කෙශාන්ගෙන් සුපිරි පන්දු රැකීමක්

2100
Mercantile Cricket B division Kanrich vs MAS Silueta and LB finance vs Heyles report

අතිසාර්ථකව අවසන් වෙමින් යන 24 වන වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් පූර්ව තරඟ අද (24) ආරම්භ වූ අතර එහි තරඟ 2ක් අද පැවැත්විණි. මෙම තරඟ වලින් ජයග්‍රහණය කල එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම හා කැන්රිච් ෆිනෑන්ස් ආයතන කණ්ඩායම් අවසන් මහා තරඟය සඳහා තම අසුන් වෙන්කොට ගන්නා ලදි.

පසුගිය ලිපි: හොදම 8න් සුපිරි 4 තෝරාගනි

හේලිස් ආයතන කණ්ඩායම හා එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම අතර තරඟය

හේලිස් ආයතන කණ්ඩායම විසින් ජෝන් කීල්ස් B කණ්ඩායමද, එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම විසින් සිංගර් ආයතන කණ්ඩායමද පරාජය කර අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

වෙළෙඳ පිටියේ පැවැත්වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

පිටියට පැමිණි එල්. බී. ෆිනෑන්ස් ආරම්භක දෙපල පළමු කඩුල්ල සඳහා ලකුණු 97ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් සවිමත් අඩිතාලමක් තම කණ්ඩායම වෙනුවෙන් දමන ලදි. එහිදී 4 පහරවල් 4ක් හා 6 පහරවල් 2ක් සමඟ ලකුණු 49ක් ලබාගෙන සිටියදී අවාසනාවන්ත ලෙස ලක්ෂාන් රොද්‍රිගෝ දැවීයන ලදි. විශිෂ්ට ඉණිමක් දියත් කරමින් සධීර සමරවික්‍රම තම කණ්ඩායම වෙනුවෙන් 4 පහරවල් 7ක් හා 6 පහරවල් 3කින් තම ඉණිම අලංකාරවත් කරගෙන ලකුණු 69ක් ලබාගැනීමට සමත් විය. අවසානයේ එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම සැලකිය යුතු ලකුණු මට්ටමකට ලඟාවිය.

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම – 243/10 (47.1): සධීර සමරවික්‍රම 69, ලක්ෂාන් රොද්‍රිගෝ 49, සී. සුදාරක 32, ඒ. කාන් 3/56, රවිදු විජේරත්න 2/29

දක්ෂ පන්දු බල ඇණියක් සිටින එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමට එදිරිව හේලිස් ආයතන කණ්ඩායමට ලකුණු 242ක් ලබාගැනීමට අවශ්‍යව තිබූ අතර, ඔවුන්ගේ  පළමු කඩුල්ල ලකුණු 12කදී දැවීයන ලදි. අවසානයේ දී මැදපෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පැමිණි එම්. සොයිසා 4 පහර 8ක් හා 6 පහර 5ක් සමඟ පන්දු 74කදී ලකුණු 82ක් ලබාගෙන තනිව සටනක නිරත වුවද, රොනිල් කුරේගේ පිත්තෙන් ලැබුණු ලකුණු 43 හැරෙන්නට තවත් පිතිකරුවන් කිහිපදෙ‍ෙනකුටම ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ නිසා තරගයේ ජයග්‍රහණය හේලිස් ආයතන කණ්ඩායමෙන් ගිලිහී යන ලදි. මෙහිදී කෙශාන් විජේරත්න ලකුණු 33ක් තුළ කඩුලු 5ක් දවාලමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

හේලිස් ආයතන කණ්ඩායම – 217/10 (45.4): එම්. සොයිසා 82, රොනිල් කුරේ 43, රවිදු විජේරත්න 22, කෙශාන් විජේරත්න 5/33

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමට ලකුණු 26ක ජයග්‍රහණයක්


MAS Silueta කණ්ඩායම හා කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම අතර තරඟය

MAS Silueta කණ්ඩායම විසින් මොබිටෙල් කණ්ඩායමද, කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම විසින් සෙලාන් බැංකු කණ්ඩායමද පරාජය කර අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

කටුනායක නිදහස් වෙළෙඳ කලාප පිටියේදී පැවැත්වූ මෙම තරඟයේ, කාසියේ වාසිය ජයග්‍රහණය කල කැන්රිච් ආයතන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

කැන්රිච් කණ්ඩායමේ ආරාධනය පිළිගෙන පළමුව පිතිකරණය සඳහා පිටියට පැමිණි පබසර වඩුගේ හා ඉශාන් නිලක්ෂට සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට නොහැකි විය. ලකුණු 11කට කඩුලු 2ක් දැවී තිබියදී පිටියට පැමිණි ඇන්ජලෝ ජයසිංහ හා පබසර ලකුණු 55ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. ඔවුන් දෙදෙනා දැවීගිය පසුව පිටියට පැමිණි දෙනුවන් රාජකරුණා තරමක් මන්දගාමී ඉණිමක් දියත් කරමින් වුවද 4 පහරවල් 2ක් සමඟ ලකුණු 41ක් ලබාගන්නා ලදි.

MAS Silueta කණ්ඩායම – 177/10 (45): දෙනුවන් රාජකරුණා 41, පබසර වඩුගේ 27, ඇන්ජලෝ ජයසිංහ 24, අලංකාර අසංක 3/17, ප්‍රභාත් ජයසූරිය 2/41

දෙවනුව පිටියට පැමිණි කැන්රිච් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 98ක දැවැන්ත ආරම්භ සබඳතාවයක් ගොඩනැංවීමට කසුන් විදුර හා ශෙහාන් ප්‍රනාන්දු සමත් විය. ප්‍රනාන්දු 4 පහරවල් 4ක් හා 6 පහරවල් 2ක් සමඟින් ලකුණු 37කට පළමු කඩුල්ල ලෙස දැවීයන ලදි.  අවසානයේ කසුන් විදුර පළමු පන්දුවේ සිටම කැන්රිච් කණ්ඩායම වෙනුවෙන් කඩුල්ලේ රැදී සිටිමින් නොදැවී ලකුණු 108*ක් ලබාගෙන තම කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය. එම ඉණිමට 4 පහරවල් 18ක් හා එක් 6 පහරක් ඇතුළත් කිරීමට ඔහුට හැකිවිණි.

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම – 181/02 (21): කසුන් විදුර 108*, ශෙහාන්  ප්‍රනාන්දු 37, පවන් වික්‍රමසිංහ 30, ඇන්ජලෝ ජයසිංහ 1/03

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට කඩුලු 08ක දැවන්ත ජයග්‍රහණයක්

B කාණ්ඩයේ කැන්රිච් ආයතන කණ්ඩායම හා එල්. බී. ෆිනෑන්ස් ආයතන කණ්ඩායම අතර අවසන් මහා තරඟය ඔක්තෝම්බර් 01 වැනි සෙනසුරාදා වෙළෙඳ පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

schoolscricketcrawler