ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායමට අමතක නොවන දිනයක්

4112
Mercantile Cricket A division September 28th Roundup

සිංගර් ආයතනය මගින් සංවිධානය කරනු ලබන සීමිත පන්දුවාර වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ මූලික වටයේ තරඟ කිහිපයක්ම අද (28) පැවැත්විණි. මෙම තරඟ වලින් සම්පත් බැංකු, ටෙක්ස්චර්ඩ් ජර්සි, ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් යන කණ්ඩායම් ජයග්‍රහණ ලබාගැනීමට සමත් විය.

පසුගිය ලිපි: මිලන්තගේ ශතකයෙන් ජෝන් කීල්ස් ඉනිම පණ ලබයි

සම්පත් බැංකු කණ්ඩායම හා HNB කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වූ අතර තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල HNB බැංකු කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා සම්පත් බැංකු කණ්ඩායමට ඇරයුම් කරන ලදි.

මෙම තරඟය පන්දුවාර 50ක තරඟයක් ලෙස ආරම්භ වුවද වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරඟය එක් ඉණිමකට පන්දුවාර 47ක් දක්වා සීමා කරන ලදි.

සම්පත් බැංකු කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිකරණය නිරත වුනු රොමේෂ් බුද්ධික හා කෞෂාල් සිල්වා පිළිවෙලින් ලකුණු 93ක් හා ලකුණු 91ක් තම කණ්ඩායම වෙනුවෙන් දායක කරන ලදි.ෙ

සම්පත් බැංකු කණ්ඩායම – 296/09 (47): රොමේෂ් බුද්ධික 93, කෞශාල් සිල්වා 91, බුද්ධි පෙරේරා 3/38, චන්දුල වීරරත්න 2/45, මාධව වර්ණපුර 2/51

දෙවනුව පිටියට පැමිණි HNB බැංකු කණ්ඩායම ඉතා හොදින් තරඟයට අවතීර්ණවී ක්‍රීඩා කලද අවසානයේ වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා නොසිතූ පරාජයකට පත්වීමට HNB බැංකු කණ්ඩායමට සිදුවිය.

HNB බැංකු කණ්ඩායම – 94/03 (21.5): අශේන් ප්‍රනාන්දු 34*

සම්පත් බැංකු කණ්ඩායමට ලකුණු 45ක ජයක් (D/L)


ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම හා MAS ඇක්ටිව් කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය කොළඹ පී. සරා ඕවල් පිටියේදී නිමාවූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම ලකුණු 203ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කල MAS ඇක්ටිව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කල අතර ඒ ඇරයුමින් පිටියට පැමිණි ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම් ක්‍රීඩක ඩිලාන් ජයලත් අනර්ඝ හා දැකුම්කළු පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 150*ක් ලබාගන්නා ලදි. මිනෝද් භානුක ඩිලාන් සමඟ එක්ව තම කණ්ඩායමේ ලකුණු තත්ත්ව සීග්‍රයෙන් ඉහල දැමූ අතර මිනෝද් ලකුණු 91කට අවාසනාවන්ත ලෙස දැවීයන ලදි.

ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම – 329/08 (50): ඩිලාන් ජයලත් 150*, මිනෝද් භානුක 91, ලසිත් ඇඹුල්දෙණිය 3/55, චරිත් ජයම්පති 2/61, ජෙහාන් මුබාරක් 2/63

MAS ඇක්ටිව් කණ්ඩායමට ලකුණු 330ක් හඹායාමට නියමිතව තිබුණද, ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායමේ සුරංග ලක්මාල් ඇතුළු පන්දු යවන්නන් දක්ෂ ලෙස පන්දු යවමින් MAS ඇක්ටිව් කණ්ඩායමේ පිතිකරණය අසරණ කරන ලදි. අවසානයේ වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ ජය පරාජය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තීරණය කරන ලදි.

MAS ඇක්ටිව් කණ්ඩායම – 118/09 (25.2): ජෙහාන් මුබාරක් 33, සාලිය සමන් 2/25, සුරංග ලක්මාල් 2/29

ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායමට ලකුණු 203ක දැවැන්ත ජයක් (D/L)


MAS Unichela කණ්ඩායම හා ජෝන් කීල්ස් කණ්ඩායම අතර තරඟය

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල ජෝන් කීල්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ඒ අනුව පිටියට පැමිණි MAS Unichela කණ්ඩායමේ කුසල් පෙරේරා ලකුණු 68ක් ලබාගැනීමට සමත් විය. ඔහු සමඟ කණ්ඩායමේ ලකුණු පුවරුව සවිමත් කල ධනුෂ්ක ගුණතිලක ලකුණු 61ක්ද, තිලකරත්න ඩිල්ශාන් ලකුණු 58ක් ද කණ්ඩායම වෙනුවෙන් දායක කරන ලදි.

MAS Unichela කණ්ඩායම – 305/09 (50): කුසල් පෙරේරා 68, ධනුෂ්ක ගුණතිලක 61, තිලකරත්න ඩිල්ශාන් 58, මහේල උඩවත්ත 41, නිරෝෂන් දික්වැල්ල 34, අක්ශු ප්‍රනාන්දු 3/32, ඉශාන් ජයරත්න 3/47, විකුම් බණ්ඩාර 2/70

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් MAS Unichela කණ්ඩායමේ සිටි නමුත් අක්ශු ප්‍රනාන්දු, රොශේන් ප්‍රනාන්දු ඇතුළු ජෝන් කීල්ස් කණ්ඩායමේ පිතිකරුවන් සුපිරි හඹායාමක් දියත් කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය. මෙහිදී පන්දුවෙන් මෙන්ම පිතතෙන් ද දස්කම් දැක්වූ අක්ශු ප්‍රනාන්දු නොදැවී ලකුණු 63ක් වාර්තා කිරීමට සමත් විය.

ජෝන් කීල්ස් කණ්ඩායම – 307/08 (49.2): අක්ශු ප්‍රනාන්දු 63*, රොශේන් සිල්වා 52, ශනුක දුලාජ් 38, සදුන් වීරක්කොඩි 36, ලහිරු මිලන්ත 24, දිමුත් කරුණාරත්න 24, දිල්රුවන් පෙරේරා 3/53, ඉශාර අමරසිංහ 3/62

ජෝන් කීල්ස් කණ්ඩායමට කඩුලු 2ක ජයග්‍රහණයක්


කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම හා ඩිමෝ කණ්ඩායම අතර තරඟය

කාසියේ වාසිය ජයග්‍රහණය කල කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කල අතර එම ඇරයුමින් ඩිමෝ කණ්ඩායම පිටියට අවතීර්ණ විය. තරඟය කටුනායක නිදහස් වෙළෙඳ කලාප පිටියේදී පැවැත්විය විය.

ඩිමෝ කණ්ඩායම වෙනුවෙන් නිපුන් කරුණානායක දක්ෂ ලෙස පිත්ත හසුරුවමින් ශතකයක් ලබාගන්නා ලදි. පුලින තරංග, නිපුන්ට අනගි සහයක් ලබාදෙමින් අර්ධ ශතකයක් ලබාගන්නා ලදි.

ඩිමෝ කණ්ඩායම – 250/07 (50): නිපුන් කරුණානායක 101, පුලින තරංග 53, රමේශ් මෙන්ඩිස් 40, සුරාජ් රන්දිව් 2/39, ලහිරු මදුසංක 2/46

ලකුණු 251ක අභියෝගයක් පසුපස යාමට පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී මාවතක් විවර කිරීමට අශාන් ප්‍රියන්ජන, උපුල් තරංග හා ඉමේෂ් උදයංග සමත් විය. අශාන් ප්‍රියන්ජන ලකුණු 77ක් ලබාගෙන තම කණ්ඩායම ස්ථාවර මට්ටමකට ගෙන ඒමට සමත් විය.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම – 251/05 (48.1): අශාන් ප්‍රියන්ජන 77, උපුල් තරංග 56, ඉමේෂ් උදයංග 55, නිසල තාරක 3/45

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට කඩුලු 05ක ජයක්

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට