Main Logo

Friday 7 October 2016

වැට්, ගැසට් හා අගමැති පත්කිරීම

වැට්, ගැසට් හා අගමැති පත්කිරීම


මේ ආණ්ඩුව තරම් නීතියට විරදේධව වැඩකරන, ව්‍යවස්ථාව අමුුවේ ම උල්ලංඝනය කරන ආණ්ඩුවක් තවත් තිබී නැහැ. තමන්ට ඕන විධියට පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ස්ථාවර නියෝග ආදිය කඩමින් පනත් සම්මත කරගන්නා ආණ්ඩුවක් තවත් ලෝකයේ වෙන කොහේවත් නැතිව ඇති. කතානායක අපක්‍ෂපාතිත්වය කියලා එකක් තියෙනවද කියලාවත් දැන්නෙ නැති පාටයි. කරු ජයසූරියට  රනිල් එ ජා පක්‍ෂය ඇතුලෙ තැනක් දෙන්නෙ නැහැ. ඒත් ඔහු කොහේ යන්න ද? රනිල්ට ඕන විධියට තීරණ දීම කරු ජයසූරියගෙ කාරිය වෙලා තියෙනවා.

රනිල් පෙනී හිටින්නෙ බොහොම උගත් නීති ගරුක අයකු ලෙස. ඔහුට වික්ටර් අයිවන් වගේ අයත් හොඳ සහතික දෙනවා. අයිවන්ට සහතික දෙන්නෙ රාවයට මුලින් උදවු කළ ඒ ටි ආරියරත්න ද? රතන හිමිත් රනිල්ට පහුගිය කාලෙ සහතික දුන්න.  කාගෙන් සහතික ගත්තත් රනිල් ඊනියා දින සීයේ අගමැති වෙලා හිටියෙ නීත්‍යානුකුල ව නොවෙයි. හැබැයි ඒකටත් ඉක්බාල් අතාස් සහතිකයක් දීල තිබුණා. සහතික දෙන්න අතාස් දැනගෙන හිටිය නීතියක් නැහැ. සහතික ලත් රනිල් නීති කඩනවා. නීති කඩලා 2015 ජනවාරි 10 දා අගමැති වුනු කෙනකුගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?

වැට් පනත තවත් සැරයක් පාර්ලිමේන්තුවට ගෙනැල්ලා. මේ ගමනත් අවුලක්. හැබැයි පාර්ලිමේන්තුවේ වැඩකරන විධිය ගැන අධිකරණයේ ප්‍රශ්න කරන්න බැහැ. කතානායකගෙ තීන්දුව අවසාන තීන්දුව ලෙස සැලකෙනව. ජනතාවගේ පරමාධිපත්‍යය සලකලයි එංගලන්තයේ මෙවැනි සම්ප්‍රදායක් බිහිවෙලා තියෙන්නෙත් අනුර බණ්ඩාරනායකගෙ සුප්‍රසිද්ධ තීන්දුව දිල තියෙන්නෙත්. ඒත් මේ පාර්ලිමේන්තුවෙන් රැකෙන්නෙ සිරිකොතේ පරමාධිපත්‍යය.

මෙවර වැට් පනත ගැසට් පත්‍රයට යවලා තියෙන්නෙ සැප්තැම්බර් නවවැනි දා.  අදාළ කැබිනට් රැස්වීම පවත්වලා තියෙන්නෙ සැප්තැම්බර් දොළොස්වැනි දා. ඒ කියන්නෙ ගැසට් පත්‍රයේ මුද්‍රණයට යවලා තියෙන්නෙ අමාත්‍ය මණ්ඩලයෙ රැස්වීම පවත්වන්න ඉස්සෙල්ල. එස් බී දිසානායක කොහොම තර්ක කළත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය නැතිව ඇමති කෙනකුට පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රයට යවන්න බැහැ. ගැසට් පත්‍රය මුද්‍රණය කරලා තියෙන්නෙ සැප්තැම්බර් දහතුන්වැනි දා කියලා තියෙනවා. ප්‍රශ්නය තියෙන්නෙ මුද්‍රණය කරපු දවස නෙවෙයි. ඇමති කෙටුම්පත යවලා තියෙන්නෙ අමාත්‍ය මණ්ඩලයෙ අනුමැතිය නැතිව. ආණ්ඩුව, මෛත්‍රිපාලගෙ ඇමතිවරුත් එකතුව ඇමතිවරයාව ආරක්‍ෂා කරනවා.

ඊනියා දින සීයෙ ආණ්ඩුවේ අගමැති හැටියට රනිල් පත්කෙරුවෙ දි මු ජයරත්න අගමැති ලෙස ඉන්න අතරෙ. ඒ පිළිබඳ ව දි මු ජයරත්නව අස්කරපු ගැසට් නිවේදනයක් තියෙනවා කියලා අතාස් කියලා තිබුණා. ඒත් ප්‍රශ්නය ජනාධිපතිගෙ නමින් දි මු ජයරත්න අස්කළ බව ගැසට් පත්‍රයට යැවුවෙ, ඒ කියන්නෙ රජයේ මුද්‍රණාලයාධිපතිට දැන්නුවෙ කවද ද කොයිවෙලාවෙ ද කියන එක. ඒ කලෙ හිටපු මැතිවරණ කොමසාරිස් මෛත්‍රිපාල ජනාධිපති ලෙස තේරී ඇති බව ගැසට් පත්‍රයේ පළකෙරෙවුවෙ 2015 ජනවාරි නවවැනිදා සවස වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් කියැවෙන්නෙ නැහැ මෛත්‍රිපාල ඒ මොහොතේ සිට ජනාධිපති කියලා. මැතිවරණ කොමසාරිස්ට ජනාධිපති පත්කරන්න බැහැ. ඔහුට කරන්න පුළුවන් අහවලා ජනාධිපති ලෙස තේරී පත්වී ඇති බව කීම පමණයි.

මෛත්‍රිපාල ජනාධිපති වෙන්නෙ ඒ පිළිබඳ දිවුරුම දීල වැඩ බාර ගත්ත මොහොතෙ ඉඳල. ඒක අතාස් හා එවැනි කිහිප දෙනකු හැරෙන්න හැමෝම දන්න කතාවක් වෙන්න ඕන. තමන්ට යම්කිසි පත්වීමක් පිළිබඳ ලිපියක් ලැබුණු පමණින් කිසිවකු ඒ පත්වීමට අදාළ තනතුර දරන්නකු වෙන්නෙ නැහැ. ඒ තැනැත්තා අදාළ නිධාරියාගෙන් දිවුරුමක් දීල වැඩ භාරගන්න ඕන. ජනාධිපති ධුරයට පත් වූ අය අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දිල වැඩ භාරගන්න ඕන. එතෙක් ඔහු ජනාධිපති නොවෙයි, ජනාධිපති ධුරයට තේරී පත්වු අය පමණයි. දිවුරුම් දෙනකම් ඔහුට ජනාධිපති ධුරයේ කිසිම වැඩක් කරන්න බැහැ. ඔහු දිවුරුම් දීමට පෙර ජනාධිපති ලෙස යමක් කර ඇත්නම් එය අවලංගුයි.

මෛත්‍රිපාල ජනාධිපති ලෙස දිවුරුම් දීල විනාඩි කිහිපයක් ඇතුළත රනිල් අගමැති ලෙස පත්කළා. ඔහුට ඒ විනාඩි කිහිපයේ දි දි මු ජයරත්න අස්කරන්න බැහැ. ඔහු එසේ අස්කෙළේත් නැහැ. ඒ බව ඒ අවස්ථාව රුපවාහිනියේ නැරඹු සියල්ලන් ම  දැක්ක. අතාස් දකින්නෙ නැතිව ඇති. ඒ කියන්නෙ රනිල් අගමැති ලෙස පත්වීම ලබා දිවුරුම් දෙන අවස්ථාවෙ දි මු ජයරත්න ව අස්කරලා තිබුණෙ නැහැ. දි මු ජයරත්න අස්කරපු බවට ඇති ගැසට් නිවේදනය මෛත්‍රිපාල දිවුරුම් දෙන්න ඉස්සෙල්ල නිකුත් කෙරුව නම් ඒක වලංගු නැහැ. අනෙක් අතට මෛත්‍රිපාල දිවුරුම් දුන්නට පස්සෙ නිකුත් කෙරුව නම් ඒ කියන්නෙ දි මු ජයරත්න අස්කරන්නෙ නැතුව රනිල් අගමැති ලෙස පත්කරලා තියෙනවා. කොහොම වුනත් රනිල් දීන සියෙ හොර අගමැති. අද නීත්‍යානුකුල අගමැති වුනත් නීති උපාධිධාරියකු වුනත් වික්ටර් අයිවන්ට රතන හිමිට අනුව ඔහු උගතකු වුවත්, ඔහුගෙ ආණ්ඩුවක ඇමතිවරු ඇමති මණ්ඩල  අනුමැතිය නැතිව පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ මුද්‍රණය කිරීමට යැවීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.  මෙහෙමත් හොර ආණ්ඩුවක්.


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 07