ගෝල දඩයමකින් පසු සහිරා විද්‍යාලය අවසන් පූර්ව වටයට

833
Zahira College V De Mazenod College

කඳාන ද මැසිනොද් විද්‍යාලය සමඟ පැවති සිව්වන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ගෝල 4 – 1ක දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් කොත්මලේ සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහල පාපන්දු තරගාවලියේ අවසන්  පූර්ව වටයට සුදුසුකම් ලබන්නට මරදාන සහිරා විද්‍යාල කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: ප්‍රතිවාදීන්ට මැඩලමින් ජය සාන්ත හෙන්රි විදුහලට

සහිරා කණ්ඩායම මේ තරගය සඳහා වැඩි වාසි සමගින් එක්වුවත් ද මැසිනොද් විද්‍යාල කණ්ඩායමෙන් ඔවුන්ට සැලකිය යුතු අභියෝගයක් එල්ල වනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරන ලදී. කෙසේ වෙතත් සහිරා විද්‍යාලයට සිහිනයක් සැබෑ වුනාක් බඳු ආරම්භයක් ලැබුනේ පළමු මිනිත්තු 4 තුල ගෝල දෙකක් වාර්තා කිරීමත් සමගයි. එම ගෝල දෙකම ද මැසිනොද් විද්‍යාලයේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයන්ගේ අතපසුවීම් මගින් ලැබුණු ගෝල වීම විශේෂත්වයකි.

තරගයේ දෙවන මිනිත්තුවේදී මොහොමඩ් ආකීබ් පළමු වරට පන්දුව ප්‍රතිවාදී දැල තුලට යොමු කලේ ද මැසිනොද් පසුපෙළ ක්‍රීඩකයෙකුට පන්දුව නිසි අයුරින් ප්‍රතිවාදී අන්තයට එල්ල කිරීමට නොහැකි වීමත් සමගයි.

කෙසේ වෙතත් එම වරද නිවැරදි කර ගැනීමට ද මැසිනොද් ක්‍රීඩකයන් සමත් වීමට පෙර යලිත් වරක් සහිරා ක්‍රීඩකයන් පසුපෙලින් පන්දුව සොරාගෙන දෙවන ගෝලයත් වාර්තා කරන්නට සමත් විය.

ද මැසිනොද් කණ්ඩායමට ආරම්භයේදීම අත්විඳින්නට සිදුවූ අනපේක්ෂිත ප්‍රහාරයෙන් ඔවුන් කම්පනයට පත්ව සිටි බවක් පෙන්නුම් කළද, ඔවුන්ට නැවත තරගයට පිවිසීමට වාසනාවන්ත අවස්තාවක් හිමිවූ අතර ඔවුන් ඉන් උපරිම ප්‍රයෝජන ගන්නට සමත් විය.

15 වන මිනිත්තුවේදී ලැබුණු මේ අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් සහිරා දැල් රකින්නාට ඉහලින් පන්දුව ගෝලය තුලට යොමු කල ඩීන් ජයා මැසිනෝඩ් කණ්ඩායම තරගයට නැවත අවතීර්ණ කරන්නට සමත් වුවත්, ඉන් අනතුරුව යලිත් පන්දුවේ පාලනය වැඩිමනත්ම හිමිවුණේ සහිරා විද්‍යාලයටයි.

මිනිත්තු 15ක් තුල ගෝල 3ක් වාර්තා වීමෙන් පසුවත් කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී තරග රටාවක් අනුගමනය කරනවාට වඩා පන්දුව ආරක්‍ෂිත කලාප වෙත යොමු කිරීමට පියවර ගන්නා බවක් දක්නට ලැබුණි. නමුත් අවස්තාවක් ලද විගස ගෝලයක් ලබා ගැනීමේ වැඩි අවස්තාවක් දිස්වුනේ සහිරා කණ්ඩායම තුලිනි.

සිතු පරිදිම තීරණාත්මක තුන්වන ගෝලය වාර්තා කරන්නට සහිරා ක්‍රීඩකයන් සමත් වුනේ 29 වන මිනිත්තුවේදීයි. ශාෆ්රාන් සතාර් ලබාදුන් පන්දුව මුර්ශීඩ් නිසි පාලනයකින් තොරව වුවත් දැල් රකින්නාගේ හිසට ඉහලින් ගෝලය තුලට යොමු කරන්නට සමත් විය.

පළමු අර්ධයේ ඉතිරි කාලය අපහසුවකින් තොරවම ක්‍රීඩා කල සහිරා විද්‍යාල කණ්ඩායම පිටියේ මධ්‍ය ප්‍රදේශයේ පාලනය තමන් සතු කර ගත්තේ ශ්‍රී ලංකා ජාතික 19න් පහල කණ්ඩායමේ උප නායක ෆරූඩ් ෆායිස්ගේ ප්‍රමුඛත්වයෙනුයි.

මේ අතර ද මැසිනොද් විද්‍යාලයේ පසුපෙළ තාක්ෂණික දෝෂ කැපී පෙනුණු අතර ඔවුන්ගේ දැල් රකින්නා ගෝල රේඛාවෙන් ඉදිරියට පැමිණීමට මැලිකමක් දැක්වීම හේතුවෙන් සහිරා ක්‍රීඩකයන්ට ගෝල සීමාව ආසන්නයටම පැමිණ තම ආක්‍රමණය දියත් කිරීමට අවස්තාව හිමි විය.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය  3 – 1 ද මැසිනොද් විද්‍යාලය.

ද මැසිනොද් විද්‍යාල කණ්ඩායම දෙවන අර්ධයට පිවිසුනේ වඩාත් ප්‍රහාරාත්මක සැලසුමක් සමගයි. කෙසේ වෙතත් ඔවුන්ගේ ප්‍රහාරාත්මක මානසිකත්වය හේතුවෙන් පසුපස කලාපයේ ඇතිවූ හිඩැස් වලින් ප්‍රයෝජන ගැනීමේ අවස්තාව සහිරා ක්‍රීඩකයන්ට විවර විය.

54 වන මිනිත්තුවේදී ද මැසිනොද් පසුපෙළ බිඳගෙන ගෝල කලාපය වෙත ගෙන ගිය පන්දුව වේගවත් පහරකින් දැල තුලට යොමු කරන්නට ශාෆ්රාන් සමත් වූ අතර ගෝල රකින්නාට ඒ දෙස බලා සිටිනවා හැරෙන්නට අන් කිසිවක් කිරීමට නොහැකි විය.

මෙම ගෝලයත් සමග දෙවන අර්ධය තුල ද මැසිනොද් කණ්ඩායම ගොඩනගමින් සිටි ප්‍රහාරාත්මක මානසිකත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු අතර, ශරීර ශක්තිය උපයෝගී කර ගනිමින් තරගයේ වාසියක් ලබාගන්නට මැසිනොද් ක්‍රීඩකයන් උත්සාහ කලද එහි වාසිය හිමි වුනේද සහිරා ක්‍රීඩකයන්ටමයි.

ගෝල තුනක වාසියක් අතැතිව සිටි සහිරා විද්‍යාලය තම නවක ක්‍රීඩකයන්ට තරග අත්දැකීම් ලබා දීමට මහඟු අවස්තාවක් ලෙස දෙවන අර්ධයේ වැඩි කොටසක් භාවිතා කරන්නටද අමතක කලේ නැත. අවසන් මිනිත්තු කිහිපයේදී ද මැසිනොද් ක්‍රීඩකයන් තරමක් ඉහල මට්ටමේ ක්‍රීඩා විලාශයකට අවතීර්ණ වුවත් සහිරා පසුපෙළ ආරක්ෂාව බිඳ දමන්නට ඔවුන්ට නොහැකි විය.

විනිසුරුවරයාගේ අවසන් නලා ශබ්දයත් සමඟ සහිරා විද්‍යාලයේ විශිෂ්ට ජයග්‍රහණය තහවුරු වූ අතර ඔවුන් අවසන් පූර්ව තරගයේදී යාපනය ශාන්ත හෙන්රි විද්‍යාලය හමුවීමට අවස්තාව හිමි කර ගනු ලැබීය.

අවසන් ලකුණු: සහිරා විද්‍යාලය  4 – 1 ද මැසිනොද් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා  – ශාෆ්රාන් සතාර්

මේ අනුව සහිරා විද්‍යාලයට අවසන් පූර්ව වටයේදී තරග වදින්නට සිදුවන්නේ පසුගිය වසරේ මෙම තරගාවලියේ ශූරතාව දිනු ශාන්ත හෙන්රි විද්‍යාලය සමගයි. එහිදී ඔවුන් ශූරතාව දිනා ගත්තේ අවසන් මහා තරගයේදී සහිරා විද්‍යාලය පරදවමින්ම වීම විශේෂත්වයකි.

පරාජිත ද මැසිනොද් විද්‍යාලයේ පාපන්දු පුහුණුකරු රෝහිත ද කොස්තා ThePapare.com, වෙත මෙලෙස අදහස් දැක්වීය.

අපගේ ප්‍රධාන කණ්ඩායමේ දැල් රකින්නාට අද තරගයට ක්‍රීඩා කිරීමට හැකි වුණේ නැහැ. එම නිසා අපි ක්‍රීඩා කලේ වයස අවුරුදු 17න් පහල කණ්ඩායමේ දැල් රකින්නා සමගයි. එය අපිට පාඩුවක් වුනා. පළමු අර්ධයේදී අපේ කණ්ඩායමෙන් ඉතා විශාල තාක්ෂණික දෝෂයක් සිදුවුනා. නමුත් අපිට හැකිවුනා දෙවන අර්ධයේදී එය නිවැරදි කර ගැනීමට. අපේ කණ්ඩායම අද ඔවුන්ගේ සුපුරුදු ක්‍රීඩා විලාශයට ලඟා වීමට සමත් වුනේ නැහැ. විශේෂයෙන්ම ඉදිරිපෙළ ක්‍රීඩකයන් දස්කම් අතර සිටියේ නැහැ. අපිට ගෝල ලබා ගැනීමේ අවස්ථා කිහිපයක් උදා කර ගැනීමට හැකි වුනත් ඒවා නිසි අයුරින් ප්‍රයෝජනයට ගැනීමට අපි අසමත් වුනා.

සහිරා විද්‍යාලයේ පුහුණුකරු මොහොමඩ් රූමි මෙම තරගය පැවැත්වුණු ක්‍රීඩාංගනය පිලිබඳ පල කලේ එතරම් යහපත් අදහසක් නොවේ.

අපි මෙහෙට ආවේ දිනන්න. එය අපිට පහසුවෙන්ම කර ගැනීමට හැකි වුනා. නමුත් අපේ කණ්ඩායමේ අඩුපාඩු කිහිපයකුත් දක්නට ලැබුනා. අපි බලාපොරොත්තු වෙනවා අවසන් පූර්ව තරගයට පෙර එම අඩුපාඩු නිවැරදි කර ගැනීමට. මේ තරගය පැවැත්වුණු ක්‍රීඩාංගනයේ තත්ත්වය නම් ඉතාම නරකයි. එම නිසා අපිට අපගේ සුපුරුදු ක්‍රීඩා විලාශය මෙහිදී ක්‍රියාත්මක කරන්න නොහැකි වුනා. එය ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාවටත් නරක විදිහට බලපානවා. නමුත් ඔවුන් සමත් වුනා ගෝල කිහිපයක් වාර්තා කරන්නට.

ශාන්ත හෙන්රි විද්‍යාලය සමග පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගය පිලිබඳ ThePapare.com විමසූ විට ඔහු පල කලේ මෙවන් අදහසක්.

ඔව් එය අපිට තවත් අවසන් මහා තරගයක් වගෙයි. අපි ඔවුන්ව පරාජය කිරීමට අපේ පුහුණුවීම් සිදු කරනවා

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට