වනිතගේ ශතකය සාන්ත ආනා විද්‍යාලයට වැඩි වාසි ගෙනෙයි

1263
Singer U19 Schools Cricket

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරය යටතේ ප්‍රථම දිනයට අද (14) තරග කිහිපයක් පැවති අතර ඒවායින් සාන්ත පීතර, සාන්ත ජෝසප් සහ සාන්ත ආනා විද්‍යාල මුල් දිනයේ වැඩි වාසි හිමිකර ගන්නට සමත් වූහ. රාජකීය – මහින්ද තරගයේ ප්‍රථම දිනය ගෙවී ගියේ දෙපිළටම සම වාසි හිමිකර දෙමිනි.

පසුගිය ලිපි: නිස්සංකගේ පිත්ත ඉසිපතනයට නොසිතූ ජයක් ගෙන එයි.

රාජකීය විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර තරගය

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය හිමිවූයේ කොළඹ රාජකීය විද්‍යාලයටයි. ඒ අනුව පිතිකරණය තෝරාගත් ඔවුන් ඉනිම අවසානයේ රැස් කල ලකුණු සංඛ්‍යාව 205ක්. රාජකීය විද්‍යාලය වෙනුවෙන් ගනිත් සන්දීප අර්ධ ශතකයක් වාර්තා කරද්දී මහින්ද විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ රෙෂාන් කවින්ද කඩුලු 4ක් ද, කවිඳු එදිරිවීර කඩුලු 3ක් ද බිඳ හෙලන ලදී.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ගාල්ල මහින්දය කඩුලු 4ක් දැවී ලකුණු 98ක් රැස් කරගෙන සිටියි. නොදැවී පන්දුවට පහර දෙන රවිඳු හංසික ලකුණු 58යි.

රාජකීය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 58.4) ගනිත් සන්දීප 52, කවිඳු චතුරංග 40, හිමේෂ රාමනායක 37, රිෂිකන් රවින්ද්‍රනාදන් 28, ‍රෙෂාන් කවින්ද 4/37, කවිඳු එදිරිවීර 3/64.

මහින්ද විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 98 (පන්දුවාර 31.5) රවිඳු හංසික 58*.


සාන්ත ආනා විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගයේ කාසියේ වාසිය හිමි වූයේ ඔවුන්ටයි. ඔවුන්ගේ ආරාධනය අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය ලකුණු 359ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය. සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පිති හරඹයක නියැලුණු වනිත වන්නිනායක ලකුණු 139ක් රැස් කරන්නට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන සාන්ත සෙබස්තියන් විද්‍යාලය එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 97ක් රැස් කරගෙන සිටි‍යි.

සාන්ත ආනා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 359 (පන්දුවාර 74.2) වනිත වන්නිනායක 139, ආර්. කේ. රණසිංහ 70, තරිඳු විජේසිංහ 54, දිනෙත් චන්දිමාල් 45, තරූෂ ප්‍රනාන්දු 3/68, නිමේෂ් බණ්ඩාර 2/28 ප්‍රවීන් ජයවික්‍රම 2/111.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 97 (පන්දුවාර 19) නුවනිඳු ප්‍රනාන්දු 50*, මලින්ත පීරිස් 39*.


සාන්ත පීතර විද්‍යාලය සහ මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගය

අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ තවත් තරගයක් වූ මෙය සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරකයෝ මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කල අතර ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 290ක් රැස් කර සිටියදී ඉනිම අත් හිටුවන්නට තීරණය කළහ. සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් අනිෂ්ක පෙරේරා මනරම් ශතකයක් වාර්තා කළ අතර ශලිත් ප්‍රනාන්දු ලකුණු 77කින් දායක විය. ලක්ෂින රොද්‍රිගෝ නොදැවී ලකුණු 68යි.

අද දිනයේ නිමාව සනිටුහන් වෙද්දී සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන මාරිස්ටෙලා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 94ක් ලබා සිටියි.

සාන්ත පීතර විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 290 (පන්දුවාර 62) අනිෂ්ක පෙරේරා 100, ශලිත් ප්‍රනාන්දු 77, ලක්ෂින රොද්‍රිගෝ 68*, සචිඳු කොළඹගේ 2/22.

මාරිස්ටෙලා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 94 (පන්දුවාර 32) ලසිත් කෲස්පුල්ලේ 43*, රවිඳු ප්‍රනාන්දු 18*.


සාන්ත ජෝසප් විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය

සාන්ත ජෝසප් විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගයේ ප්‍රථම දිනයේ වැඩි වාසිය ද ඔවුන්ටම හිමිවිය. කාසියේ වාසිය ජයගත් ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආරාධනයෙන් පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලය, ලබාගත් ලකුණු සංඛ්‍යාව 286කි. ඒ වෙනුවෙන් ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ ලකුණු 86කින් ආධාර වූ අතර සේනානායක විද්‍යාලයේ විහාන් ගුණසේකර කඩුලු 5ක් දවාලමින් දස්කම් දැක්වීය.

තරගයේ ප්‍රථම දිනයේ නිමාව සනිටුහන් වනවිට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන සේනානායක පිතිකරුවෝ ලකුණු 69කට කඩුලු 6ක් බිඳ වැටී අසීරු තත්වයක පසුවේ. හෙට තරගයේ තීරණාත්මක දෙවන සහ අවසන් දිනයයි.

සාන්ත ජෝසප් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 286 (පන්දුවාර 71.4) ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 86, පහන් පෙරේරා 63, ටෂාන් පෙරේරා 41, විහාන් ගුණසේකර 5/60, මුදිත ලක්ෂාන් 3/84.

ඩී.එස්. සේනානායක විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 69 (පන්දුවාර 21) ශහික ලහිරු 23*, රුචිර ඒකනායක 3/18, හරීන් කුරේ 2/22.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට