දෙවන අදියරේ අනුශූරතාවයත් ශ්‍රී ලංකාවට

1591

ආසියා සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ දෙවන දිනය (25) ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සත්කාරක දේශය වූ දකුණු කොරියාවට එදිරිව සටන් වදිමිනි.

මෙම තරගය අද (25) උදෑසන දකුණු කොරියාවේ නොම් ඩොන්ග් ක්‍රීඩා පිටියේදි පැවැත්වුනු අතර ශ්‍රී ලංකාව ලකුණු 26 – 10 ලෙස සත්කාරක දේශය පරාජය කරමින් අවසන් මහා තරගයට අසුන් වෙන්කර ගන්නා ලදි.

අවසන් මහා තරගයේදි ශ්‍රී ලංකාවට කිසිදු ලකුණක පහස විඳීමට හොන්ග් ක්‍රීඩකයෝ ඉඩ ලබා දුන්නේ නැත. එම තරගයෙන් ශ්‍රී ලංකාව 36 – 00 ලෙස පරාජයට පත්විය. තරගාවලියේ 3 වන සහ අවසන් අදියර ඔක්තෝම්බර් 15 සහ 16 කොළඹ දී පැවැත්වෙනු ඇත.

පසුගිය ලිපි: චීනයට පමණක් පරාජය වෙමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

 ශ්‍රී ලංකාවට එදිරිව හොන්ග් කොන්ග් (අවසන් තරගය)

ආසියා සත්සාමාජික රග්බි තරගාවලියේ ප්‍රථම අදියරේ ශූරයින් බවට පත් වූ හොන්ග් කොන්ග් කණ්ඩායම සහ එම අර්ධයේදීම අනුශූරයින් වූ ශ්‍රී ලංකාව දෙවන අදියරේදී ද අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගන්නා ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කිරීමට තරග ආරම්භයේ සිටම හොන්ග් ක්‍රීඩකයින් සමත් වූ අතර තරගයේ 2වැනි මිනිත්තුවේදි ඔවුන් විසින් උත්සහක දිනුමක් ලබා ගනිමින් ලකුණු පුවරුව සක්‍රීය කරන ලදි. ඉන්සුළු මොහොතකට පසුව නැවතත් උත්සාහක දිනුමක් සාර්ථක කරගැනීමට හොන්ග් කොන්ග් කණ්ඩායම සමත් විය. මෙම උත්සහක දිනුම් දෙකම ලබා ගත්තේ නවසීලන්ත සම්භවයක් සහිත ක්‍රීඩකයෙකු වන ලී ජෝන්ස් විසිනි (00-12).

නිමාවුනු තරග වලදි දක්ෂ ක්‍රීඩා රටාවක් දියත් කරමින් ක්‍රීඩා කල සාලිය හඳපාංගොඩ තරගාවලියේ ප්‍රථම අර්ධය අතරතුරදි ආබාධයකට ලක්වීම, ශ්‍රී ලංකා කණ්ඩායම යම් පසුබෑමකට ලක් කිරීමට සමත් විය.

තරගයේ ප්‍රථම අර්ධය නිමාවීමට මත්තෙන් තවත් උත්සාහක දිනුමක් සාර්ථක කරගැනීමට හොන්ග් කොන්ග් ක්‍රීඩක රෝවන් වර්ටි සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම අර්ධය තුලදි කිසිදු ලකුණක් ලබා ගැනීමට ප්‍රතිවාදීන් ඉඩ ලබා දුන්නේ නැත.

ප්‍රථම අර්ධය – ශ්‍රී ලංකාව 00 – 19 හොන්ග් කොන්ග්

විරාමයෙන් පසුව ඇරඹි දෙවන අර්ධයද ප්‍රථම අර්ධය මෙන් නිමාවට පත් වූ අතර රයන් මීචම් සහ ක්‍රිස්ටොෆර් මායිස් උත්සහක දිනුම් දෙකක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සිහින බොඳ කර දැමීමට සමත් වූහ. හොන්ග් කොන්ග් කණ්ඩායමේ හයවැනි සහ අවසන් උත්සහක දිනුම ලබා ගත්තේ කාඩො ලී විසිනි. හොන්ග් කොන්ග් කණ්ඩායම සාර්ථක කරගත් ප්‍රවර්තන සංඛ්‍යාව 03ක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හොන්ග් කොන්ග් ක්‍රීඩකයින්ගේ දක්ෂතා යටපත් කොට ජයග්‍රහණය කිරීමට අපොහොසත් වූ නමුත් ඔවුන් තරගාවලිය පුරාවට ඉතාමත් ජවසම්පන්නව සහ ක්‍රියාශීලීව තරග වදින ආකාරය දක්නට ලැබුනි.

අවසන් ලකුණු – ශ්‍රී ලංකාව 00 – 36 හොන්ග් කොන්ග්

මෙම අදියර නිමාවට පත්වීමත් සමඟ හොන්ග් කොන්ග් ක්‍රීඩකයින් ප්‍රසාද ලකුණු 24ක් ලබා ප්‍රථම ස්ථානය ද, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රසාද ලකුණු 20ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේද පසුවෙයි. ප්‍රසාද ලකුණු ලැබෙන ආකාරය පහත පරිදි වේ.

  • ප්‍රථම ස්ථානය දිනා ගන්නා කණ්ඩායම – ප්‍රසාද ලකුණු 12
  • දෙවන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම – ප්‍රසාද ලකුණු 10
  • තෙවන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම – ප්‍රසාද ලකුණු 08
  • සිව්වන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම – ප්‍රසාද ලකුණු 07
  • පස්වැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම – ප්‍රසාද ලකුණු 05
  • හයවන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම – ප්‍රසාද ලකුණු 04
  • හත්වන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම – ප්‍රසාද ලකුණු 02
  • අටවන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම – ප්‍රසාද ලකුණු 01

ශ්‍රී ලංකාව අවසන් අදියරේදි චීනය, චීන තායිපේ සහ සිංගප්පූරු යන කණ්ඩායම් සමඟින් එක් කාණ්ඩයකද, හොන්ග් කොන්ග්, දකුණු කොරියාව, ජපානය සහ මැලේසියාව යන රටවල් අනෙක් කාණ්ඩයද නියෝජනය කරනු ඇත.


ශ්‍රී ලංකාවට එදිරිව දකුණු කොරියාව (අවසන් පූර්ව තරගය)

ශ්‍රී ලංකාව තරගාරම්භයේ සිටම ජව සම්පන්නව ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබුනි. තරගය ආරම්භ වී සුළු මොහොතකට පසුව ලකුණු පුවරුව සක්‍රීය කරමින් සාලිය හඳපාංගොඩ විසින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. තරින්ද රත්වත්තේ විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි (07-00).

කණ්ඩායම් දෙකම කරට කර තරග වැදුනු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි උත්සහක දිනුම සාර්ථක කරගැනීමටත් හඳපාංගොඩ සමත් විය. එහි ප්‍රවර්තනයද සාර්ථක කර ගැනීමට හඳපාංගොඩ සමත් විය (14-00).

තරගයේ ප්‍රථම අර්ධය නිමාවීමට මත්තෙන් උත්සහක දිනුමක ලකුණු සිය කණ්ඩායමට එකතු කරගැනීමට දකුණු කොරියානු ක්‍රීඩක ලී ජේ බොක් සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත.

ප්‍රථම අර්ධය – ශ්‍රී ලංකාව 14 – 05 දකුණු කොරියාව

දකුණු කොරියාව ඊයේ පැවති තරගවලදි මනාව දස්කම් ප්‍රකට කල කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකාව හමුවේ යම්කිසි කඩා වැටීමට ලක්වුනු ඔවුන් විවේකයෙන් පසුව පිටියට පිවියේ ද යම්කිසි පීඩනයක් සමඟිනි.

දෙවන අර්ධයේදි දකුණු කොරියානුවන්ට සාර්ථකව ලකුණු ලබා ගැනීමට තිබුනු අවස්තාවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඔවුන්ගෙන් උදුරා ගන්නා ලදි. තරගයේ තෙවැනි උත්සාහක දිනුමේ ගෞරවය හිමිකරගැනීමට නායක දනුශ්ක රන්ජන් සමත් වූ අතර හිරන්ත පෙරේරා විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි (21-05).

කෙසේනමුත් දෙවන අර්ධය නිමාවට විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උත්සහක දිනුම් හතරක් සමඟින් ලකුණු 26ක් රැස් කර ගත් අතර ප්‍රතිවාදී දකුණු කොරියානුවන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 10ක් පමණි.

ඊයේ දිනයේ දි තරග 3කට සහභාගී වුනු දකුණු කොරියානුවන් අපරාජිතව A කාණ්ඩායේ ශූරයන් ලෙස ශ්‍රී ලංකාව සමඟින් තරග වැදුනේය.

අවසන් ලකුණු – ශ්‍රී ලංකාව 26 – 10 දකුණු කොරියාව

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට