ආනන්ද – ඉසිපතන ක්‍රිකට් සටන උණුසුම් වෙයි!

1229
Singer Trophy

මෙවර වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩය යටතේ අද (29) පැවති තරග සංඛ්‍යාව 2කි. ඒ අතුරින් තමන් ක්‍රීඩා කරන තරගය තුල ප්‍රථම දිනයේ වැඩි වාසි හිමි කරගන්නට වෙන්නප්පුව ජෝසප් වාස් ක්‍රීඩකයින් සමත් වූ අතර, ආනන්ද – ඉසිපතන ක්‍රිකට් සටන ජය පරාජය දෙපිළටම දෝලනය වන උණුසුම් තරගයක් බවට පත්ව තිබේ.

පසුගිය ලිපි: රවිඳු සහ හරීන් ශා. ඇලෝසියස් ජයග්‍රහණයට මඟ පෙන්වයි

ආනන්ද විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර තරගය

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන මෙම තරගය පිතිකරුවන්ට එතරම් යහපත් වූවක් නොවීය. දෙපිළේම පිතිකරුවන් තණතීරුව මත අපහසුතාවයට පත් වෙද්දී පන්දු යවන්නන්ගේ දස්කම් වැඩි වශයෙන් කැපී පෙනුනි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉසිපතන විද්‍යාලීය නායකයාගේ ඇරයුමින් පිටියට පිවිසි කොළඹ ආනන්ද විද්‍යාලයේ පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 163ක් තුල දී දවාගන්නට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ. නමුත් විද්‍යාලයේ ගෞරවය වෙනුවෙන් සටන්කාමී ඉනිමක නිරත වුනු සහන් සුරවීර ලකුණු 65ක් රැස් කරන ලදී. ඉසිපතනය වෙනුවෙන් තම වගකීම් කොටස මැනවින් ඉටුකල ලහිරු ඩිල්ශාර (5/61) සහ සංජුල බණ්ඩාර (3/22) ආනන්ද පිතිකරුවන් 8 දෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය.

ඒ අනුව පන්දුවෙන් සුපිරි දස්කම් පෙන්නුම් කළ ඉසිපතන ක්‍රීඩකයින් තරගයේ වැඩි වාසි තමන් වෙත අත්කර ගත්තේ ප්‍රථම ඉනිමේදීම වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර ආනන්ද විද්‍යාලය තව තවත් පීඩනයට හසු කිරීමටයි. නමුත් එසේ වන්නට ඉඩ නොදුන් ආනන්ද විද්‍යාලීය පන්දු යවන්නන් අද දිනය නිමාවන්නට පෙර ඉසිපතන ක්‍රීඩකයින් සියලු දෙනාම දවා ගැනීමට සමත් වූහ. මෙම විශිෂ්ට පන්දු යැවීම හමුවේ ආනන්ද විද්‍යාලයේ ප්‍රථම ඉනිමට වඩා ලකුණු 3ක් මෙපිටින් සිටිමින් සිය ඉනිම නිමා කරන්නට ඉසිපතන ක්‍රීඩකයින්ට සිදු විය.

ඉසිපතනය වෙනුවෙන් හේෂාන් ප්‍රනාන්දු හුදෙකලා ඉනිමක නිරත වෙමින් ලකුණු 53ක් රැස් කරද්දී ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අසේල්, දිලීප සහ ශම්මු කඩුලු 2 බැගින් බිඳ හෙලමින් දක්ෂතා දැක්වූහ. හෙට තරගයේ දෙවන සහ අවසන් දිනය වන අතර තණතිල්ලේ හැසිරීම අනුව බොහෝ දුරට මෙම විද්‍යාල දෙකෙන් එකකට හෙට දිනයේදී පූර්ණ තරග ජයග්‍රහණයක මිහිර විඳින්නට අවස්ථාව උදා වීමට ඉඩ තිබේ.

ආනන්ද විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 47.2) සහන් සුරවීර 65, සංජුල බණ්ඩාර 3/22, ලහිරු ඩිල්ශාර 5/61.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 160 (44.2) හේෂාන් ප්‍රනාන්දු 53, අසේල් සිගේරා 2/07, දිලීප ජයලත් 2/24, ශම්මු අශාන් 2/47.


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරගය

අද දින පැවති පළමු කාණ්ඩයේ අනෙක් තරගය පැවැත්වුනේ වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදීයි. එහිදී කාසියේ වාසිය ජයග්‍රහණය කල අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ජෝසප් වාස් පිතිකරුවන්ට ආරාධනා කරන ලදී.

එම ආරාධනයට ප්‍රබල පිලිතුරක් ලබා දුන් ජෝසප් වාස් පිතිකරුවෝ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 236ක් ලබා සිටියදී සිය ඉනිම අත් හිටුවන්නට තීරණය කළහ. ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් දර්ශනීය ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් පෙරේරා අනර්ඝ ශතකයකින් තම විදු මව සැරසීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් තිලාන් ප්‍රදීප්ත ලකුණු 70යි. අනුරාධපුර මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් රවින්ත ප්‍රභාෂ්වර ලකුණු 28ට කඩුලු 4ක් බිඳ හෙලන ලදී.

ජෝසප් වාස් ඉනිමට සාර්ථක පිලිතුරක් දිය නොහැකි වූ අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය පිතිකරුවන්ට දිනය නිමාවන විට සියලු දෙනාම දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 83ක් පමණි. බිඳ වැටුනු අනුරාධපුර විද්‍යාලයේ ප්‍රථම ඉනිම වෙනුවෙන් හේෂාන් සෙනිර ලකුණු 24ක් රැස් කරද්දී ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4 බැගින් බිඳ හෙලන්නට ෂෙහාර රණතුංග සහ නිපුන් පෙරේරා සමත් වූහ. හෙට තරගයේ දෙවන සහ අවසන් දිනයයි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 236 (පන්දුවාර 58) නිපුන් පෙරේරා 104, තිලාන් ප්‍රදීප්ත 70, රවින්ත ප්‍රභාෂ්වර 4/28, සවිඳු බණ්ඩාර 2/35.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 83 (පන්දුවාර 35.3) හේෂාන් සෙනිර 24, ෂෙහාර රණතුංග 4/13, නිපුන් පෙරේරා 4/21.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට