42වන ජාතික ක්‍රීඩා උළෙල යාපනයේදී ආරම්භ වේ

520
42nd National Sports Festival

42වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භය අද (29දා) සවස යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී සිදු කෙරිනි. ඊට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ගරු කථානායක කරූ ජයසූරු මහතා සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගී විය.

තවද මේ සදහා ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා පිලිබද අමාත්‍ය මනෝ ගනේශන් මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්. එම්. හාරිස් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඇතුලු අමුත්තන් රැසක් සහභාගී විය. තරගාවලිය මෙම මස 29/30 සහ ඔක්තෝබර් මස 01/02 යන දිනයන් 4 පුරා යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.

පසුගිය ලිිපි: 42වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සියල්ල සූදානම්

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ශ්‍රී ලංකාව තුල පවතින ජාතික සංහිදියාව ලොවට පිළිබිඹු කිරීම මෙම තරගාවලියේ අරමුණයි.මේ අතර සංවර්ධනය වෙමින් පවතින උතුරු පළාත තුල මෙවන් ක්‍රීඩා උළෙලක් පැවැත්වීමෙන් එම පළාතේ වෙසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුල වුවද ක්‍රීඩාව කෙරේ උනන්දුවක් ඇතිවිය හැකි අතර ඔවුන් ආකල්පමය වශයෙන් ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් දැක්වීමේ සම්භාවිතාවක් ද මෙයින් ඇතිවේ. වර්ෂ 1967දී ක්‍රීඩා අමාත්‍යංශය පිහිටුවීමෙන් අනතුරුව රාජ්‍ය මට්ටමේ අනුග්‍රහයකින් යුතුව යාපනයේ පැවැත්වෙන පළමු ක්‍රීඩා උළෙල ලෙස මෙම ක්‍රීඩා උළෙල හැදින්විය හැක.

සමාරම්භය සනිටුවහන් කරමින් කරූ ජයසූරිය මහතා විසින් ජාතික ධජය ද, අමාත්‍යාංශ ධජය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ද, පළාත් ධජයන් පළාත් ක්‍රීඩා ඇමතිවරුන් විසින් ද ඔසවනු ලැබීය.

ජාතික මහා ක්‍රීඩා උළ‍ෙලේ තේමා ගීතය වාදනය වීමෙන් අනතුරුව ප්‍රධාන ආරධිත අමුත්තා වන කථානායක කරූ ජයසූරිය මහතා විසින් ආචාර පෙළපාලිය පිලිගනු ලැබීය. පසුව 42වන ජාතික මහා ක්‍රීඩා උළෙල ඇරඹී බව සංකේතවත් කරමින් වෙඩි මුර 07ක් පැවත්වා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් වර්ණවත් බැලූන් අහසට මුදා හැරීම සිදු කෙරිනි.

දිවයිනේ සියලු පළාත් ආවරණය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කගේ පමණ සහභාගීත්වයෙන් පැවත්වෙන මෙම තරගාවලියේ මූලික තරගවට කිහිපයක් මේ වන විට පවත්වා ඇති අතර  මලල ක්‍රීඩා, කඹ ඇදීම, පැසිපන්දු, වෙරළ කබඩි, වොලිබෝල්, දැල්පන්දු, පිහිනුම්, පාපන්දු ඇතුලු ක්‍රීඩා 33කින් මෙම තරගාවලිය සමන්විත වේ. ඔලිම්පික් හා ඔලිම්පික් නොවන ක්‍රීඩා වලින් සමන්විත වන මෙම තරගාවලිය සඳහා මෙම වසරේ සිට නව ක්‍රීඩා 8ක් ඇතුලත්ව තිබීම විශේෂිත වේ.

ඉන් පසුව “ශ්‍රී ලංකාවේ සියලු පළාත් සභා බල ප්‍රදේශ නියෝජනය කරමින් අද දින රැස් වූ ක්‍රීඩක පරපුරට මාගේ ගෞරවය හා සුභාශිංසනය පිරිනමමි. මෙම ක්‍රීඩා උත්සව කාලය තුලදී පමණක් නොව සදාකල්හිම ක්‍රීඩකයන් අතර දැඩි සහෝදරත්වයක් හා සුහද තරගකාරීත්වයක් වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.” වශයෙන් කථානායකතුමන් විසින් තරගාවලිය ආරම්භ කරමින් විවෘත කිරීමේ පණිවුඩය ප්‍රකාශ කොට සිටියේය.

ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා පහන  දැල්වීමෙන් පසුව සභාව පිළිගැනීමේ කථාව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්තුමා විසින් සිදු කරනු ලැබීය. පසුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සභාව අමතනු ලැබූ අතර අනතුරුව කථානායක කරූ ජයසූරිය මහතා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තාගේ කථාව පවත්වනු ලැබීය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විසිර යාමෙන් අනතුරුව 42වන ජාතික මහා ක්‍රීඩා උත්සවයේ සමාරම්භක උළෙලේ අවසානය සිදු වූ අතර එයින් පසුව දොරේඅප්පා ක්‍රීඩා පිටියේදී ඇරඹියේ උතුරු පළාතේ සංස්කෘතිය මනාව පිළිඹිබු කරන්නට යෙදුනු සංස්කෘතික සන්දර්ශණයි.

තරගාවලියේ ඉදිරි දිනයන් හි විස්තර සදහා එක්වන්න ThePapare.com  අප සමඟ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට