Main Logo

Thursday 22 September 2016

මුහුණු පොතේ දේශප්‍රේමී ප්‍රබුද්ධයන්ටයි


මුහුණු පොතේ දේශප්‍රේමී ප්‍රබුද්ධයන්ටයි

මුහුණු පොතට ලිවීම කාලය නාස්තිකිරීමක් බව මට වැටහෙනවා. එහි ප්‍රතිචාර මගින් කියැවෙන්නේ මා වැරදි බවයි. විවිධ අය ලිපි ගැන විවිධ දේ කියනවා. මගේ කරුණු ඉදිරිපත්කිරීම්වලට වඩා හොඳින් ඔවුන්ට ඉදිරිපත් කර හැකි බව පෙනී යනවා. ලෝකයේ ජීවත්වන්නේ එක මිනිස් කොටසක් පමණක් බව එක් අයකු කියනවා. එයට කිසිවකු පිළිතුරක් නොදීමෙන් පෙනී යන්නේ මා වැරදි බව අනෙක් අය ද පිළිගන්නා බවයි. මට තේරෙන්නේ නැත්තේ සිංහලයන් හැර අනෙක් අය එකම මිනිස් කොටසක් ලෙස නොසැලකීමයි. බුදුන්වහන්සේ වාසෙට්ඨට කතාකළ සන්දර්භය  ගැන මා ඕනැවටත් වඩා ලියා තියෙනවා. ඒ සියල්ල වැරදි වෙන්න පුළුවන්.

බටහිර වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයේදීත් මා වැරදි බව බොහෝ දෙනකුගේ මතයයි. ඔවුන්ගේ දරූවන් පාසල්වලට ඇතුළත් කිරීමට ආණ්ඩුව විරුද්ධ වන්නේ ඉන්දියානු තොරතුරු තාක්‍ෂණ නිලධාරීන් පැමිණි විට ඔවුන්ගේ දරුවන්ට පාසල් ලබාදිමට යැයි සමහරුන් කියනවා. මට ඒ තර්කය තේරෙන්නේ නැහැ. මාලබේ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයේදීත් මා දැරූ ස්ථාවරය ගැන බොහෝ දෙනා කළකිරී සිටින බව පෙනී යනවා. මා ව්‍යාජ සමාජවාදයෙන් ගැලවී බොහෝ කල්. සමාජවාදියකු නොවීම මගේ වරදක් වෙන්න පුළුවන්. තරුණයන් කොහොමටත් සමාජවාදීන්.

ප්‍රභාකරන් දෙමළ ජනයාගෙ නායකයා ලෙස හැඳින්වීම බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබෙනවා. ඔහු නායකයා ලෙස සලකන්නේ ත්‍රස්තවාදීන් පමණක්ලු. දෙමළ ජාතිවාදීන්ගේ ප්‍රශ්නවලට මා අවුරුදු තිහකට ආසන්න කාලයක් තිස්සේ දී ඇති පිළිතුරු මට වඩා හොඳින් දෙමළ ප්‍රශ්නය හදාරා ඇති අය විසින් ප්‍රතික්‍ෂෙප කෙරී තිබෙනවා. මට වඩා දන්නා සිංහල බෞද්ධ දේශප්‍රේමීන් සමග හැප්පීමට මට අවශ්‍යතාවක් නැහැ. දෙමළ ජනයා  සමස්තයක් ලෙස ප්‍රභාකරන් තම නායකයා ලෙස පිළිගත් බව කීමෙන් මා ආනන්තරීය පාප කර්මයක් සිදුකර ඇති බවක් පෙනෙනවා.  ප්‍රභාකරන් දෙමළ ජනයාගේ නායකයා බව කීමෙන් කොටි ත්‍රස්තවාදය යුක්තියුක්ත කෙරෙනවාලු. මා අවුරුදු තිහක් ලියා අවසානයේ දී දෙමළ ත්‍රස්තවාදය යුක්තියුක්ත කරලා. මට ඒ පවෙන් ගැලවෙන්න බැහැ. මගේ මෝඩකමට මේ ප්‍රබුද්ධ තර්ක මට තේරෙන්නේ නැහැ.

ඇතැමුන් බුදුදහම ගැන මා කියන දේට විරුද්ධයි. ඔවුන් සිතන්නේ අටූවාව මුළුමනින් ම නිවැරදි ය කියා. අටුවා ලීවේ රහතන් වහන්සේලා නොවන බව ඔවුන් අමතක කරනවා. අනෙක් අතට රහතන්වහන්සේට වුවත් වරදිනවා. එසේ කී විට ඇතැමුන් කිපෙන්න පුළුවන්. මා ද වැරදි කරන බව මා දන්නවා. මා රහතන් වහන්සේට වඩා උසස් ද කියා ප්‍රශ්න අසන්න පුළුවන්. ඔබේ ප්‍රතිචාරවලට ප්‍රතිප්‍රතිචාර දීමට තරම් දැනුමක් මට නැහැ.

නිවන මනසෙන් අවබෝධ කරගන්න පුළුවන් කියා මා හිතන්නේ නැහැ. මනස කියන්නෙත් මායාවක්. මායාවක් ඇසුරෙන් නිවන් අවබෝධ කරගන්නේ කෙසේ දැයි මට තේරෙන්නේ නැහැ. මා වැරදි වෙන්න පුළුවන්. නැති මනස ඇති මනසක් ලෙස ගැනීම නිසා අප සසර සැරිසරණ බව මගේ වැටහීමයි. නැති මනස නැති මනසක් බව අවබෝධ කරගන්නේ කෙසේ ද? ඔබ බොහෝ දෙනකු මනසක් ඇතැයි යන හැඟීමෙන් ලියනවා. ඔබ මට වඩා දන්නවා. මට වඩා දන්නා අයට මා ලියන්න වුවමනාවක් නැහැ.

මා මේ ලිපි ලියන්නේ මගේ අතේ හිරි ඇරගැනීමට නොවෙයි. මා දන්නා දෙයක්, මා නිර්මාණය කරන දෙයක් තරුණයන්ට කියා දෙන්නයි. ඒත් බොහෝ තරුණයන් සිතන්නේ මා ප්‍රතිගාමී සමාජවාදයට විරුද්ධ දෙමළ ජාතිවාදීන්ට හරියට පිළිතුරු නොදෙන ප්‍රභාකරන් දෙමළ ජනයාගේ නායකයා ලෙස පිළිගන්නා මැන්ටලයක් බවයි.

මේ ලිපි මුහුණු පොතේ ද පළකිරීමෙන් මා කර ඇත්තේ වරදක් බව මට දැන් වැහෙනවා. මේ ලිපි කාලය වෙබ් අඩවියටත් ලියන නිසා මුහුණු පොතේ ද පළකරනවා. එහෙත් මා කරන්නේ වරදක් බව මට වැටහෙනවා.  ඔබ කියා සිටිනවා නම් මේ ලිපි මුහුණු පොතෙන් අස්කර ගන්නම්. මගේ ලිපි පළනොකරන බැවින් පුවත්පතට ලිපි නොසපයන මට, මුහුණු පොතට නොලියා සිටීම කොහෙත් ම ප්‍රශ්නයක් නොවෙයි. ජාතික ව්‍යාපාරයේ වැඩිහිටියන් විසින් මා ප්‍රතික්‍ෂෙප කෙරී බොහෝ කල්. ඔවුන්ට අනුව මගෙන් ජාතික ව්‍යාපාරයට වී ඇති කෙංගෙඩියක් නැහැ.  මා දැන් තරුණයන් අතින් ද ප්‍රතික්‍ෂෙප වන බව පෙනෙනවා. 

මා දෙමළ ජාතිවාදයට එරෙහිව ලිවුවේ දෙමළ ජනයාට පහර ගැසීමට නොවෙයි. මගේ කිසිම ලිපියක මා දෙමළ ජනයා අවමානයට ලක්කර ලියා නැහැ. දෙමළ ජනයා සිංහල ජනයාට වඩා පහත් යැයි මා කිසිවිටෙකත් සලකා නැහැ. ඒත් මගේ විරුද්ධවාදීන් මා සිංහල ජාතිවාදියකු ලෙස හඳුන්වනවා. ඒ ගැන මට ප්‍රශ්නයක් නැහැ. එහෙත් දේශප්‍රේමී තරුණයන් කියන්නේ මා දෙමළ ජනයාට පහර ගැසිය යුතු බවයි. මට එය කරන්නට බැහැ. මට ඊනියා ලාංකේය ජාතිය ගොඩනැගීමටත් සම්මාදන් වෙන්න බැහැ. මගේ වැරදි විය හැකි සංකල්පවලට අනුව මා කියන්නේ සිංහලයන් ගොඩනගා ඇති ජාතියට ජනවර්ග එකතු කළ යුතු බවයි. ජනවර්ග කොන්කර ඉවත්කිරීමට මා විරුද්ධයි.

ප්‍රභාකරන් තම නායකයා ලෙස  දෙමළ ජනයා විසින් පිළිගැණුනා. ඒ ලංකාවේ දෙමළ ජනයා පමණක් නොවෙයි. ලෝකයේ දෙමළ ජනයා සමස්තයක් ලෙස ඔහු තම නායකයා ලෙස පිළිගත්තා. එයින් කියැවෙන්නේ නැහැ දෙමළ ජනයා සියල්ලන් ම ඔහු තම නායකයා ලෙස පිළිගත් බවවත්, ඔහු තම නායකයා ලෙස පිළිගත් සියළු දෙනා මහුගේ සියළු ක්‍රියා අනුමත කළ බවවත්. ඇන්ටන් බාලසිංහම් ද ඔහුගේ ඇතැම් තීරණවලට විරුද්ධ වූ බව තමලිනී ඇගේ පොතේ කියනවා. තමලිනීත් අවසාන කාලයේ දී ප්‍රභාකරන් ඇතැම් කරුණුවල දී වැරදි බව පිළිගන්නා බවක් පේන්න තියෙනවා. ඒත් ඔවුන් අවසානය දක්වා ම ප්‍රභාකරන් තම නායකයා ලෙස පිළිගත්තා. ප්‍රභාකරන් බටහිරයන් විසින් පුම්බන ලද අයකු බව මා ඒ දිනවල ම දැන සිටියා. සමහරවිට ඒ සම්බන්ධයෙන් ද මා නිවැරදි නොවන්න පුළුවන්. 

මා වත්මන් ලිපි පෙළ ලිවුවේ දෙමළ ජනයාට මෙරට දෙමළ රාජ්‍යයක් පිහිටුවීමට කිසිම අයිතියක් පදනමක් නැති බව පෙන්වීමටයි. ඒ සඳහා අවශ්‍ය සංකල්ප මා නිර්මාණය කළා. දෙමළ ජනයාට දෙමළ විඥානයක් මෙරට ඇතිවුණේ විසිවැනි සියවසේ දී. ඉන්දියාවේ ද ඇති වුනේ දහනවවැනි සියවසේ අගභාගයේ දී. ඒ පිටුපස සිටියේ ඉන්දියාවේ දෙමළ කතොාලික පූජකවරුන්. ලෝකයේ දෙමළ ජනයාට සමස්තයක් ලෙස ගත්කල ඉතිහාසයේ ම සිටි එකම නායකයා ප්‍රභාකරන්. අඩු තරමෙන් චෝල රජවරුන්වත් නොවෙයි. 

මගේ සංකල්ප වැරදි බව ඔබ කියනවා. ඔබ සමග වාද කිරීමට මට බැහැ. ඒ සඳහා මට හැකියාවක් නැහැ. අපට දෙමළ ජාතිවාදය නෛතික වශයෙන් පරාජය කරන්න බැරිවුනා. මා ඒ බව පිළිගන්නවා. දෙමළ ජාතිවාදය පරාජය කිරීමට ඔබට පුළුවන් වේවි යැයි ප්‍රාර්ථනා කරනවා. ප්‍රභාකරන් දෙමළ ජනයාගේ නායකත්වයට පත්කරනු ලැබුයේ බටහිරයන් විිසින්. බටහිරයන් තවමත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට කටයුතු කරනවා. ඒත් ඔවුන්ට තවත් ප්‍රභාකරන් කෙනකු බිහිකර ගැනීම අමාරුයි. ඒ කියන්නේ ඔබ නිසොල්මන් විය යුතු බව නොවෙයි.

මා පටන්ගත් ලිපි පෙළ අවසන් නැහැ. එහි වැරදි නිවැරදි කර එය අවසන් කරන මෙන් ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මා ඔබේ ප්‍රතිචාර මින් පසු නොකියවන බැවින් ඔබ නගා තිබූ තවත් එක් ප්‍රශ්නයක් ගැන කෙටියෙන් කීමට සිදුවෙනවා. මෙරට දෙමළ ජනයා ද සිංහල දෙමළ ජනයා මෙන් ම බටහිර විද්‍යාවේ ශාස්ත්‍රීය ප්‍රචාද නිර්මාණය කර නැහැ. ඔබ කියන යන්ත්‍ර ශිල්පීය නිපැයුම්. මා කියන්නේත් ලියන්නේත් පරෙස්මෙන් සංකල්ප මත පදනම් වෙලා. ඉන්දියාවේ නම් දෙමළ විද්‍යාඥයන් කිහිප දෙනකු බිහිවූවා. සුබ්‍රමනියම් චන්ද්‍රසේකර් නොබෙල් තෑග්ග ද දිනාගත්තා. ඔබට ශාස්ත්‍ර හා ශිල්ප අතර වෙනස තේරෙන්නේ නැතැයි මට සිතෙනවා. ඔබට අනුව මා වැරදි බව ඒ අතරම කියැවෙනවා. මා ශිල්ප ශාස්ත්‍ර ලෙස කරන බෙදීම ම වැරදි වෙන්න පුළුවන්. මා වෙන මොනවා කර්න්න ද මුහුණු පොතේ ප්‍රබුද්ධ සමාජවාදී සිංහල බෞද්ධ තරුණයන්ට නොලියා සිටිනවා මිසක්.  


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 22