ලෝක ළමා දිනය | ලංකාව හොඳ නෑ - අපේ රටේ ළමයි පිටරට පටවමු


හොඳම දේ දරුවන්ට! කවුදෝ විද්වතෙක් කියා ඇත (මතක විධියට ලෙනින් විය යුතුය). යෝජනාව සර්ව සාධාරණය. දරුවා යනු අනාගත පුරවැසියාය. අනාගත බදු ගෙවන්නාය. අනාගත පාළකයා මෙන්ම පාළිතයාය. අනාගත ආදායම් උපද්දවන්නාය, අනාගත නවෝත්පාදකයාය, අනාගත ගුරුවරයාය. ඒ අනුව දරුවන්ට හොඳමදේ දෙනවා යනු අනාගත පරපුර රැකගැනීම තුලින් අනාගත වැඩිහිටියා තෘප්තිමත්, විනයවත්, ආදර්ශමත් පුර්වැසියෙකු කිරීමය. ඒ අනුව බලන කල, හෙට තවත් ලෝක ළමාදිනයක් සැමරීමට සූදානම් වන ලංකාවේ ළමා පරපුරේ වර්තමානය හා අනාගතය කෙසේද යයි විවරණය කර බලමු.

ලංකාවේ දරුවන්ට අනාගතයක් නැද්ද?

ලංකාවේ සමහර උගත් දෙමව්පියන් පවා විශ්වාසකරන අන්දමට ලංකාවේ දරුවන්ට අනාගතයක් නැත. සමහරුන් මෙය අන්ත දේශපාලන කෝණයකින් බලයි. අහවලුන් බලයේ නැති නිසා යලිත් කොටින්ට තම්බින්ට නටන්ට ලැබී ඉඩ ඇත. ලඟදීම ඉන්දියාවේ සාගත පරපුර වෙළඳ ගිවිසුම් හරහා ලංකාවට කඩා වදිනු ඇත. සියලු රැකියා තුට්ටුවට දෙකට වැඩකරන ඉන්දියානු ආර්ථික සරණාගතයින්ටය. අපේ ළමයි ගෙදර වේලෙනු ඇත. 

තවත් සමහර දෙමව්පියන්ගේ දැක්මට අනුව මෙහි සිටීමෙන් දරුවන්ට පලක් නැත. උගතාට තැනක් නැත. උගත්කමට සරිලන රැකියා නැත. හොඳම දේ දරුවා රටින් යැවීමයි. උගත්, ඉතා බුද්ධිමත් දෙමව්පියන් පවා මෙසේ සිතයි. උදාහරණයක් ලෙස මෑතකදී මට එක්තරා පියෙක් හා කතාකිරීමට අවස්ථාවක් උදාවිය. ඔහු වෘත්තියෙන් ඉන්ජිනෙරුවෙකි. රජයේ රැකියාවක් කරයි. ලංකාවේ ඉංජිනේරු පීඨ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල 4න් (මොරටුව, පේරාදෙණිය, රුහුණ, යාපනය) එකකින් බිහිවුනු යාන්ත්‍රික ඉන්ජිනේරුවෙකි. ඔහු කතාකලේ දැඩි කළකිරීමකිනි. මේ රටේ අනාගතයක් නෑ. කොහොම හරි ළමයව පිටරටකට යවන්න ඕනෑ. 

ඔහු ඉන්ජිනේරුවෙකු වුවද ඔහු සිය දියණිය යොමුකොට ඇත්තේ වාණිජ්‍යය හැදෑරීමටයි (ඇය ඉතා දක්ශ සිසුවියකි එබැවින් ඇයට අපහසුවකින් තොරව ඉන්ජිනේරු විද්‍යාව හැදෑරීමට අවශ්‍ය උසස්පෙල ගණිතය, භෞතික විද්‍යාව ආදියෙන් ඉහලින් සමත්වීමට හැකියාව ඇති බව මම පෞද්ගලිකව දනිමි ). ඔහුගේ තර්කය අනුව ලංකාවේ ඉන්ජිනේරුවෙකුවී වැඩක් නැත. ඊට වඩා කොමර්ස් කිරීමෙන් අනාගතයක් හදාගත හැක.

ලොව පුරා දියුණු රටවල රජයන් පවා, දරුවන් STEM විෂයන් (Science, Technology, Engineering, Mathematics) ලෙස හඳුන්වන තාක්ශණික විෂයන්ට යොමු කිරීමට බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කරති. ලංකාවේද උසස්පෙල සඳහා තාක්ශණික විශයන් හඳුන්වාදෙමින් මේ සඳහා සාධනීය පියවර රැගෙන ඇත. ඒ හා සමගාමීව රජයේ විශ්වවිද්‍යාලවලද තාක්ශණික පාඨමාලා පුලුල් කිරීමට, නව තාක්ශණික පාඨමාලා ආරම්භ කිරීමට විවිධ වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක වෙමින් පවතී. 

තාක්ශණික පාඨමාලාවලට හා තාක්ශණ ප්‍රවර්ධනයට වැඩි බරක් දෙන SLIIT (Sri Lanka Instititue of Information Technology), SLIATE (Sri Lanka Institute of Advanced Technological Education), SLINTEC (Sri Lanka Institute of Nano Technology), Kotalawala Defence University, ආදී ව්‍යාපෘතිද මේ හා බැඳී තිබේ. එහෙත් මේ උගත් ඉන්ජිනේරු පියා සිය දක්ශ දියණියව යොමුකරන්නේ චාර්ටඩ් එකවුන්ටන්සි වෙතයි.

ලංකාවේ දරුවන්ගේ අනාගතය එතරම්ම අඳුරුද?

ලංකාවේ ළමා අපචාර හා වදබන්ධන

ළමාරක්ෂක අධිකාරියට අනුව පසුගිය වසරේ පමණක් ළමා අපචාර 10,000ක් පිලිබඳව පැමිණිලි ලැබී ඇත. ඒ අනුව තවමත් පැමිණිලි නොකරණ ලද, කිසිවෙකුත් (ළමයා හා අපරාධකරුවා හැරෙන්නට) නොදන්නා අපචාර කොතරම් තිබිය හැකිද? මේ අතරින් වැඩිම ප්‍රමාණයක් පැමිණිලි දරුවන්ට කෲර ලෙස සැළකීම පිලිබඳවය. බොහෝ විත්තිකරුවන් සිංහල බෞද්ධ උපාසකයින්ය. (මමද සිංහල බෞද්ධයෙකු වෙමි ). දූෂණය කිරීම හා බරපතල ලිංගික අපයෝජන පැමිණිලි 1000කට වැඩිය.

UNICEF/ILO වාර්තාවකට අනුව ලංකාවේ ළමා ගණිකාවන් 40,000ක් සේවයේ නිරතව සිටී. මොවුන්ගෙන් විශාල පිරිසක් පිරිමි දරුවන් වන අතර දේශීය මෙන්ම විදේශිකයින්ට ලිංගික ශ්‍රමය සපයයි. එමෙන්ම යාචකයින් ලෙස යොදවා ඇති වීථි දරුවන් 300,000ද ලංකාවේ සිටී.

අනෙක් රටවල තත්වය

USA

Crimes Against Children research Centre (CCRC) හා එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩළයට වගකියන Government Accountability Office (GAO) ආයතනයට අනුව අමෙරිකා එක්සත් ජනපදය තුල 600,000 සිට මිලියන 2.4ක තරමේ බාළ වයස්කාරයින් පිරිසක් ගණිකාවෘත්තියේ නිරතවෙයි. මෙයින් 300,000ක් පමණ පිරිමි දරුවන් වෙයි. (Sources 1, 2)

Australia

ශ්‍රී ලාංකිකයින් පදිංචිවීමට වඩාත්ම ප්‍රියකරන විදෙස් රට වන ඔස්ට්‍රේලියාවේ රජයේ සංඛ්‍යා ලේඛනවලට (source) අනුව වසරකට දරුවන් 40,000ක් පමණ (ලංකාවේ ගාණ මෙන් 4ගුණයක්) අපයෝජනයට බඳුන්වන අතර මෙයින් 5500ක් ලිංගික අපයෝජන වන අතර 16,000ක් දරුවන්ට මානසික වදබන්ධන දීම සම්බන්ධයෙන් වන අතර 11,000ක් දරුවන් සිය දෙම්ව්පියන්ගේ රැකවරණ අහිමිව තනිවම, අනාරක්ශිතව, බොහෝවිට නිරාහාරව සිය නිවෙස්වල තනිවී සිටී. එමෙන්ව වසරකට දරුවන් 9000කට පමණ විවිධ ශාරීරික වද්බන්ධන පැමිණවීම් වාර්තාවේ. මේ සියල්ල සිදුවන ඔස්ට්‍රිලියාවේ ජනගහණය මිලියන 23කි. (ලංකාව මිලියන 21ක ජනකායක් සිටින ඔස්ට්‍රේලියාවට සාපේක්ශව ඉතා දුප්පත් රටකි )

UK

එක්සත් රාජධානියේ රජයට අනුබද්ධ National Society for the Prevention of Cruelty to Children (NSPCC) ඒජන්සියට අනුව එක්සස්ත් රාජධානියේ සෑම දරුවන් 5දෙනෙකුගෙන් එක් දරුවෙක් යම් ආකාරයක බරපතල අව-සැළකීම්වලට (severe maltreatment) භාජනය වී ඇත. එමෙන්ම වසරකට දරුවන් 360,000ක් පමණ බරපතල අපයෝජනයන්ට ලක්වීමේ අවදානමෙන් (high risk of abuse) පසුවේ. මේ සියලු අපචාර නිවසේ සිදුවන අපචාර හෙවත් ලෙස සටහන්වී ඇත. එනම් එක්සත් රාජධානියේ බොහෝ දරුවන්ට සිය නිවස තර්ජනාත්මක පරිසරයකි. (source)

ඒ අනුව හෙට ලෝක ළමාදිනය සමරන ඇමරිකානු, ඔස්ට්‍රේලියානු හා බ්‍රිතාන්‍ය ළමුන්ගේ තත්වය අපේ ළමයින්ගේ තත්වයට වඩා හොඳ යයි කියන්නේ කෙසේද? අපේ දෙමව්පියන් ලංකාව හොඳනෑ කියමින් සිය දරුවන්ව පටවන්නේ මෙවැනි තත්වයක් ඇති රටවලටය.

ලංකාවේ දරුවන්ගේ අනාගතය ගැන සතුටුවිය හැකිද?

ලංකාවේ දරුවන්ටද විවිධ අපයෝජන තර්ජන තිබේ. මධ්‍යම පන්තියේ පවුල්වල දරුවන්ට වෑන් අංකල්ලාගෙන්, ත්‍රී වීලර් අංකල්ලාගෙන්, ටියුෂන් සර්ලාගෙන්, ගෙදර රෙපයාර් කරන්නට එන බාස් අංකල්ලාගෙන්ද, අසනීපවලට තෙල් මතුරන්ට එන කට්ටඩි අංකල්ලාගෙන් මෙන්ම අම්මිගේ බෝයිෆ්‍රෙන්ඩ් අංකල්ගෙන්ද අපයෝජන තර්ජන ඇත. ඒවා පුවත්පත් වල දිනපතා වාර්තාවේ. ගම්වල සිටින දරුවන්ට ගමේ අහල පහල මාමලාගෙන්/සීයලාගෙන්, කඩේ මුදලාලි මාමලාගෙන්ද, අම්මා / අක්කා බලන්නට එන මාමලාගෙන්ද තර්ජන ඇත. සමහරවිට නැන්දලාගෙන්ද නැතුවා නොවේ.

කෙසේ වෙතත් බටහිර රටවල ඇති සර්ව-පිත්තල ලෝකය, තාක්ශණික විප්ලවය මෙහි නැතිවුනාට ලංකාව යනු දරුවන්ගේ අනාගතය නැති කරන, දරුවන්ට අනාගතයක් නැති රටක් නොවේ. 

රටක් ලෙස අප ශක්ති පමණින් අපගේ දරුවන් රැකගන්න බව මට පෙනෙන දෙයකි. තවමත් අපේ දෙමව්පියන් සිය ජීවිතයම කැප කරන්නේ දරුවන් වෙනුවෙනි. දරුවන් මහරෑ තනිකොට දමා පෙම්වතා/පෙම්වතිය සමග ක්ලබ් යන අම්මලා තාත්තලා මෙහි ඉන්නේ අල්ප ප්‍රමාණයකි. ඔවුන්ද විනාශවී ගිය පවුල් ජීවිතයක් නිසා එම තත්වයට වැටුනාවූ අයවලුන් විය යුතුය.

ඒබැවින් අපේ සමහර ඇත්තලා සුරපුරයන්, ඩිස්නිලන්තයන් හා සමාන යයි සිතන බටහිර රටවල ජීවත්වන දරුවන්ට වඩා ලංකාවේ දරුවන්ගේ අනාගතය සුරක්ශිතය යන්න මගේ අවංක හැඟීමයි.


__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments