විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


    කාලෙකට පස්සේ, යුද අවියක් ගැන ලියන්නට පටන්ගත්, මේ ලිපියේ පළමුවැනි කොටසට සාර්ථක ප්‍රතිචාර ලැබීම පිළිබඳව, සතුටුවෙනවා. මේ අඩවියේ ආරම්භයේ සිටම, ඔබේ දැනුම වර්ධනය සඳහා මා ඉදිරිපත් කළ විවිධ සංග්‍රාමික තොරතුරු කෙරෙහි, ඔබේ විශේෂ අවධානය යොමුවීම ගැනත්, මා නිහතමානීව සතුටුවෙනවා.යුද අවි ගැන, සාමාන්‍ය සමාජය දැනගතයුත්තේ ඇයි කියන ප්‍රශ්නයට, පිළිතුරු කීපයක් දෙන්න පුළුවන්.

  • හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව පලවන මාධ්‍ය වාර්තා කියවීමේදී/නැරඹීමේදී/ඇසීමේදී/ වඩාත් පුළුල් අවබෝධයකින් යුක්තව, කරුණු සලකා බලන්නට හැකි වෙනවා.

 

  • යුද අවි පාවිච්චි කරමින්, සිවිල් සමාජය තුළ සිදුකෙරෙන අපරාධ පිළිබඳව, වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිවීම. මෙන්ම එවැනි සිදුවීම් වලට අදාළ ඇසින් දුටු සාක්‍ෂි වලදී, එවැනි දැනුමක් තිබීම, ඉතා වැදගත් වනවා.

 

  • යම් යම් ගවේෂණාත්මක කරුණු සම්පිණ්ඩනය කිරීම් සඳහා, මෙවැනි දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා.

 

  • විනෝදාංශයක් ලෙස, යුද හමුදා තොරතුරු අධ්‍යයනය කරන, එක්රැස් කරන අයට, වැදගත් වෙනවා.
    පසුගිය කොටසෙන් අප සාකච්ඡා කරන්නට පටන්ගත්, AK 47 අවිය ගැන, ඔබ අතරින් සෑහෙන පිරිසකට යම් සතුටුදායක දැනුමක් තිබෙන බව මා දන්නවා. ඔබ පාසල් ශිෂ්‍ය භටයකු හෝ ආරක්ෂක හමුදා සාමාජිකයකු ලෙස සිටි/සිටින අයකු නම්, සතුටුදායක නොව, හොඳ දැනුමක් ඔබට ඇති.

ඒ දැනුම නැති/අඩු අය වෙනුවෙනුයි මේ ලිපිය කියවෙන්නේ.

AK 47 කියන්නේ, සම්පූර්ණ ස්වයංක්‍රීය (Automatic) තුවක්කුවක්.

මොකක්ද ස්වයංක්‍රීය තුවක්කුවක් කියන්නේ?

ස්වයංක්‍රීය තුවක්කුව නිර්වචනය කරන්නේ මෙහෙමයි:-

  තුවක්කුවේ ට්‍රිගරය (කොකා) මිරිකාගෙන සිටින තුරු, එම තුවක්කුවට සපයා ඇති පතරොම් සියල්ල, නොකඩවා, එකක් පසුපස එකක් වශයෙන් වෙඩි තැබීමට හැකි තුවක්කුව, ස්වයංක්‍රීය තුවක්කුවයි. මේ බලන්න.

 

   ස්වයංක්‍රීය තුවක්කු නිපදවන්න කලින් තිබුණේ අර්ධ ස්වයංක්‍රීය තුවක්කු. (Semi Automatic Gun) ඒ තුවක්කු වලින් වෙඩි තැබීමේදී, සෑම පතරොමක් වෙනුවෙන්ම, තුවක්කුවේ කොකා මිරිකන්න ඕනේ. 

    (අනේ මේ, කොකා ගස්සනවා කියලා, කියන්න ලියන්න එපා හොඳේ? කොකා ගස්සන්න ගියොත්, තුවක්කුව හෙලවෙලා, ඉලක්කය වරදිනවා. ඒ නිසා, හරියට ඉලක්කය අරං, කොකා මිරිකන්න) 
   ඒ වගේ අර්ධ ස්වයංක්‍රීය තුවක්කුවකට උදාහරණයක් තමා, ‘ස්වයංක්‍රීයව පතරොම් ඇතුළුවන තුවක්කුව Self Loading Rifle = SLR’ මේ බලන්න, හැම වෙඩිල්ලක් සඳහාම, කොකා මිරිකන්න ඕනේ. 0.40 සිට තත්පර 10 ක් බැලුවම ඇති. 

   (දැන් ඔන්න පොටෝ කෙළින උන්නැහේලා කියයි, SLR කියන්නේ, Single Lence Reflex කියන එකයි කියලා. හරි හරි, ඒකත් ඇත්ත, නමුත් මේකත් ඇත්ත)

 

දැන් බලන්න පූර්ණ ස්වයංක්‍රීය (Full Automatic) කිව්වම, කරුණු කීයක් සම්පූර්ණ විය යුතුද කියා. 

  •  පළමුව මේ තුවක්කුවට විශාල පතරොම් ගණනක් සපයා තිබිය යුතුයි.
  • දෙවනුව ඒ පතරොම් ස්වයංක්‍රීයව තුවක්කුවට ඇතුළු වියයුතුයි.
  • තුන්වනුව ඒ පතරොම් සියල්ල පත්තු කිරීම සඳහා, ස්වයංක්‍රීය යාන්ත්‍රික ක්‍රමවේදයක් තිබිය යුතුයි.  (automated mechanism)

   ඒ විතරක් නෙවෙයි, මෙවැනි යාන්ත්‍රණයක් සහිත තුවක්කු, නිකම්ම නිකම් තුවක්කු නෙවෙයි. ඒවා, ‘ප්‍රහාරක රයිෆල් (Assault Rifle)’  කියන අවි ගණයට තමයි අයත්වන්නේ.

   මොනවද ප්‍රහාරක රයිෆල් කියන්නේ? 

   ඊට කලින් බලමුද රයිෆලයක් කියන්නේ මොකක්ද කියලා? 

   රයිෆලය යනු, එහි මිට හෙවත් බට් කොටස,  පුද්ගලයකුගේ උරහිසට හේත්තු කර වෙඩි තැබීම කළහැකි, සර්පිලාකාර කාණු සහිත බටයකින් යුත්, ගිනි අවියකි. 
screenshot-128
   යම්කිසි ගිනි අවියක් ‘ප්‍රහාරක රයිෆලය’ කියන තත්වය ලබන්න නම්, සුදුසුකම් කීපයක් සම්පූර්ණ කලයුතු වෙනවා. රයිෆලයක බටය barrel වෙනත් සාමාන්‍ය තුවක්කුවකට වඩා වෙනස්. (මෙව්වා කලිනුත් කියලාදීලා තියනවා, කොහෙද ඔලුවේ තියාගන්න එකක්යැ) ඒ බටය තුළ, සර්පිලාකාර හැඩයකට සැකසූ කාණු තිබෙනවා ඒවා හඳුන්වන්නේ, ‘රයිෆ්ලිංග් Rifling’ යනුවෙන්. මේ බලන්න. 

හරි, දැන් බලමු ප්‍රහාරක රයිෆලයක් කියන්නේ මොකකටද කියලා.

  • ප්‍රහාරක රයිෆලයක් නම්, එහි වෙඩි තැබීමේ ක්‍රමය, (mode) වෙනස් කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඒ කියන්නේ, අවශ්‍ය විට, අර්ධ ස්වයංක්‍රීය තත්වයටත්,  සමහරවිට, එකවර උණ්ඩ තුනක්, පහක්, වැනි ගණනක් මුදාහල හැකි, සීරුමාරු යාන්ත්‍රණයක්, තිබිය යුතුයි. (selective fire)

selective-fire

 

mp-5

 

  • මධස්ථ ප්‍රමාණයේ බලයකින් යුත් පතරොම් යෙදීමට හැකියාව තිබිය යුතුයි. ඒ කියන්නේ, පිස්තෝල පතරොම් මෙන් කුඩා ඒවා නොවිය යුතු අතර, විශාල බලයක් සහිත රයිෆල් පතරොමක්ද නොවිය යුතුයි.

 

pistol

 

 

 

 

  •  ප්‍රහාරක රයිෆලයට යොදන පතරොම්, ගැලවීමට, යලි සවිකිරීමට හැකි, පෙට්ටි හැඩයේ පතරොම් ගැබකින් magazine සැපයිය යුතුයි.

m1-m14-m16-magazines

 

  • අවම ප්‍රතිඵලදායී වෙඩි දුර (minimum effective range) මීටර් 300 ක් වත් වියයුතුයි. ඒ කියන්නේ, මීටර් 300 ක් දුරින් පිහිටි ඉලක්කයක්, සාර්ථකව ලබාගැනීමේ හැකියාව, අනිවාර්යයෙන් තිබිය යුතුයි.

ඉතිං ඔච්චර ගොඩක් ප්‍රහාරක රයිෆල් වර්ග තියනවද? අපිනම් දන්නේ ඔය AK 47, T 56, M 16, වගේ ඒවා තමයි. 

  හෙහ් හෙහ්, ඔබ දන්නවද, තවම ලෝකයට නොපෙන්වපු, අවශ්‍ය වෙලාවට එලියට දාන්න බලාගෙන ඉන්න ප්‍රහාරක රයිෆල් වර්ග පවා, සමහර රටවල තියනවා. 

 මෙතනින් ගිහින් බලන්නකො, ප්‍රහාරක රයිෆල් වර්ග කොච්චර තියනවද කියලා. 

දැන් මොකද හිතෙන්නේ? 

මෙච්චර ගොඩක් ප්‍රහාරක රයිෆල් වර්ග තියනවනම්, ඇයි මේ AK 47 රයිෆලයට විශේෂ තැනක් ලැබෙන්නේ? 

 හේතු ගොඩක් තියනවා. මෙන්න ඒ අතරින් ඉතා වැදගත් හේතු කීපයක්. 

  • ප්‍රහාරක ශක්තිය අතින් AK 47 බොහොම ඉහලයි. කාටත් තේරෙන වචන වලින් කියනවනම්, කුඩු යන්ඩ දෙන්ඩ පුළුවන්.
  • මෙය ප්‍රබල අවියක් වුනාට බොහොම සරලයි. ටක් ගාලා ගලවලා හයි කරන්ඩ පුළුවන්. එච්චර කෑලි බෑලි නෑ, වෙනත් බොහොමයක් ප්‍රහාරක රයිෆල් එක්ක තියලා බැලුවම.  ගලෝලා බලමුද? (රයිෆල් එක රයිෆල් එක, ආයේ වෙන මොන ලබ්බද?) ඔන්න ගැලෙව්වා. හැබැයි පුතෝ ගැලෙව්වා වගේ නෙවෙයි, තිබ්බ විදිහටම හයි කරන්ඩත් ඕනේ හරිද? 

   කොහොමද? අමාරුද වැඩේ? මොන පිස්සුද, මේක හරිම පහසු වැඩක්. පොඩි කොල්ලෝ කෙල්ලොත් මේවා ඉගෙනගන්නවා, ශිෂ්‍යභට පුහුණුවේදී. 


තවත් කරුණු ටිකක් කියන්නම්. මේ අවිය ගැන.

  • මේ අවිය තරම් අනුකරණයට ලක්වූ තවත් ප්‍රහාරක රයිෆලයක්, ලෝකයේ කොහෙවත් නැහැ.  මේ අවිය අනුකරණය කොට නිපදවන ලද මෝස්‌තර විසිපහකට වඩා, අද ලෝකයේ විවිධ රටවල තිබෙනවා.

 

 

  • ශක්තිමත් බව සහ කල්පැවැත්ම අතින්, මේ අවිය ඉතා පුදුමාකාරයි. හිම, ජලය, මඩ, ආදියට යටවී, වසරක් පමණ ගෙවුණු AK 47 අවි, ගොඩගත් වහාම වෙඩි තැබීමට පුළුවන්වී තිබෙනවා.  යුද්ධ ටැංකියකට යටවීමෙන් පසුවත්, හානි නොවුණු AK 47 අවියක් ගැන වාර්තා තිබෙනවා.  මේ බලන්න වතුරට දාලා තිබුනත් වැඩකරනවා.

 

  • නියම (genuine) AK 47 අවියක්, හොඳින් නඩත්තු කරන්නේ නම්, වසර 50 – 60 අතර කාලයක් පාවිච්චි කළහැකි අතර, නොසැලකිල්ලෙන් පාවිච්චි කලත්, අවම වසර 15 – 20 ආයුකාලයක් තිබෙනවා.
  • සංකීර්ණ කොටස් නැති නිසා, සාමාන්‍යයෙන්, අත්‍යවශ්‍ය පහසුකම් තිබෙන කම්හලක, AK 47 අවියේ බාල අනුකරණයක්, පහසුවෙන් නිපදවන්න පුළුවන්. හොර අවි වෙළෙන්දන්ගෙන්, ඩොලර් 10 – 50 අතර ගණනකට මිළදී ගන්න පුළුවන්. මේ නිසා, සමහර රටවල, හොර අවි කම්හල් වැහි වැහැලා තියනවා. විශේෂයෙන්  බටහිර, මධ්‍යම, නැගෙනහිර,  අප්‍රිකානු රටවල. එවැනි රටවල ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධාන, බොහෝදුරට පාවිච්චි කරන්නේ, මේ ආකාරයේ AK 47 හොර කොපි.

(ඇයි තමුසෙලා වින්ඩෝස් හොරකොපි පාවිච්චි කොරනවානම්, අපි AK 47 හොරකොපි පාවිච්චි කළාම මොකද වෙන්නේ?  – මීට ත්‍රස්තවාදියෙක්)

  • ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන ප්‍රහාරක රයිෆලය AK 47. අද වනවිට ලෝකය පුරා AK 47 තුවක්කුවේ විවිධ මෝස්‌තර, මිලියන 100 කටත් වඩා පාවිච්චි කරනවා. ඒ කියන්නේ, ලෝක ජනගහනයෙන් සෑම 60 දෙනෙකුටම, එක AK 47 තුවක්කුව බැගින් තියනවා. 
  • වර්තමානයේ, ලෝකයේ සටන් නිසා ඇතිවන, හමුදා සෙබළුන්, සන්නද්ධ විප්ලවකාරී සංවිධාන සාමාජිකයන්,  සහ සාමාන්‍ය වැසියන්ගේ මරණ, වැඩියෙන්ම සිදුවන්නේ, AK 47 තුවක්කු ප්‍රහාර වලින්. සාමාන්‍යයෙන් වසරකට එලෙස මියයන සංඛ්‍යාව, ආසන්න වශයෙන් 250,000 ක්.
  • අවම වශයෙන් ලෝකයේ රටවල් 106 ක් පමණ, තම හමුදා සඳහා ලබාදී තිබෙන්නේ, AK 47 හෝ එහි අනුකරණ මෝස්‌තර.
  • මෙපමණ විශ්මයජනක මේ රයිෆලයේ, තවත් පුදුමයක් වන්නේ, යාන්ත්‍රිකව චලනයවන කොටස් 8 ක් පමණක් තිබීම. (moving parts)

   මේ වීඩියෝ එකනම් බලන්නම වෙනවා, හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා. මෙහි පෙන්වනවා, මේ අවියේ තිබෙන සියලුම චලනය වන කොටස් ක්‍රියාකරන ආකාරය. බොහොම දුර්ලභ සහ ඉතා දක්‍ෂ ලෙස සකසා ඇති වීඩියෝවක්.

 

අදට මේ ඇති නේද? ඊළඟ කොටසේදී, අවියේ කොටස් වල නම්, වෙඩි තියන හැටි, පතරොම් වර්ග, අවියේ වෙනත් ප්‍රයෝජන, මේ අවියේ ළඟම නෑදෑයෝ, සහ තවත් දේ ගැන කතාකරමු. 

2016 ඔක්තෝබර් මස 03 වැනි දින 2227 පැය 

Comments on: "ඕනේ කෙහෙම්මලක් වෙච්චාවේ………………………….. ඔන්න මම කියලා දෙනවා…. (දෙවැනි කොටස)" (14)

  1. බුද්ධික පෙරේරා said:

    ඔබගේ ලිපිය සාර්ථකයි අගය කරමි. ඉදිරි කොටස් ලැබෙන තුරු නොයිවසිල්ලෙන්

    රයිෆල් වර්ග ගැන බලද්දී තමයි දැක්කෙ ලෝකයේ රටවල් බොහොමයක කොඩි එතන තියෙනවා
    අපේ රටේ කොඩියත් එතනට දාන්ඩ බැරිද

    රටක් විදිහට රයිෆලයක් නිපදවීමේ දී ප්‍රායෝගික ගැටළු තිබෙනවාද

    ඔබ තුමා සිතන විදිහට වානිජ මට්ටමෙන් අප රට තුල නිෂ්පාදන බිහි නොවන්නේ ඇයි (යුධ ආයුධ නොවෙයි සාමාන්‍ය පරිහෝජනයට අවශය දේවල් )

    නිෂ්පාදන වානිජ මට්ටමෙන් බිහිවන්නේ නම් “සංවර්ධනය වෙමින් පවතින රටක් ” යන කෑල්ල අයින් කරගන්න පුළුවන් වෙයි නේද

    • ඇගයීම ගැන ස්තුතියි බුද්ධික.

      ප්‍රශ්න ගොඩක් ඇසීම ගැන සතුටුයි. මම කැමති මෙන්න මේ වගේ කමෙන්ට්ස් වලට. එකින් එකටැ උත්තර දෙන්නම්.

      අතනට අපේ කොඩිය දාගන්න ඇත්තටම අවශ්‍ය නැහැ. අපිට අවි ආයුධ නිපදවීමේ අවශ්‍යතාවක් නැහැ. යන්ත්‍රසූත්‍ර ගෙන්නලා, අමුද්‍රව්‍ය ගෙන්නලා, මෙහෙදී අවියක් නිපදවන්න යන මුදලට වඩා බොහොම අඩුවෙන්, අපිට චීනය වැනි රටකින් අවි මිලදීගන්න පුළුවන්.
      ප්‍රායෝගික ගැටළු මෙන්න මේවයි. යන්ත්‍ර සූත්‍ර හොයාගත්තත් අමුද්‍රව්‍ය අපි හිතන තරම් ලේසියෙන් ගන්න බැහැ. ලෝකයේ මහා පරිමාන අවි ජාවාරම්කාර රටවල් අපිට අකුල් හෙළනවා, අපේ රටේ හැම දේශපාලන පක්ෂයකටම අයත් මෝඩ දේසපාලුවෝ මෙන්න මෙන්න මේ රටේ යුද්ධායුධ නිපදවනවා කියලා ලෝකෙටම අඬබෙර ගහලා වැඩේ කනවා. ඒ වගේමයි නිපදවන අවි කොහොම හරි හොරපාරෙන් පාතාලය වැනි තැන්වලට යන්න ඉඩ තියනවා.
      වාණිජ මට්ටමෙන් අපේ රටතුල බොහොමයක් දේ නිපදවන්නේ නැත්තේ ‘පිටරට එක හොඳයි අපේ එක බාලයි’ කියන සංකල්පය තවමත් අපේ බහුතරය තුළ තිබෙන නිසා. 1970 දශකයේ නිපදවූ උපාලි ෆියට් කාර්, යුනික් රේඩියෝ, ලැම්බ්‍රෙටා ස්කූටර්, වැඩි දියුණු කලානම් අද අපි ඉන්දියාවලබා තියන දියුණුව ලබනවා.

      ඔව් අපිට වාණිජ මට්ටමේ නිෂ්පාදන දහයක් හරියට අපනයනය කරගන්න පුලුවන්නම් අපිතරමක් සැලකියයුතු රටක් බවට පත්වෙනවා.

  2. ඉතාම වටිනා විස්තරයක්, ඔබතුමා කිව්වා වගේ අර අවසන් වීඩියෝ එක නියමෙට හදලා තියනවා.

  3. මම පොඩි පොඩි කාරණා ට්කක් කියන්නම්. එකක් තමයි මේ ලිපිය ගොඩක් දෙනෙකුගේ ඇහැ ගැහිලා නැතුවාවගේ. මොකද හරියටම ඇහැට වැටුනනම් මෙතන කමෙන්ටුවලින් ගැලවීමක් නැතිවේවි.

    ලිපියට අදාලව කියනවා නම් 20 වන සියවසේ අවිය කියුවත් වරදක් නැහැ AK-47 තුවක්කුවට. මොකද ඒ තරමටම මේ ගිනි අවිය ලෝකයේ බොහෝ දේ වෙනස් කිරීම සදහා කළ කාර්යය සුවිශාලයි. කියන්නට තිබෙන කාරණා ගොඩක් නිසා මම මෙහෙම දෙයක් කරන්නම් බ්ලොග් ලිපියක් ලෙසම සත් සමුදුරේ දැන්ම ලියන්නම් ඔබගේ ලිපියට සබැඳියක් සමගම….

  4. Nodanna deyak danagaththa. aththatama sathutui. mehema mathruka gana ada katha karanawa harima aduine. sthuthi

    • ඔබ අවන්තික ද අවන්තිකා ද කියා හිතාගන්න අමාරුයි. ලිපිය ඇගයීම ගැන ස්තුතියි.

      මේ කරුණු වෙනත් භාෂාවලින් ඕනෙතරම් තියනවා අන්තර්ජාලයේ. නමුත් සිංහලෙන් කියවන අයට මොකුත් නැහැ. ඒ නිසයි ලියන්න හිතුවේ, සිංහලෙන් කියවන අය වෙනුවෙන්.

  5. ඉතා පැහැදිලිව ආධුනිකයින්ටත් පහසුවෙන් රයිෆලයක ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ලබාගන්නට පුළුවන් විදියට ලියවිලා තියෙනවා විචාරකතුමනි. ලිපියට අඩංගු කරලා තියෙන වීඩියෝ කිහිපයත් ඉතාමත් වටිනවා. විශේෂයෙන්ම අර අවසාන එක….

    ඉතිරියත් ඉක්මනින්ම කියවන්නට බලාගෙන ඉන්නවා. ස්තූතියි.

  6. ඕනදෙයක් වෙච්චාවේ,
    අහස කඩාගෙන වටුනාවේ,
    ගණන් ගන්න එපා ඔව්ව සුලුදෙවල්.

    බොහොම ස්තුතියි විචාරක තුමෝ

  7. […] නැති අයට, පළමුවැනි කොටස මෙතනින් සහ දෙවැනි කොටස මෙතනින් කියවන්න පුළුවන්. මා සිතා සිටියාට වඩා […]

  8. ඇයි M16ට කුඩම්මගෙ සැලකිලි?

  9. […] ලොව වටා රටවල් 106ක හමුදාවන් අත දරා සිටින මේ  රයිෆලය හේතුවෙන් වසරකට පුද්ගලයින් අවම වශයෙන් 250,000ක ප්‍රමාණයක් යුද්ධ සහ ගැටුම් ආදිය හේතුවෙන් මිය පරලොව යන බව වාර්තා වේ. […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.