ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබර කර ගැනීමට රහස් වට්ටෝරුවක්

1677
Tips for Helping Teens

වැඩිහිටියන් වශයෙන් අපට අපගේ දහසකුත් එකක් වැඩ කටයුතු නිසි අයුරින් පරිපාලනය කරගත නොහැකි අවස්ථාවල දැනෙන මානසික ආතතිය හඳුනා ගැනීමටත්, බොහෝ අවස්ථා වලදී එම ආතතිය පාලනය කර ගැනීම සඳහා වැඩ කටයුතු සකස් කර ගැනීමටත් හැකියාව ඇත. නමුත් දරුවන් හට ඔවුන්ගේ මානසික ආතතිය හඳුනා ගැනීමට සහ එය පාලනය කර ගැනීමට හැකියාව තිබේද?

පාසල් වසරක අවසානයත්, නව ක්‍රීඩා තරග වාරයක ආරම්භයත් සටහන් වන මේ සමයේදී පාසල් ක්‍රීඩකයන් තම පාසලේ අධ්‍යාපන කටයුතු සහ පිටියේ ක්‍රීඩා කටයුතු යන දෙඅංශයෙන්ම ඉහල දස්කම් වාර්තා කිරීමේ සටන ජය ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳව සොයා බැලීම වටී.

ක්‍රීඩාවට ඔබව වඩාත් වැඩි අධ්‍යාපනික දස්කම් ඇති සිසුවෙක් බවට පත් කළ හැක

වසර පුරාවටම එක් ක්‍රීඩාවක් පමණක් කෙරෙහි අවධානය යොමු කරන සිසුවෙක් පිලිබඳ සලකා බැලූ කල්හි එහි නිරන්තර ස්ථාවරත්වය වෙනුවෙන් ඇති නිරන්තර අවධානය හේතුවෙන් ඔහුගේ හෝ ඇයගේ පාසල් අධ්‍යාපනය සාර්ථක කර ගැනීම පිලිබඳ ඇති අවධානය අඩුවීමට පුළුවන. නමුත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම ජීවිත හැඩ ගස්වා ගත යුත්තේ එසේ නොවේ. සමීක්ෂණ දත්ත වාර්තා අනුව පැහැදිලිවම සනාත වී ඇති කරුණක් වන්නේ පාසලේ හෝ සමාජ මට්ටමේ ක්‍රීඩා සඳහා සම්බන්ධ වන තරුණ දරුවන් අධ්‍යාපන කටයුතු අතින්ද ක්‍රීඩාවට සම්බන්ධ නොවන දරුවන්ට වඩා ඉදිරියෙන් සිටින බවයි.

සමාජ විද්‍යාඥ Jay J. Coakley තම ‘Sport in Society’ නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත.

“ද්විතීක පාසල් සිසුන් අතර ක්‍රීඩාවට සම්බන්ධ සිසුන් සහ කිසිදු ක්‍රීඩාවක නොයෙදෙන සිසුන් අතර සිදුකල පර්යේෂණ වලදී දිගින් දිගටම තහවුරු වූ කරුණු කිහිපයක් තිබේ. ක්‍රීඩාවේ යෙදෙන සිසුන් කණ්ඩායමක් ලෙස ගත් කල්හි ක්‍රීඩා නොකරන සිසුන්ට වඩා ඉහල ලකුණු සහ සම්මාන හිමිවී ඇති බව ඉන්  එක් කරුණකි. එමෙන්ම ක්‍රීඩාවේ යෙදෙන සිසුන් අතර  පාසල පිලිබඳ වඩාත් ධනාත්මක ආකල්ප, පාසල් කාලයෙන් පසුවත් අධ්‍යාපනය ඉදිරියටම පවත්වාගෙන යාමේ ආශාව මෙන්ම අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමේදී තරමක් ඉහල සම්භාවිතාවක්ද පෙන්නුම් කරන බවයි මෙම සමාජ විද්‍යා පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ වන විට බොහෝ පාසල් වල ශාරීරික අධ්‍යාපනය සඳහා දෙනු ලබන අවධානයේ සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ. බොහෝ දෙමවුපියන් මෙන්ම ගුරුවරුන්ද දරුවන් ක්‍රීඩාවෙන් ඈත් කර අධ්‍යාපන කටයුතු සඳහා පමණක් කාලය වෙන් කිරීම සඳහා දරුවන් දිරිගන්වන සංස්කෘතියක් මෙරට බොහෝ පාසල් තුල ක්‍රීඩාව පවත්වාගෙන යාමේදී මුහුණ දීමට සිදුවන ගැටලුවකි

දිගින් දිගටම ගැටළුවක්ව පවතින මෙම තත්වය පිලිබඳ අවධානය යොමු කරන අතරම අප මෙම ලිපියේ ප්‍රධාන මාතෘකාව වෙත අවධානය යොමු කරමු. ක්‍රීඩාව සහ අධ්‍යාපනය අතර සමබරතාව ඇති කර ගන්නේ කෙසේද? පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා පිටියේ දක්වන දස්කම් වලට නොදෙවෙනි වූ ප්‍රගති වාර්තාවක් පන්ති කාමරය තුලද පවත්වා ගන්නේ කෙසේද?

ක්‍රීඩාව සහ අධ්‍යාපනය අතර සමබරතාව රැක ගැනීම….

ඉහත සඳහන් කරුණ ඉටුකර ගැනීම සඳහා බොහෝ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇති ප්‍රධාන බාධකය වන්නේ කාලයයි. කාලය ඉතිරි කරගැනීමේ සහ කාලය නිසි අයුරින් කළමනාකරණය කර ගැනීමේ උපක්‍රම හඳුනා ගැනීමෙන් මෙම ගැටලුව සාර්ථකව විසඳා ගැනීමට හැකියාව ඇත. කාල කළමනාකරණය සහ පන්තියේ මෙන්ම ක්‍රීඩා පිටියේද සාර්ථක දරුවෙක් බවට පත්වීම සඳහා රහස් වට්ටෝරුවක් පහත දැක්වේ.

සංවිධානාත්මක වන්න : සංවිධානාත්මකව සිටින්න – විශාල මේස දින දර්ශනයක් හෝ දිනපොතක් භාවිත කරන්න. ඔබට කිරීමට නියමිත පාසල් වැඩ (ඉදිරි විභාග, පැවරුම්, ගෙදර වැඩ) සහ ක්‍රීඩා කටයුතු (පුහුණුවීම්, තරග,) සියල්ල එහි සටහන් කරන්න. සෑම සතියකම පසුගිය සතියේ ප්‍රගතිය සහ ඉදිරි සතියේ සැලසුම් පිලිබඳ සමාලෝචනයක යෙදෙන්න.

කාලය කළමනාකරණය කරන්න – ඔබගේ කාලය ඉතා වටිනා බැවින් එම කාලයේ කිරීමට ඇති දේ පිලිබඳ අවධානයෙන් සිටින්න. ඔබට අනිවාර්යයෙන් කාලය වෙන් කිරීමට සිදුවන අවස්ථා සියල්ල සටහන් කර තබන්න. (උදා. පාසල් කාලය, තරග සඳහා වය වන කාලය, පුහුණුවීම් සඳහා ගත කරන කාලය, ඉහත සඳහන් අවස්ථා සඳහා ගමනාගමනයට වය වන කාලය ආදිය.) මෙසේ අනිවාර්යයෙන් වැය වන කාල සටහන් කිරීම මගින් පාසලේ ගෙදර වැඩ සහ පාඩම් කිරීමට ඇති කාලය හඳුනා ගැනීමට ඔබට පහසු වනු ඇත.

සතිය සැලසුම් කරන්න : ඔබව සැලසුම් කිරීමට කාලයට ඉඩ නොදෙන්න – ඔබ සකස් කල දින දර්ශනය / දින පොත නිරන්තරයෙන් පරිහරණය කිරීම මගින් ඔබගේ අධ්‍යාපන කටයුතු, විභාග සහ පැවරුම් ආදිය සම්පූර්ණ කළ යුතු දිනය සහ වේලාවන් පිලිබඳ අවධානයෙන් සිටින්න. ඊට අනුකූලව පාඩම් කිරීමට අවශ්‍ය කාලය කුමක්දැයි ඔබම තීරණය කරන්න.

සති අන්ත සහ නිවාඩු දින අර්ථවත් ලෙස භාවිතා කරන්න – පාසල් නිවාඩු දින සහ ක්‍රීඩා කටයුතු නොමැති දින වලදී ඉදිරි සතියට අදාළ පැවරුම් සම්පූර්ණ කිරීම සහ ඉදිරි සතියේ ඉගැන්වීමට නියමිත පාඩම් පිලිබඳ ස්වයං අධ්‍යනයක යෙදීම මගින් ක්‍රීඩා කටයුතු හේතුවෙන් මගහැරීමට නියමිත අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගැනීමට ඔබට පහසු වනු ඇත. එමගින් පන්තියේ අනෙකුත් සිසුන්ට වඩා ඉදිරියෙන් සිටීමටද ඔබට අවස්තාව හිමිවේ.

රථ වාහන තදබදයත් ඔබේ වාසියට යොදා ගන්න – පාසලට, පුහුණුවීම් වලට සහ තරග වලට යාමට සහ ඒමට ගතවන කාලය තුල ප්‍රයෝජනවත් කාර්යයක යෙදෙන්න. අතපසුවූ සටහන් කියවීම, ඉදිරි පාඩම් පිලිබඳ ස්වයං අධ්‍යනයක යෙදීම වැනි කටයුතු සඳහා මෙම කාලය පහසුවෙන් යොදා ගත හැක.

**ඔබට වාහනයක යන අතර පොත් කියවීමට නොහැකි නම්, මේ වනවිට වෙළඳපොලේ සුලභව ඇති ඉතා අඩු මුදලකට මිලදී ගත හැකි කුඩා ශ්‍රව්‍ය පටිගත කිරීමේ උපකරණයක් (Sound Recorder) මගින් පාසලේ පාඩම් පටිගත කර එයට නැවත සවන්දීම සඳහා මෙම කාලය භාවිත කල හැක.

අද කළයුතු දේ හෙටට කල් නොදමන්න – පාසලෙන් ලබාදෙන පැවරුම් සහ ගෙදර වැඩ ඔබට ලැබෙන පළමු අවස්ථාවේදීම සම්පූර්ණ කරන්න. එසේ නොකළහොත් අනිවාර්යයෙන්ම ඔබට ඔබගේ පුහුණුවීම් හෝ තරගයක් මගහැර අවසන් මොහොතේදී පාසල් වැඩ සඳහා කාලය වෙන් කිරීමට සිදුවනු ඇත.

සෑමවිටම ඉදිරියෙන් සිටින්න – පාසල් වැඩ කටයුතු වලට මෙන්ම  ක්‍රීඩා කටයුතු සඳහා ද මෙය අදාළ වේ. තරගයකදී ඔබට මොහොතකට හෝ පසුබැසීමට සිදු වුවහොත් ප්‍රතිවාදියා පසු කිරීමට ඔබට විශාල වෙහෙසක් දැරීමට සිදු වනවා සේම පාසලේ වැඩ කටයුතු කිරීම සඳහා මදක් හෝ අලස කමක් දැක්වුවහොත් ඔබව පසු කර යන අනෙකුත් සිසුන් සමග එක් වීමට ඔබට මහත් වෙහෙසක් දැරීමට සිදු වනු ඇත.

නිදහස් කාල පරිච්ඡේද වලින් උපරිම ප්‍රයෝජන ගන්න – පාසලේ ගුරුවරයෙක් නොපැමිණි අවස්තාවක හිමිවන නිදහස් කාල පරිච්ඡේද වලදී කාලය නිකරුනේ අපතේ හැරීමෙන් තොරව ඔබට අතපසුවූ පාඩම් මිතුරන්ගෙන් අසා දැන ගැනීම ඔබගේ කාලය ඉතිරි කර ගැනීමට මගක් වනු ඇත. එවන් නිදහස් කාල සීමාවන් තුල පාසලෙන් ලබා දුන් ගෙදර වැඩ සම්පූර්ණ කිරීමට යොදා ගතහොත් ඔබගේ ක්‍රීඩා කටයුතු සඳහා වැය කිරීමට ඔබට වැඩිපුර කාලයක් හිමි වනු ඇත.

පාසලේ ඇති සම්පත් වලින් ප්‍රයෝජන ගන්න – මෙරට බොහෝ පාසල් ගුරුවරුන් තම දරුවන්ට නිරන්තරයෙන්ම උපකාර කිරීමට පසුබට නොවෙති. එබැවින් ඔබ ක්‍රීඩා කටයුතු සඳහා යොමුවූ අවස්තාවලදී අතපසුවූ පාඩම් පිලිබඳ නැවත විමසීමට පාසලේ ගුරුවරුන් වෙත යාම කිසිසේත්ම කාලය අපතේ යැවීමක් නොවනු ඇත. එවන් අවස්ථා තමන්ගේ දියුණුව සඳහා උපයෝගී කර ගන්න.

අපට ලැබෙන කාලය තුල කල යුතු වැඩ කටයුතු දිනෙන් දිනම වැඩි වෙමින් පවතියි.වගකීම්, ඉලක්ක මෙන්ම ජීවිතාශාවන් සහ කාලය අතර ඇතිවන ඝට්ටනය  මුළු ජීවිත කාලය පුරාවටම අපට මුහුණදීමට සිදුවන අභියිගයකි. එබැවින් මෙම කාල කළමනාකරණ රහස් ක්‍රියාවට නැංවීම සඳහා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කරලීමට ගුරුවරුන්ට දෙමාපියන්ට සහ ක්‍රීඩා පුහුණුකරුවන්ට හැකිවුවහොත් එය අනාගත දරු පරපුරේ පාසල් සහ ක්‍රීඩා කටයුතු සංවර්ධනයට පමණක් නොව ඔවුන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීමටද එය මහඟු පිටුවහලක් වනු නොඅනුමානය.