ගෝල වර්ෂාවකින් ජෝසප් වාස් අවසන් පූර්ව වටයට

5556
St.Joseph Vaz v Holy Cross College

සිරි කුරුස විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර අද (27) පැවැත්වුනු කොත්මලේ චෝක්ස් පාසල් පාපන්දු ශූරතාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදි, සිරි කුරුස විදුහල පරාජය කරමින් අර්ධ අවසන් වටයට පිවිසීමට සාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩකයින් සමත් විය.

පසුගිය ලිපි: පැට්‍රික් ක්‍රීඩකයෝ අර්ධ අවසන් වටයට

කොළඹ සිටි පාපන්දු සංකීර්ණයේදි පැවති මෙම තරගය ආරම්භ වුයේ සවස 02.50ට පමණය. ඉතාමත් හොඳ ආරම්භයක් සමඟින් පිටියට පිවිසීමට සිරි කුරුස විදුහල සමත් වු අතර තරගයේ 10වැනි මිනිත්තුවේදි සාන්ත ජෝසප් වාස් විදුහලට නිදහස් පහර අවස්තාවක් ලැබුනද එය සාර්ථක කරගැනීමට සිරි කුරුස විදුහලේ ගෝල රකින්නා ඉඩ ලබා දුන්නේ නැත.

කණ්ඩායම් දෙකම සාර්ථකව ගෝලයක් ලබා ගැනීමට සැලැස්මකින් තොරව ක්‍රීඩා කරන අයුරු දැක ගන්නට තිබුනි. සිරි කුරුස විදුහලේ අස්මිට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරුවරයා තීරණය කලේ තරගයේ 18වැනි මිනිත්තුවේදීය.

තරගයේ 30වැනි මිනිත්තුව වනතෙක් කිසිදු ක්‍රීඩකයෙකු හට ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වුනු අතර නිහඬතාවය බිද හෙලමින් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට ජෝසප් වාස් ක්‍රීඩක අශේන් කණිශ්ක සමත්විය (00-01).

තරගයේ 36වැනි මිනිත්තුවේදි ජෝසප් ක්‍රීඩකයින් හට දඬුවම් පහර අවස්තාවක් හිමිවුනු අතර එයද සාර්ථක කරගැනීමට ඔවුන්ට නොහැකි විය.

තරගයේ 36වැනි මිනිත්තුවේදි සහ 42වැනි මිනිත්තුවේදි ජෝසප් වාස් විද්‍යාලය හට තවත් නිදහස් පහර අවස්තාවන් දෙකක් හිමිවූ අතර එයද සාර්ථක කරගැනීමට ඔවුන්ට නොහැකි විය. කෙසේනමුත් ප්‍රථම අර්ධය අවසන් වන විට තරගයේ පෙරමුණ ගැනීමට ජෝසප් වාස් ක්‍රීඩකයෝ සමත් වූහ.

ප්‍රථම අර්ධය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය 01 : 00 සිරි කුරුස විද්‍යාලය

විවේකයෙන් පසුව ඇරඹි දෙවැනි අර්ධයේදි, ප්‍රථම අර්ධයේදි මෙන්ම පෙරමුණ ගැනීමට ජෝසප් වාස් ක්‍රීඩකයෝ සමත් වු අතර 51වැනි මිනිත්තුවේදි කවීන් විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය (00-02).

54 වන මිනිත්තුවේදී ජෝසප් වාස් ක්‍රීඩකයන් තම ගෝල එකතුව තවත් ඉහල දමා ගත්තේ අෆ්දාල් අස්මිගේ වරදක් හේතුවෙන් හිමිවූ දඬුවම් පහරක් බිදුශාන් ප්‍රනාන්දු විසින් සාර්ථක කර ගැනීමත් සමඟයි.

සිරි කුරුස විද්‍යාලයට මෙම තරග  බලාපොරොත්තුව සිහිනයක් බවට පත් වෙමින් තිබු මොහොතක ඔවුන් වෙනුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කලේ 64 වන මිනිත්තුවේදී ඊට තත්පර කිහිපයකට පෙර ආදේශක ක්‍රීඩකයෙක් ලෙස පිටියට පිවිසි දිනෙත් සංදීප එල්ල කල ගෝලය සමඟයි.

එම ගෝලය වාර්තා කිරීමට දිනෙත් වෙත පන්දුව එල්ල කල නිර්මාල් උදාර ඉන් මිනිත්තු 3කට පසු සිරිකුරුස විදුහල වෙනුවෙන් දෙවන ගෝලයත් ලබා ගැනීමට සමත් විය.

මේ අනුව තරගය යලිත් වරක් ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර සිරි කුරුස ක්‍රීඩකයින් උත්සාහ කලේ තමන් ලද මානසික වාසියද සමඟින් ලකුණු සම කිරීමේ ගෝලයක් ලබා ගැනීමටයි.

කෙසේ වෙතත් තරගයේ වාසිය යලිත් වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල වෙතට දෝලනය වෙන බවක් දක්නට ලැබුණු අතර 83 වන සහ 91 වන මිනිත්තු වලදී ඔවුන්ට තවත් ගෝල දෙකක් හිමිවිය. ඉන් එක් ගෝලයක අයිතිය දේවින්ද මලින්ද සතු වූ අතර අනෙක් ගෝලය හිමිවුයේ සිරිකුරුස ක්‍රීඩක දිවන්ත හශේන් අවාසනාවන්ත ලෙස එල්ල කල ස්වයං ගෝලයක් (OWN GOAL) මඟිනි.

මේ අනුව නියමිත කාලය අවසන් වන විට ජෝසප් වාස් කණ්ඩායම තරග ජයග්‍රහණය තහවුරු කර ගත්තේ ගෝල 5 – 2 ක් ලෙසිනුයි.

තරග අවසානය – ජෝසප් වාස් විද්‍යාලය 05 : 02 සිරි කුරුස විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – බිදුශාන් ප්‍රනාන්දු (ශා. ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව)

ThePapare.com වෙත අදහස් දැක්වූ ජෝසප් වාස් විද්‍යාලයේ පුහුණුකරු මෙසේ පැවසීය;

”අපේ පසුපෙළ පිටිය මැද ප්‍රදේශයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් (Center Backs) කිහිපදෙනෙක් ආබාධ සහිතව ක්‍රීඩා කල නිසා ඔවුන්ගේ සුපුරුදු ක්‍රීඩා විලාශයට පිවිසෙන්නට හැකි වුනේ නැහැ. නමුත් සිරි කුරුස විද්‍යාලය අවසන් භාගය තුළ දියත් කල ප්‍රහාරය වලක්වන්නට ඔවුන් සමත් වීම අපේ ආරක්ෂක පෙළ ශක්තිමත් බවට හොඳ සාක්ෂියක්.”

අවසන් පූර්ව වටයේ අභියෝගය පිලිබඳ ඔහු පල කලේ මෙවන් අදහසක්,

”ඔවුන් සමඟ (යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලය සමග) අපිට තියෙන්නේ වෙනත් ආකාරයක අභියෝගයක්. මම බලාපොරොත්තු වෙනවා මගේ ක්‍රීඩකයන් ඒ වනවිට ආබාධ වලින් සුවය ලබා සිටියි කියලා. එහෙම වුනොත් අපිට පුළුවන් ඔවුන්ට හොඳ සටනක් දෙන්න”.

කළුතර සිරි කුරුස විද්‍යාලය පුහුණුකරු ThePapare.com වෙත පල කලේ මෙවන් අදහසක්;

”ගෝල 3 – 0 ක් ලෙස පසුපසින් සිටියත් අපේ ක්‍රීඩකයන් හොඳ සටනක් දෙන්නට සමත් වුනා. නමුත් ඔවුන් 4 වන ගෝලය ලබා ගැනීමත් සමඟ අපේ මානසික තත්ත්වය බිඳ  වැටුනා. එතැන් පටන් අපිට තරගය ජය ගැනීම අපහසු කාරණයක් බවට පත්වුණේ කාලයත් සීමා සහිත වීම හේතුවෙනුයි.”

 ගෝල වාර්තා කළ ක්‍රීඩකයන් 

සිරි කුරුස විද්‍යාලය – කලුතර: දිනෙත් සංදීප  (64වන මිනිත්තුව), නිර්මාල් උදාර  (67වන මිනිත්තුව),

ජෝසප් වාස් විද්‍යාලය – වෙන්නප්පුව: අශේන් කනිෂ්ක (30 වන මිනිත්තුව), කවීන් සුචරිත් (50 වන මිනිත්තුව), බිදුශාන් ප්‍රනාන්දු – (දඬුවම් පහරක් මගින්) (54 වන මිනිත්තුව), දේවින්ද මිලින්ද (83 වන මිනිත්තුව), දිවන්ත හශේන්  (ස්වයං ගෝලය) (මිනිත්තු 90+1)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට