කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට පෙරළිකාර ජයක්!

1534
U19 Cricket Roundup

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ අද (5) පැවති තරග අතුරින් බණ්ඩාරනායක විද්‍යාලය පරදවා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය පෙරළිකාර ජයක් ලැබීමට සමත් විය. ඉතිරි තරග අද ක්‍රියාත්මක වූයේ ප්‍රථම දිනයටයි.

පසුගිය ලිපි: නාලන්ද, මාරිස්ටෙලා සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාල වලින් වැඩි දස්කම්

බණ්ඩාරනායක විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරගය

කදිරාන ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ඊයේ දිනයේ වාසිය උඩු යටිකුරු කළ, ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ චමත්කාරය කුළු ගන්වන්නක් බවට පත් විය. එහිදී ඊයේ දිනයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තමා නමින් ලියාගත් බණ්ඩාරනායක විද්‍යාලය පරදවා පූර්ණ තරග ජයග්‍රහණයක සැබෑ හිමිකරුවන් බවට පත් වීමට කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සමත් විය.

ඊයේ උදෑසන කාසියේ වාසිය දිනාගත් බණ්ඩාරනායක විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර ඔවුන් එහිදී රැස්කල ලකුණු සංඛ්‍යාව 138කි. සසිරි අධිකාරි ලකුණු 39ක් රැස් කරද්දී ලසිත උඩහගේ ලකුණු 48කට කඩුලු 4ක් බිඳ හෙලන්නට සමත් විය.

පිලිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත මරියා විද්‍යාලයේ පිතිකරුවන්ට අවාසනාවන්ත ලෙස බණ්ඩාරනායක විද්‍යාලයට වඩා එක් ලකුණක් පසුපසින් සිටිමින් සිය ප්‍රථම ඉනිම නිමා කරන්නට සිදු විය. සාර්ථක පන්දු යැවීමක නිරත වූ දසුන් බණ්ඩාර කඩුලු 3ක් බිඳ හෙලද්දී හිමත් ජයවීර සහ සිසිත මදනායක කඩුලු 2 බැගින් දවාලූහ. ඒ අනුව ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය එක් ලකුණක පරතරයකින් බණ්ඩාරනායක ක්‍රීඩකයින් සතු විය.

තරග ප්‍රතිඵලය කණපිට ගැසෙන ලකුණු පහළ වූයේ එතැන් සිටයි. ප්‍රථම ඉනිමේ දී සිදුවූ අඩුපාඩු නිවැරැදි කරගත් සාන්ත මරියා පන්දු යවන්නනෝ බණ්ඩාරනායක දෙවන ඉනිමට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට සමත් වූහ. ඒ අනුව ඊයේ දිනය නිමා වන විට බණ්ඩාරනායක විද්‍යාලයට ලබාගත හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 19ක් පමණි.

අද උදෑසන එතැන් සිට ඉනිම ඇරඹූ බණ්ඩාරනායක පිතිකරුවන්ට නැවතත් තරගයට අවතීර්ණ වීමට කිසිදු ඉඩක් ලබා නොදුන් සාන්ත මරියා පන්දු යවන්නෝ ඔවුන්ව ලකුණු 47කට සීමා කිරීමට සමත් වූහ. ඊයේ දිනයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 7කට කඩුලු 5ක් දවා ගත් ලසිත උඩහගේ අද දිනයේ කඩුලු දඩයම් කිරීමට අපොහොසත් වුවද, එම අඩුව සාන්ත මරියා විද්‍යාලයට දැනෙන්නට ඉඩ නොදුන් තිමිර සුපුන් ලකුණු 9කට කඩුලු 3ක් දවාලමින් සාන්ත මරියා ජය මග එළි පෙහෙළි කළේය.

අසාර්ථක බණ්ඩාරනායක දෙවැනි ඉනිම නිසාවෙන් කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට තරග ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 49ක සුළු ලකුණු ප්‍රමාණයකි. එම ඉලක්කය පන්දුවාර 9කදී එක් කඩුල්ලක් පමණක් දැවී සපුරා ගත් සාන්ත මරියා විද්‍යාල ක්‍රීඩකයෝ මෙම තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගත්හ.

බණ්ඩාරනායක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 48.1)

සසිරි අධිකාරි 39, ගයාශාන් හෙට්ටිආරච්චි 25, මාස් රහීම් 2/18, ලසිත උඩහගේ 4/48, සංජය රංජිත් 2/15.

සාන්ත මරියා විද්‍යාලය 137 (පන්දුවාර 35)

රාජිත කොටුවාගොඩ 39, මාස් රහීම් 28, සිසිත මදනායක 2/22, දසුන් බණ්ඩාර 3/11, හිමත් ජයවීර 2/37.

බණ්ඩාරනායක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 47 (පන්දුවාර 14.3)

හසිත තිමල් 29*, ලසිත උඩහගේ 5/31, තිමිර සුපුන් 3/09.

සාන්ත මරියා විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 50 (පන්දුවාර 8.4)

රාජිත කොටුවාගොඩ 31*.

මොරටු විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක විය. එහිදී කාසියේ වාසිය දිනාගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආරාධනයෙන් පිටියට පිවිසි මොරටු විද්‍යාලීය පිතිකරුවන් රැස්කල ලකුණු සංඛ්‍යාව 163කි. ඒ වෙනුවෙන් ඔවුහු පන්දුවාර 72යි පන්දු 5ක් වැය කලහ. නිශාන් මධුශංක ලකුණු 76ක් වාර්තා කරද්දී දක්ෂ පන්දු යැවීමක නිරත වුනු හරීන් වීරසිංහ (4/48) සහ කවිශ්ක ඩිල්ශාන් (3/35) මොරටු විද්‍යාලයේ කඩුලු 7ක් බිඳ හෙලීමට සමත් විය.

දිනයේ අවසාන මිනිත්තු කිහිපයේදී පිලිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත ඇලෝසියස් පිතිකරුවෝ පන්දුවාර 2කට මුහුණ දෙමින් කිසිවෙකු නොදැවී ලකුණු 5ක් රැස් කරගෙන සිටිති.

මොරටු විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 72.5) නිශාන් මධුශංක 76, ඉසුරු උදයංග 24, හරීන් වීරසිංහ 4/48, කවිශ්ක ඩිල්ශාන් 3/35.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 5 (පන්දුවාර 2)

ගුරුකුල විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර තරගය

ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ තවත් තරගයක් වන මෙය අම්බලන්ගොඩ U.C පිටියේදී පැවැත්වේ. කාසියේ වාසිය දිනූ ධර්මාශෝක විද්‍යාලීය නායකයාගේ ආරාධනයට අනුව පිටියට පිවිසි ගුරුකුල විද්‍යාලය එහිදී සියල්ලන්ම දැවී ලකුණු 180ක් රැස් කිරීමට සමත් විය. ගුරුකුල විද්‍යාලයේ ගෞරවය වෙනුවෙන් සුපිරි ඉනිමක නියැලුණු උදාර රවිඳු ලකුණු 95ක් ලබාගෙන ශතකය පෙනෙන මානයේ පසු වෙද්දී අවාසනාවන්ත ලෙස ඉනිම නිමා කරන්නට සිදු විය. කලිඳු නදීෂාන් ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ධර්මාශෝක පිතිකරුවන් දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 183කි. ඒ වෙනුවෙන් රවිඳු රොෂාන්ත ලකුණු 71කින් ද, කසුන් මධුරංග ලකුණු 43කින් ද දායක විය. ඒ අනුව ධර්මාශෝක විද්‍යාලය තවත් කඩුලු 6ක් අතැතිව ගුරුකුල ප්‍රථම ඉනිමට වඩා ලකුණු 3ක් ඉදිරියෙන් පසු වේ. හෙට තරගයේ දෙවන සහ අවසන් දිනයයි.

ගුරුකුල විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 180 (පන්දුවාර 58.2)

උදාර රවිඳු 95, අසින්ත මල්ෂාන් 21, කලිඳු නදීෂාන් 3/13, උෂාන් ඉමන්ත 2/13.

ධර්මාශෝක විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 183 (පන්දුවාර 41) ,

රවිඳු රොෂාන්ත 71, කසුන් මධුරංග 43, කවීෂ් කුමාර 20*.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට