ආනන්ද – ඉසිපතන ක්‍රිකට් සටන ජය පරාජයෙන් තොරයි

371
U19 School Cricket

මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ අද (30) පැවති තරග වලදී පූර්ණ තරග ජයග්‍රහණයක් වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට හිමි වුනු අතර කොළඹ ආනන්ද විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයකින් සෑහීමකට පත් වන්නට සිදු විය. පළමු කාණ්ඩය යටතේ අද පැවැත්වුනු අනෙක් තරග 5 හෙට දෙවන දිනයටත් ක්‍රියාත්මකයි.

පසුගිය ලිපි: ආනන්ද – ඉසිපතන ක්‍රිකට් සටන උණුසුම් වෙයි!

ආනන්ද විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර තරගය

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්වුනු මෙම තරගයේ ප්‍රථම දිනය අතිශයින්ම උණුසුම් එකක් විය. දෙපිළේම පිතිකරුවන් තණතීරුව මතදී අපහසුතාවයට පත් වෙද්දී ඊයේ දිනයේ නිමාවුනු ඉනිම දෙක අතර පැවතුණේ ලකුණු 3ක සුළු වෙනසක් පමණි. අවසානයේ දී එම සුළු වෙනස හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයක් හිමි විය.

ඊයේ දිනයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉසිපතන විද්‍යාලයේ ඇරයුමින් පිටියට පිවිසි කොළඹ ආනන්ද විද්‍යාලයේ පිතිකරුවෝ සියලු දෙනාම ලකුණු 163ක් තුල දැවී ගියහ. නමුත් විද්‍යාලයේ ගෞරවය වෙනුවෙන් සටන්කාමී ඉනිමක නිරත වුනු සහන් සුරවීර ලකුණු 65ක් රැස් කරන ලදී. ඉසිපතනය වෙනුවෙන් ලහිරු ඩිල්ශාර සහ සංජුල බණ්ඩාර ආනන්ද විද්‍යාලයේ කඩුලු 8කට වග කියන්නට සමත් විය.

පන්දුවෙන් ප්‍රකට කළ සුපිරි දස්කම් නිසා තරගයේ වැඩි වාසි ඉසිපතනය සතු වන බව පෙනෙන්නට තිබුණි. නමුත් එම වාසිය ඔවුන්ගෙන් උදුරාගත් ආනන්ද විද්‍යාලීය ක්‍රීඩකයින් ඊයේ දිනය තුලම ඉසිපතන පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 160කට නතර කර ගැනීමට සමත් වූහ. ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් හේෂාන් ප්‍රනාන්දු හුදකලා ඉනිමක නිරත වෙමින් ලකුණු 53ක් රැස් කරද්දී ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අසේල්, දිලීප සහ ශම්මු කඩුලු 2 බැගින් බිඳ හෙලමින් දක්ෂතා දැක්වූහ.

අද දිනයේදී ඉසිපතන විද්‍යාලයට වඩා ලකුණු 3ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ආනන්ද පිතිකරුවන්ගෙන් දැකිය හැකි වූයේ පරිණත පිතිකරණ ශෛලියකි. ප්‍රථම දිනයේ සිදුවූ වරද නැවත සිදු වන්නට ඉඩ නොදුන් ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 225ක් රැස් කර සෑහීමකට පත් වීමෙන් අනතුරුව ඉනිම අත් හිටුවන්නට තීරණය කරන ලදී. ආනන්ද විද්‍යාලය වෙනුවෙන් කවිශ්ක අන්ජුල (61) සහ අසේල් සිගේරා (50) අර්ධ ශතක රැස් කිරීමට සමත් වූ අතර මධුෂික සහ ලහිරු අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

සිය දෙවන ඉනිම වෙනුවෙන් අද සවස් වරුවේ පිටියට පිවිසි ඉසිපතන ක්‍රීඩකයින් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කරගෙන සිටියහ. ඉසිපතනයේ විශ්වාසනීය පිතිකරු පැතුම් නිස්සංක අර්ධ ශතකයක් වාර්තා කර ගනිද්දී ආනන්ද විද්‍යාලයේ වටිනා තුන් ඉරියව් ක්‍රීඩකයා වන ශම්මු අශාන් ලකුණු 32කට කඩුලු 6ක් බිඳ හෙලන්නට සමත් විය. මේ අනුව ප්‍රථම ඉනිමේ දැක්වූ දස්කම් නිසාවෙන් ආනන්ද විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක පහස විඳින්නට හැකි විය.

ආනන්ද විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 47.2) සහන් සුරවීර 65, සංජුල බණ්ඩාර 3/22, ලහිරු ඩිල්ශාර 5/61.

ආනන්ද විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 8ක් දැවී ලකුණු 225/8 (පන්දුවාර 58) කවිෂ්ක අන්ජුල 61, අසේල් සිගේරා 50, දුෂාන් හෙට්ටිගේ 33, සහන් සුරවීර 33, මධුෂික සඳරුවන් 3/69, ලහිරු ඩිල්ශාන් 3/80.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 160 (පන්දුවාර 44.2) හේෂාන් ප්‍රනාන්දු 53, අසේල් සිගේරා 2/07, දිලීප ජයලත් 2/24, ශම්මු අශාන් 2/47.

ඉසිපතන විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 7ක් දැවී ලකුණු 133 (පන්දුවාර 38) පැතුම් නිස්සංක 54, සංජුල අබේවික්‍රම 49, ශම්මු අශාන් 6/32.


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරගය

අද දින අවසන් වූ පළමු කාණ්ඩයේ අනෙක් තරගය පැවැත්වුනේ වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදීයි. එහිදී කාසියේ වාසිය ජයග්‍රහණය කල අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ජෝසප් වාස් පිතිකරුවන්ට ආරාධනා කරන ලදී.

එම ආරාධනයට ප්‍රබල පිලිතුරක් ලබා දුන් ජෝසප් වාස් පිතිකරුවෝ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 236ක් ලබා සිටියදී සිය ඉනිම අත් හිටුවන්නට තීරණය කළහ. ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් පෙරේරා අනර්ඝ ශතකයකින් තම විදු මව සැරසීමට සමත් විය. අනුරාධපුර මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් රවින්ත ප්‍රභාෂ්වර ලකුණු 28ට කඩුලු 4ක් බිඳ හෙලන ලදී.

ජෝසප් වාස් ඉනිමට සාර්ථක පිලිතුරක් දිය නොහැකි වූ අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය පිතිකරුවන්ට සිය ප්‍රථම ඉනිම ලකුණු 83කට සීමා කරන්නට සිදු විය. සුපිරි පන්දු යැවීමක නිරත වුනු ෂෙහාර සහ නිපුන් කඩුලු 4 බැගින් බිඳ හෙලන ලදී.

ජෝසප් වාස් විද්‍යාලය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 178ක් ලබා සිටියදී ඉනිම අත් හිටවූයේ අනුරාධපුර විද්‍යාලයේ පිතිකරුවන් නැවත වතාවක් දවා ගනිමින් තරග ජය තමන් සතු කර ගැනීමටයි. ඔවුන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ දෙවැනි ඉනිම ලකුණු 115කට සීමා කරන්නට ඔවුන්ට හැකි විය. එහිදී ශෙහාර, නිපුන් සහ චමෝද් පන්දුවෙන් දස්කම් දැක්වූහ. ජෝසප් වාස් ප්‍රථම ඉනිමේදී නිපුන් පෙරේරා වාර්තා කළ ශතකයත් දෙවන ඉනිමේදී සඳරුවන් ප්‍රනාන්දු වාර්තා කළ ශතකයත් තරගය පුරාවට කැපී පෙනුණි. වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය මෙම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 216කිනි.

ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 236 (පන්දුවාර 58) නිපුන් පෙරේරා 104, තිලාන් ප්‍රදීප්ත 70, රවින්ත ප්‍රභාෂ්වර 4/28, සවිඳු බණ්ඩාර 2/35.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 83 (පන්දුවාර 35.3) හේෂාන් සෙනිර 24, ෂෙහාර රණතුංග 4/13, නිපුන් පෙරේරා 4/21.

ජෝසප් වාස් (දෙවන ඉනිම) කඩුලු 3ක් දැවී ලකුණු 178 (පන්දුවාර 36.5) සඳරුවන් ප්‍රනාන්දු 100*, නිපුන් පෙරේරා 44, රවින්ත ප්‍රභාෂ්වර 2/32.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය (දෙවැනි ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 115 (පන්දුවාර 45) ශෙහාර රණතුංග 3/42, නිපුන් පෙරේරා 3/33, චමෝද් පෙරේරා 2/11.


සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත ඇන්තනි විද්‍යාලය අතර තරගය

සාන්ත පීතර විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන මෙම තරගයේදී කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වගකීම භාරගන්නට පීතර විද්‍යාලයේ නායකයා තීරණය කලේය. ඒ අනුව සාර්ථක පිතිකරණයක ලකුණු පෙන්නුම් කළ සාන්ත පීතර ක්‍රීඩකයෝ පන්දුවාර 53කට මුහුණ දෙමින් කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 339ක් රැස් කර සිටියදී සිය ඉනිම අත් හිටුවන්නට තීරණය කළහ. ලක්ෂින, මනෙල්ක, රන්මිත් සහ අනිෂ්ක අර්ධ ශතක රැස් කරමින් පීතර ඉනිම සවිබල ගැන්වූහ.

දිනයේ නිමාව සනිටුහන් වෙද්දී පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන සාන්ත ඇන්තනි පිතිකරුවන් ලකුණු 32කට කඩුලු 5ක් බිඳ වැටී අසීරු අඩියක පසුවෙයි. සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් සුපිරි පන්දුකරණයක නියැලුණු සන්තුෂ් ගුණතිලක ලකුණු කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත් විය.

සාන්ත පීතර විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 339 (පන්දුවාර 53) ලක්ෂින රොද්‍රිගෝ 82, මනෙල්ක ද සිල්වා 71, රන්මිත් ජයසේන 69*, අනිෂ්ක පෙරේරා 58, අරින්ද චතුරංග 2/63.

සාන්ත ඇන්තනි විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 32 (පන්දුවාර 36) සන්තුෂ් ගුණතිලක 4/01.


සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත සර්වේසස් විද්‍යාලය අතර තරගය

ජෝසප් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන මෙම තරගය අඩු ලකුණු තරගයක් බවට පරිවර්තනය වන බවට ඉඟියක් දිනය පුරා දැකිය හැකි විය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ සර්වේසස් නායකයා සාන්ත සර්වේසස් විද්‍යාලයට ආරාධනා කළේ සිය විදුහල් ක්‍රීඩා පිටියේදීම ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදෙන ලෙසයි.

ඒ අනුව පිටියට පිවිසි ජෝසප් පිතිකරුවන්ට අද දිනයේ එතරම් දක්ෂතා අතරට පැමිණෙන්නට හැකි වූයේ නැත. ඔවුන්ගේ සියලුම කඩුලු ලකුණු 148ක් තුල බිඳ වැටෙද්දී හරීන් කුරේ ලකුණු 37ක් රැස් කිරීමට සමත් විය. දක්ෂ පන්දු යැවීමක නිරත වුනු ශශික දුල්ෂාන් ලකුණු 56ක් ලබාදී ජෝසප් පිතිකරුවන් 5 දෙනෙකු නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය.

දිනය නිමාවන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන සර්වේසස් පිතිකරුවන් ද ලකුණු 60ක් තුලදී කඩුලු 6ක් දැවී අසීරු තත්වයක පසුවෙයි. රුචිර ඒකනායක සහ ජෙහාන් ඩැනියෙල් අගනා පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් බිඳ හෙලන්නට සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 56.3) හරීන් කුරේ 37, ටශාන් පෙරේරා 26, නිපුන සුමනසිංහ 22, ශශික දුල්ෂාන් 5/56.

සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 60 (පන්දුවාර 27) රුචිර ඒකනායක 3/15, ජෙහාන් ඩැනියෙල් 2/35.


සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර තරගය

අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ තරග අතුරින් තවත් තරගයක් වන මෙය සාන්ත සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සෙබස්තියන් පිතිකරුවන් සියල්ලන්ම දැවී ලකුණු 295ක් ලබා ගැනීමට සමත් විය. සෙබස්තියන් ඉනිම ගොඩ නැගූ නිමේෂ් බණ්ඩාර ලකුණු 83ක් රැස් කරද්දී නුවනිඳු ප්‍රනාන්දුට සහ ප්‍රශාන් ප්‍රනාන්දුට සිය අර්ධ ශතක වලට එක් ලකුණක් මෙපිටින් ඉනිම නිමා කරන්නට සිදු විය. ගිහාන් විතාරණ ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් අනර්ඝ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 95ට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් විය.

ප්‍රථම දිනය අවසන් වනවිට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ධර්මරාජ පිතිකරුවන් කඩුලු 2ක් දැවී ලකුණු 58ක් රැස් කරගෙන තරමක් යහපත් මානසිකත්වයකින් පසුවෙයි. හෙට තරගයේ දෙවන දිනයයි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 295 (පන්දුවාර 76.5) නිමේෂ් බණ්ඩාර 83, නුවනිඳු ප්‍රනාන්දු 49, ප්‍රශාන් ප්‍රනාන්දු 49, විසිත අභිලාෂ් 45, ගිහාන් විතාරණ 5/95, රුක්මාල් දිසානායක 3/94.

ධර්මරාජ විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 58 (පන්දුවාර 18)


හොරණ තක්ෂිලා මහා විද්‍යාලය සහ දෙහිවල එස් ඩි එස් ජයසිංහ විද්‍යාලය අතර තරගය

හොරණ තක්ෂිලා විද්‍යාලයේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය හිමිවුනේ දෙහිවල S De S ජයසිංහ විද්‍යාලයටයි. ඔවුන්ගේ ඇරයුමට අනුව පිටියට පිවිසි තක්ෂිලා පිතිකරුවන් දිනය අවසාන වනවිට කඩුලු 8ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 222කි. තක්ෂිලාව වෙනුවෙන් අශාන් ලක්මාල් අර්ධ ශතකයක් රැස් කරද්දී දිනය පුරා තක්ෂිලා පිතිකරුවන්ට සුපිරි තර්ජනයක් එල්ල කළ ජයසිංහ විද්‍යාලයේ මදුක නිරෝෂන් කඩුලු 6ක් බිඳ හෙලමින් දක්ෂතා දැක්වීය. හෙට දිනයේ තරගය දෙවන දිනයට ක්‍රියාත්මකයි.

හොරණ තක්ෂිලා මහා විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 222 (පන්දුවාර  67) අශාන් ලක්මාල් 50, අශාන් සම්පත් 27, සෙනෙත් වින්විනු 26, ගෙෂාන් ගිම්හාන 26*, මදුක නිරෝෂන් 6/75.


ධර්මපාල විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය

ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ධර්මපාල පිතිකරුවන් සියල්ලන්ම දැවී රැස් ලකුණු සංඛ්‍යාව 113කි. ඒ වෙනුවෙන් අවිශ්ක හසරින්ද ලකුණු 27ක් සහ මහිම වීරකෝන් ලකුණු 25ක් රැස් කරද්දී ත්‍රිත්ව විද්‍යාලයේ වීරයා බවට පත්වූ ශම්මුගනාදන් ශැනෝගීත් ලකුණු 45කට ධර්මපාල කඩුලු 6ක් දවා ගන්නට සමත් විය.

දිනය නිමාවන විට ත්‍රිත්ව විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 19ක් රැස් කරගෙන සිටියි. හෙට තරගයේ දෙවන සහ අවසන් දිනයයි.

ධර්මපාල විද්‍යාලය ලකුණු 113 (පන්දුවාර 42) අවිශ්ක හසරින්ද 27, මහිම වීරකෝන් 25, ගිහාන් පෙරේරා 16, ශම්මුගනාදන් ශැනුගීත්  6/45, විමුක්ති නෙතුමාල් 2/09.

ත්‍රිත්ව විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 19 (පන්දුවාර 7).

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට