩුල්ල සඳහා ලකුණු 56ක සබඳතාවයක් ගොඩනැංවීමට චරිත් අසලංක හා රොෂේන් සිල්වා සමත් විය. මැදපෙළ සවිමත් කරමින් 4 පහර 5ක් හා එක් 6 පහරක් සමගින් ලකුණු 46ක් ලබාගෙන සිටියදී චරිත් අසලංක අවාසනාවන්ත ලෙස දැවීයන ලදි.

අයහපත් ආලෝක තත්ත්වය මත පළමු දිනය අවසන් කරන විට කඩුල්ලේ රැදී සිටින රොශේන් සිල්වා ලකුණු 40*ක් හා ලක්ෂාන් සඳකැන් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියි.

ශ්‍රී ලංකා A පළමු ඉණිම (පළමු දිනය අවසන් වනවිට) – 272/07 (80): සඳුන් වීරක්කොඩි 79, කුසල් ජනිත් 69, චරිත් අසලංක 46, රොශ්න් සිල්වා 40*, රහකීම් කෝන්වල් 3/93, ඩිලොරන් ජොන්සන් 2/43

හෙට (19) තරගයේ දෙවන දිනයයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට