ලංකාවට පලමුවෙන්ම ගෙන ආ ගුවන් යානය හා ලංකාවේ පලමුවරට පියාසර කල ගුවන්යානය | First aeroplane to arrive in Sri Lanka and the first aeroplane to fly in the Sri Lankan sky.

ඉංග්‍රීසි ජාතික කොලින් බ්‍රවුන් 1912 සැප්තැම්බර් 12 වැනිදා ලංකාවට ගෙන ආ ප්‍රංශයේ නිෂ්පාදිත බ්ලෙරියට් මොනෝප්ලේන් ගුවන් යානය ලංකාවට ගෙන ආ  පලමු ගුවන් යානයයි. (C) Wikimedia Commons


























ලංකාවට මුල්වරට ගුවන්යානයක් ආනයනය කරවන ලද්දේ ඉංග්‍රීසි ජාතික ධනවතෙකුවූ කොලින් බ්‍රවුන් නැමැත්තායි. බ්‍රිතාන්‍යයට අයත් SS Rabenfels නෞකාවෙන් ගෙන ආ බ්ලෙරියට් මොනෝප්ලේන් වර්ගයට අයත් ගුවන් යානයයි. ප්‍රංශයේ නිෂ්පාදිත යානයක් වූ මෙය පියාසරකරවීම ඔහුගේ අදහස වුවද ඊට පෙර එය මුදලට ප්‍රදර්ශණයකොට යම් ආදායමක් ලබාගැනීමට කොලින් බ්‍රවුන් තීරණය කල නිසා ලංකාවට පලමුවෙන්ම ආනයනය කරන ලද මෙම ගුවන් යානය ලක් පොලොවෙන් පලමුවෙන්ම ගුවන්ගතවූ ගුවන්යානය වීමේ අවස්ථාව අහිමිකර ගත්තා.

බ්‍රවුන් ඔහුගේ ගුවන් යානය ප්‍රදර්ශණයට තබා තිබියදී ජර්මානු ජාතිකයෙකු වූ ෆ්‍රාන්ස් ඔස්ටර් අමෙරිකාවේ සිට සිලෙසියා නම් නෞකාවෙන් ලංකාවට පැමිණි අතර ඔහු ගුවන් යානයක්ද ගෙනැවිත් තිබුණා. ජර්මනියේ නිශ්පාදිත එට්‍රික්-රම්ප්ලර් ටෝබෙ වර්ගයට අයත් ගුවන්යානයක් ඔහු ගෙනැවිත් තිබූ අතර ලංකාවට සැපත්ව නොබෝ දිනකින් ඔහු සිය ගුවන් යානය කොළඹ තුරඟ තරඟ පිටියෙන් ගුවන්ගත කිරීමට සූදානම් වුනා.

1911 දෙසැම්බර් 25 නත්තල් දිනයේදී කොළඹ තුරඟ තරඟ පිටියේ පැහැබර කාළගුණයක් තිබූ අතර ඔස්ටර් සිය ගුවන් යානය ඉතා සීරුවෙන් ගුවන්ගත කලා. කෙසේවෙතත් තුරඟ තරඟ පිටියේ ප්‍රධාන ප්‍රේක්ෂක මණ්ඩපයට ඉහලින් යද්දී ඔස්ටර්ට ඔහු කලින් නොදුටු කම්බියක් ගමන් මග හරහා ඇද තිබූ බව දකින්නට ලැබූ අතර කම්බිය මග හැරීම සඳහා ඔහු ක්ශණිකව ගුවන්යානය වාමාවෘත්තව භ්‍රමණය කලා. ගුවන් යානය කම්බියේ නොගැටුනු නමුත්, මෙම හදිසි හැරවුම දරාගැනීමට ඔහුගේ යානයට නොහැකිවූ අතර එය පාලනයෙන් ගිලිහී කඩා වැටුනා. ඔස්ටර්ට තුවාල සිදු නොවූවත් යානය හානියට පත්වුනා. මේ ගුවන්වතවීම ලක් පොලොවෙන් සිදුවූ පලමු ගුවන් ගත වීමයි. එහෙත් නියමුවාට යානය නැවත පාලනයකින් යුතුව ගොඩ බස්වා ගැනීඅමට නොහැකිවූ නිසා මෙම පියාසැරිය ලංකාවේ සිවිල් ගුවන් ඉතිහාසයේ ආරභය විදියට සැලකෙන්නේ නෑ.

සිය ගුවන් යානය අලුත්වැඩියා කරගත් ඔස්ටර් නැවතත් 1911 දෙසැම්බර් 30 වැනිදා ගුවන්ගතවීමට උත්සහ කලත් එයද ව්‍යර්ථවුනේ ගුවන්ගත වනවිටම හැමූ දැඩි සුළඟකින් යානය පෙරලී යාමෙන්. 


ලංකා පොලොවෙන් ගුවන් ගතවූ ප්‍රථම ගුවන් යානය වන්නේ ජර්මන් ජාතික ෆ්‍රාන්ස් ඔස්ටර් පැදවූ එට්‍රික්-රම්ප්ලර් ටෝබෙ වර්ගයට අයත් ගුවන්යානයයි. එම පියාසැරිය සිදුවූයේ 1911 දෙසැම්බර් මස 25වැනිදායි.
මෙවර යානයට දැඩි හානි සිදුවූ අතර එබැවින් ෆ්‍රාන්ස් ඔස්ටර් සිය යානය වෙනුවට, ලංකාවට මුලින්ම ගෙන්වූ කොලින් බ්‍රවුන්ගේ බ්ලෙරියට් මොනෝප්ලේන් ගුවන් යානය පියාසර කිරීමට ඔහු සමග ගිවිසගත්තා. 1912 ජනවාරි 18 වැනිදා උදෑසන තුරඟ තරඟ පිටියෙන් ෆ්‍රාන්ස් ඔස්ටර්, කොලින් බ්‍රවුන්ගේ යානයෙන් ගුවන් ගතවූ අතර සාර්ථක පියාසැරියකින් පසු ආපසු තුරඟ තරඟ පිටියට පහත් කිරීමේදී ඒ අසලම ඇති රාජකීය විද්‍යාලයේ ගොඩනැගිල්ලක ඉහලට ඔසවා තිබූ උණ බටයක යානය ගැටීමෙන් එය තුරඟ තරඟ පිටියට කඩාවැටුනා. අණතුරින් ඔස්ටර් ගේ උරහිස පැනීම නිසා ඔහුව රෝහල් ගත කෙරුනා. මේ අණතුරින් පසු ෆ්‍රාන්ස් ඔස්ටර් ලංකවෙන් පිටත්ව ගියා.

ලක් පොලොවෙන් ගුවන්ගතව ආපසු ගොඩබෑ පලමු ගුවන් ගමන - 1912 දෙසැම්බර් 7

මෙම ගෞරවය හිමිවන්නේ ප්‍රංශ ජාතික මිතුරන් දෙදෙනෙකු වන  ජෝජස් වර්මින්ක් හා මාර්ක් පෝපෙ දෙදෙනාටය. බ්ලෙරියට් මොනෝප්ලේන් යානා දෙකක් සමග ලංකාවට පැමිණි මොවුන් දෙදෙනා 1911 දෙසැම්බර් 7 වැනිදා සිට සතියකට වැඩි කාලයක් දිනපතා කොළඹ තුරඟ තරඟ පිටියෙන් ගුවන්ගතව කොළඹ අහසේ ගුවන් කරණම් ගසමින්, එය දැකබලාගැනීමට පැමිණි යුරෝපීය ජාතිකයින් හා කිසිදා ගුවන් යානයක් දැක නොතිබූ ස්වදේශික ජනතාව අමන්දානන්දයට පත්කලහ.

මේ දින කිහිපය තුලදී ගුවන් සංදර්ෂණ කොළඹ ජනතාව අතර කොතරම් ජනප්‍රිය වූවාද යත්, කොළඹින් පලකෙරුනු "The Times of Ceylon" පුවත්පත 1912 දෙසැම්බර් 12 වැනිදා "The Times of Ceylon Cup" නමින් තරඟයක් සංවිධානය කල අතර ජෝජස් වර්මින්ක් හා මාර්ක් පෝපෙ දෙදෙනා අතර තරඟයක් ලෙස සංවිධානය කෙරුණි. මින් ජෝජස් වර්මින්ක් ජයගත් බව සංදර්ශණය අවසානයේ නිවේදනය කෙරුනි.

විදෙස් රටක ගුවන්ගතවී ලංකාවට ගොඩබෑ පලමු ගුවන් යානය 

විදෙස් රටක ගුවන්ගතවී ලංකාවට ගොඩබෑ පලමු ගුවන් යානය වනුයේ දකුණු ඉන්දියාවේ මණ්ඩපම් වලින් ගුවන්ගතවී කොළඹට ගොඩබෑ හැවිලන්ඩ් DS 80 තනි එන්ජිමේ ගුවන් යානයයි. ඉන්දියාවේ ගුවන් යාත්‍රිකයෙකු ලෙස සේවය කල, දකුණු අප්‍රිකානු ජාතික නෙවිල් වින්සන්ට් විසින් පදවන ලද මෙම යානය තුරඟ තරඟ පිටියට ගොඩබස්වන ලද අතර නෙවිල් වින්සන්ට් සමග එම යානයේ පැමිණි අනෙක් තැනැත්තා වන්නේ, ගුවන් යානා පැදවීමේ නියමු බලපත්‍රයක් ලබාගත් පලමු ස්වදේෂික ලාංකිකයාවූ සුබයර් කෆූර් නැමති ධනවත් ව්‍යාපාරිකයාය.

රත්මලාන ගුවන්තොටුපොල

1935 නොවැම්බර් 27 වැනිදා රත්මලාන ගුවන්තොටුපොල බිහිවූ අතර, මදුරාසියේ සිට පැමිණි ගුවන්යානයක් එදින එහි ගොඩබස්වන ලදී.
__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments