08 October 2016

ලජ්ජා බයේ හිල් , සදාචාරයේ හිල් , නීතියේ හිල් සහ වෙනත් හිල්

ගමේ නාන ලිඳ මැදින් දෙකට බෙදා තිබුනේ ගැහැණු සහ පිරිමි අංශ දෙක මැදින් , එක්  කට්ටියක් නාන විදිය අනෙක් කට්ටියට නොපෙනෙන්න 
නාන විදිය අනෙක් අයට නොපෙන්නය .  

ගොම්මන් පැයේ , සිය ගත සළු උනා , නිදහසේ ස්නානය කළ  අය  සිටියද , හැරිසන් ගොයියා නම් නෑවේ සැමවිටම ලංකට් එක පිටින්මය . 
ඔහුගේ හේතු දැක්වීමට අනුව ඒ ඔහුගේ ලජ්ජා බය නිසාය . වතුරටම පාට වියකුණු ලංකට් රාජයාගේ පස්චාත් ප්‍රදේශයේ තිබුණු හිල මුලින් නම් ජමනාරන්  ගෙඩියක් තරම් විය. කොල්ලෝ ඊට කීවේ ලජ්ජා බයේ හිල කියලාය . මේ හිල එන්න එන්නම ලොකු වී මුළු පස්චාත් ප්‍රදේශයම නිරාවරනය කර තිබුනත් . හැරිසන්ට ගානක් නැත , ඔහු ලංකට් එක මාරු කලෙත් නැත . ඒ ගැන ඇසු  විට ඔහු කීවේ , පිටි පස්සේ තියෙන හිල  තමන්ට නොපෙනෙන නිසා ඉන් ඔහුගේ ලජ්ජා බයට හානියක් නැති බවය .

අර ගෑනු අංශය සහ පිරිමි අංශය වෙන්කරන තාප්පයේද ගෑනු පැත්තේ නාන සිරිය නැරඹීමට සාදා ගත් හිලකි .  මුලින් සතපනහක තරමවූ මීට ඇස තියා සෝ එක නැරඹුවන් අතරින් හැරිසන්ද මුල් තැනක් ගත්තේය . හැරිසන් මේ හිල හැඳුන්වූයේ  සදාචාරයේ හිල කියාය .  ගෑනු නෑවේ  පිරිමි පැත්තට පස්ස හරවා ය . ඒ ලජ්ජා බය වැඩි කමටය . ඒ නිසා  සදාචාරයේ හිලෙන් නොව , තාප්පෙන් එබී බැලුවත් ඔවුහු නොදකින්නෝය . කාලයාගේ ඇවෑමෙන් , එක එකා මේ හිල හරා විශාල කර ගත්හ . පසු කලෙක මෙය ගඩොල් බාගයක් තරම් කුහරයක් වුවත්  සදාචාරයේ තාප්පයට පස්ස හරවා ගෙන සිටිනා කල් මේ හිල  කිසිවෙකුට නොපෙනේ .

මේ ගැන මට මතක් උනේ පහුගිය දවස් වල අසන්නට ලැබුණු කතා කීපයක් නිසාය 



පේරාදෙණිය වලේ මම නාට්‍ය බලා නැත්තෙමි . එය මුලින්ම කිව යුතුය . එය මගේ බකට් ලිස්ට් එකේ තිබුනද මග හැරුණි. එහෙත් එය පන්සලක් දේවාලයක් නොවන බව දනිමි. විශ්ව විද්‍යාල යනු සමාජයක පමණක් නොව මුළු මහත් සභ්‍යත්වයකම නිම්  වළලු ඈතට තල්ලු කිරීම පටන් ගන්නා තැන්යයි සිතමි . එය ඉස්කෝලයක් නොවන්නේ එබැවිනි   . ලසියෙම් එක වේවා , අභයගිරිය වේවා එය එසේම විය . එවැනි තැනක , තමන්ගේ පරිකල්පන රාමුවට එහායින් හෝ තමන්ගේ සිත්වල මවාගෙන තියෙන සංස්කෘතික අවතාරයනට ජීරණය නොවෙන දෙයකට හු කීම, කොටින්ම ජෝක් එකකි .  මට හැරිසන්ගේ ලජ්ජා බයේ හිල සිහි විය 

මේ සතියේ තව කතාවක් පැතිරෙන්නට විය .
චුදිතයන්ට හා පැමිණිලි කරුවන්ට පමණක් නොව චුදිතයන්ගේ අඹුවන්ටද නීතිය වදාරන්නට ගිය නඩු කාරයෙක් ගැන කියන්නට ගිය කළ ,   උසාවිය නිහඬ ව නොසිට , කලාව නිහඬ කිරීමට ගත අතුරු තහනම් නියෝගයක  කතාවක් ඇසුනි .
උක්ත , සදාචාරයේ මුරකරුවන් පමණක් නොව අපි කවුරුත් හිලට පස්ස හරවාගෙන , වතුර පනිට්ටුව ඔලුවේ හලා ගන්නවාදෝයි මට සිතුනි .

නමුත් ප්‍රබන්ධයට වඩා සත්‍යය හැම විටම ගැඹුරුය . චිත්‍රපටයකට එරෙහිව අතුරු තහනම් නියෝග ගත හැකි වුවද , අසූචි  ප්‍රහාරයකට විරුද්ධව අතුරු තහනම් නියෝග බල ශුන්‍ය ය .

පලි :

මෙකී හිල් වලට අමතරව වෙනත් හිල් තිබේද ?
එසේය 
ඒ මොනවාද 

" මම ජාති වාදියෙක් නෙවේ "- මතකයේ හිල් 
""සීමා නීර්ණය ඉවරයි ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා" - නීතියේ හිල් 
"වල්  අලි ඔක්කොම , හීලා කරලා බාර දෙනවා පුද්ගලික ආයතන වලට බලා ගන්න . මේක කරන්නේ අපි අලි බේරා ගන්න " - මොළේ හිල් 

10 comments:

  1. මොන හිල වැසුවත් මේ කුණු සිරුරේ ඕජස් පිටට ගලන නව ද්වාර නම් වහන්න එපා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් හිල් වහගෙන තමා ඉන්න වෙලා තියෙන්නේ

      Delete
  2. පේරාදෙණියේ විතරක් නෙවේ අපේ සමාජයේ හැමතැනම ඉන්නේ සාමූහික වශයෙන් ඉන්න ගෝත්‍රිකයෝ. උන්ට බැහැ අනුන්ගේ නිදහස දැක සතුටුවෙන්න. පේරාදෙණියේ ඉන්න උන් හිතන්නෙත් එහෙමයි. උන්ගේ සමාජවාදයත් ඒකයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ..... ඔය ඔක්කොම ..කවුරු කැමති උනත් නැති උනත් වැටෙන්නේ ඕල්ඩ් බෝයිස් සංගම් , ක්‍රීඩා සංගම් , මහිලා සමිති කාණ්ඩයටම තමා ...

      Delete
  3. පේරාදෙනියට මක්කත් කියනවා හෙම නොවෙයි ඕන්... ඔහේට වස් වදීවී.

    ReplyDelete
    Replies
    1. අපිට අදාළ නෑ නේ ... :)

      Delete
  4. වල ගැන ලිවූ හොන්ඩ අදහසක්. චිත්‍රපටයට අදාළවත් ඒකම තමයි.

    ReplyDelete

Have commented