චීනයට පමණක් පරාජය වෙමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

1616
Sri Lanka Rugby

ආසියා සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේදි අද (24) පැවති තරග වලින් සත්කාරක දේශය වන දකුණු කොරියාව ඔවුන් නියෝජනය කල කාණ්ඩයේ (A) අපරාජිත ශූරයින් ලෙසද, ශ්‍රී ලංකාව පැවති තරගවලින් චීනය හමුවේ පමණක් පරාජය වෙමින් ඔවුන්ගේ කාණ්ඩයේ (B) දෙවැන්නෝ බවට ද පත්වූහ.

ශ්‍රී ලංකාව හෙට දිනයේදි අපරාජිත දකුණු කොරියාව සමඟින් කුසලාන අවසන් පූර්ව තරගය සඳහා සහභාගී වනු ඇත. එම තරගය මෙරට වේලාවෙන් හෙට උදෑසන 09.35 ආරම්භ වනු ඇත. සියළු තරග දකුණු කොරියාවේ නැම්ඩොංන්ග්  ක්‍රීඩාංගණයේ පැවැත් විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාව සටනක් දී අනුශූරයන් වෙයි


ශ්‍රී ලංකාවට එදිරිව සිංගප්පූරුව

දෙවැනි අදියර ආරම්භ කරමින් පැවැත්වුනු ප්‍රථම තරගය මෙය වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 27 – 05 ක් ලෙස තරගයේ ජය වාර්තා කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජව සම්පන්නව තරගය ආරම්භ කල අතර තරගය ආරම්භ වී මිනිත්තු 05ක් යන්නටත් මත්තෙන් ලකුණු පුවරුව සක්‍රීය කිරීමට ඔවුන් සමත් වූහ. නායක දනුශ්ක රන්ජන් විසින් සිංගප්පූරු ප්‍රතිවාදීන්ගේ ආරක්ෂක වලලු අතරින් රිංගා ගොස් පන්දුව සීමාවෙන් ඔබ්බට රැගෙන යමින් ප්‍රථම උත්සහක දිනුම වාර්තා කරනු ලැබීය. ඉන් අනතුරුව දනුශ්ක විසින් කවින්දු පෙරේරා හට උත්සාහක දිනුමකට පාර කෑපු අතර කවින්දු විසින් තරගයේ දෙවැනි උත්සාහක දිනුම සාර්ථක කර ගන්නා ලදි. කෙසේනමුත් මෙම උත්සාහක දිනුම් දෙකේ ප්‍රවර්තනයන් ද්විත්වයෙන් එකක් පමණක් දුලාජ් පෙරේරා සාර්ථක කරගන්නා ලදි. (12-00) තරගයේ ප්‍රථම අර්ධය නිමාවන විටත් ප්‍රතිවාදීන් වන සිංගප්පූරු ක්‍රීඩකයින්ට කිසිදු ලකුණක පහස විඳීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉඩ නොතැබූහ.

ප්‍රථම අර්ධය – ශ්‍රී ලංකාව 12 – 00 සිංගප්පූරුව

විවේකයෙන් පසුව නැවතත් ආරම්භ වුනු තරගයේ කාංචන රාමනායක විසින් පන්දුව ලබාගෙන දිව යෑමකට තැත් කලත් සිංගප්පූරු ක්‍රීඩකයින් ඔහුව එයින් ඉවතට ඇද දමන ලදි. කවින්දු පෙරේරා පන්දුව රැගෙන උත්සහක දිනුමක් ලබා ගැනීමට දිව ගිය අතර ඉන්පසුව පන්දුව රත්වත්තේ හට ලබා දුන් අතර ඔහු සාර්ථකව සිංගප්පූරු ක්‍රීඩක බල ඇණිය අතරින් මීටර 45ක් දුවගොස් උත්සාහක දිනුමක් වාර්තා කරන ලදි.  දුලාජ් සාර්ථකව අතිරේක ලකුණු 2 එකතු කිරීමට සමත් විය. (17-00)

දෙවැනි අර්ධය තුලදී ශ්‍රීනාත් සූරිය බණ්ඩාර විසින් ද උත්සහක දිනුමක් වාර්තා කල අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. සිංගප්පූරු කණ්ඩායම අක්‍රමණශීලි අයුරකින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූවත් ඔවුන්ට එහි ප්‍රවර්තනය පවා සාර්ථක කරගැනීමට නොහැකි විය. (22-05)

තරගයේ අවසන් උත්සාහක දිනුමට හිමිකම් කීවේ කාංචන රාමනායකයි. රිඩච් ධර්මපාල පන්දුව ලබා ගනිමින් මිටර් 30ක් පමණ දුවගොස් පන්දුව සහය ක්‍රීඩක සූරියබණ්ඩාර හට ලබා දුන් අතර ඉන්පසුව පන්දුව ලබා ගත් කාංචන රාමනායක විසින් තරගයේ පස්වැනි සහ අවසාන උත්සහක දිනුම වාර්තා කරන ලදි.

අවසන් ලකුණු – ශ්‍රී ලංකාව 29 – 05 සිංගප්පූරුව


ශ්‍රී ලංකාවට එදිරිව මැලේසියාව

දිනයේ දෙවන තරගය වුනු මෙය ආරම්භ වී මිනිත්තු දෙකක් යන්නට මත්තෙන් තරින්ද රත්වත්තේ විසින් උත්සහක දිනුමක් සාර්ථක කර ගන්නා ලදි. එහි ප්‍රවර්තනය දුලාජ් පෙරේරා හට සාර්ථක කරගැනීමට නොහැකි විය. (05-00)

තරගයේ ප්‍රථම අර්ධය අතරතුරදි මැලේසියානු ආරක්ෂක වලලු අතරින් දෙවතාවක් සීමාවෙන් ඔබ්බට පන්දුව රැගෙන යෑමට දනුශ්ක රන්ජන් සමත් විය. නමුත් එම උත්සහක දිනුම් දෙකේදීම ප්‍රවර්තනයන් සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය. කෙසේනමුත් ප්‍රථම අර්ධය නිමාවන විට මැලේසියානු කණ්ඩායමට කිසිදු ලකුණක් වාර්තා කිරීම නොහැකි වීම නිසා ශ්‍රී ලංකාවට ප්‍රථම අර්ධයේදි පෙරමුණ ගැනීමට හැකිවිය.

ප්‍රථම අර්ධය – ශ්‍රී ලංකාව 15 – 00 මැලේසියාව

ප්‍රථම අර්ධයේදි දැක්වූ දස්කම් දෙවන අර්ධයේදී ද දක්වමින් විවේකයෙන් පසුව පිටියට පැමිණි විගස තරගයේ සිව්වැනි උත්සහක දිනුම සාර්ථක කරගැනීමට සූරියබණ්ඩාර සමත් වුයේ රත්වත්තේගේ උදව්ද සමඟිනි. ඉන් සුළු මොහොතකට පසුව හිරන්ත පෙරේරා විසින් පන්දුව සීමාවෙන් එපිටට රුගෙන යමින් සිය ප්‍රථම උත්සාහක දිනුම ලබා ගැනීමට සමත් විය. දුලාජ් පෙරේරා මෙම උත්සහක දිනුම් ද්විත්වයේම ප්‍රවර්තන සාර්ථක කරගැනීමට සමත් විය. (29-00)

හිරන්ත පෙරේරා හට සිය දෙවැනි උත්සහක දිනුම සාර්ථක කරගැනීමට ඔමල්ක ගුණරත්න විසින් දක්ෂ ලෙස පන්දුව හුමවාරු කිරීමට සමත් වූ අතර සූරියබණ්ඩාර සිය දෙවැනි උත්සහක දිනුම ලබාගන්නේ පන්දුව දක්ෂ ලෙස සීමාවෙන් පිටත ස්පර්ශ කරමිනි. කෙසේනමුත් දුලාජ් මෙම උත්සාහක දිනුම් දෙකෙන් එකක් පමණක් සාර්ථකව ප්‍රවර්තනය කිරීමට හැකි විය.

ශ්‍රී ලංකාව මෙම තරගයේදි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ  අතර මැලේසියානු කණ්ඩායමට දෙවන අර්ධයේදි රැස් කරගත හැකි වූයේ එක් උත්සහක දිනුමක ලකුණු පමණි.

අවසන් ලකුණු – ශ්‍රී ලංකාව 41 – 05 මැලේසියාව


ශ්‍රී ලංකාවට එදිරිව චීනය

දිනයේ වඩාත් අපහසුම සහ තරගකාරීම තරගය මෙය වුනු අතර අද දිනයේදි ශ්‍රී ලංකාව පරාජය වුනු එකම තරගය වන්නේද මෙයයි.

ආරම්භයේදි නායක දනුශ්ක රංජන් විසින් දක්ෂ ලෙස පන්දුව ලබා ගත් අතර සහය ක්‍රීඩකයෙක් ඔහු අසල නොසිටීම නිසාවෙන් උත්සහක දිනුමක් ලබා ගැනීමට තිබුනු අවස්තාවක් ගිලිහි යන ලදි. එයින් මනාව ප්‍රයෝජන ගත් චීන ක්‍රීඩකයෝ ඔවුන්ගේ ප්‍රථම උත්සාහක දිනුම ලබා ගැනීමට සමත් විය. (00-07) ඉන්පසුව තරගයේ ලකුණු සම කරමින් තරින්ද රත්වත්තේ විසින් දක්ෂ ලෙස උත්සහක දිනුමක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු විසින්ම එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගන්නා ලදි. (07-07)

ප්‍රථම අර්ධයේදි අවාසනාවන්ත ලෙස තරින්ද රත්වත්තේ හට විනිසුරුවරයා කහා කාඩ්පතක් නිකුත් කරන ලදි. තරගයේ ප්‍රථම භාගය නිමාවීමට පෙර සාලිය හඳපාන්ගොඩ විසින් පන්දුව සීමාවෙන් එපිටට රැගෙන යමින් උත්සාහක දිනුමක් වාර්තා කල අතර කාංචන රාමනායක විසින් එහි ප්‍රවර්තනයේ ලකුණු කාණ්ඩායමට එකතු කරන ලදි. චීන ක්‍රීඩක හුන් ෂාන් විසින් ප්‍රථම අර්ධය නිමාවීමට පෙර චීන කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත්විය.

ප්‍රථම අර්ධය – ශ්‍රී ලංකාව 14 – 12 චීනය

විවේකයෙන් පසුව චීන ක්‍රීඩකයෝ වඩාත් ආක්‍රමණශීලීව ක්‍රීඩා කල අතර ඔවුන්ගේ ලකුණු පුවරුවට තවත් උත්සාහක දිනුමක ලකුණු එකතු කරගන්නා ලදි. ඔමල්ක ගුණරත්න විසින් පන්දුව ලබා ගනිමින් රාමානායක වෙතට පන්දුව ලබා දුන් අතර කවින්දු පෙරේරා විසින් ඔහුගෙන් පන්දුව රැගෙන ගොස් තරගයේ තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. දුලාජ් විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (21-19)

තරගයේ අවසන් මිනිත්තුවේදි චීන ක්‍රීඩකයින් හට දඬුවම් පහර අවස්තාවක් හිමිවුනු අතර ඔවුන් දක්ෂ ලෙස එය සාර්ථක කරගනිමින් තරගයේ ජයග්‍රහණය සියතට ගන්නා ලදි.

අවසන් ලකුණු – ශ්‍රී ලංකාව 21 – 26 චීනය

සත්කාරක දේශය වන දකුණු කොරියාව අද පැවති තරගවලදි ජපානය 36-05ක් ලෙසත්, චීන තායිපේ කණ්ඩායම 45-12ක් ලෙසත්, ප්‍රථම අදියරේ ශූරයින් වුනු හොන්ග් කොන්ග් කණ්ඩායම 28-21 ලෙසද පරාජය කිරීමට සමත් විය.

දෙවන අදියරේ තවත් තරග කිහිපයක් හෙට දිනයේත් ක්‍රියාක්මකයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට