24 වැනි වෙළඳ සේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවති තරග වලින් ජය ලබන්නට ජෝන් කීල්ස්, MAS යුනිචෙලා, කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ඩිමෝ ක්‍රීඩකයින් සමත් විය. ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලෙමින් ලකුණු 170ක් වාර්තා කල මැද පෙළ පිතිකරු චාමර කපුගෙදර අද දිනයේ වීරයා බවට පත්විය.

පසුගිය ලිපි: MAS යුනිචෙලා අපරාජිත වාර්තාව රැකගනියි

කොමර්ෂල් ක්‍රෙඩිට් සහ HNB කණ්ඩායම් අතර තරගය

NCC පිටියේදී පැවති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ HNB නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගත්තත් එම තීරණය එතරම් නිවැරැදි එකක් නොවන බව කොමර්ෂල් ක්‍රෙඩිට් පිතිකරුවන් පන්දුවට පහර දෙන ආකාරයෙන්ම පෙනෙන්නට තිබුණි. ඉනිමේ මුල සිටම ප්‍රහාරාත්මක පිතිකරණයක් දියත් කල ඔවුන් HNB පන්දු යවන්නන් මත අමතර පීඩනයක් එක් කළහ. එම උපක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත් කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයින් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී අභියෝගාත්මක ලකුණු 328ක් ලකුණු පුවරුවේ සටහන් කරන්නට සමත් විය.

කොමර්ෂල් ඉනිමේ බර කරට ගත් චාමර කපුගෙදර HNB පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දෙමින් දැවැන්ත ලකුණු 170ක් රැස් කරන්නට සමත් විය. පන්දු 121ක් තුල වාර්තා වූ ඔහුගේ දැකුම්කළු ඉනිම හතරේ පහර 11කින් සහ හයේ පහර 9කින් වර්ණවත් විය. කපුගෙදරට අනගි සහයක් ලබාදෙමින් අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් ඉමේෂ් උදයංග සහ චතුරංග ද සිල්වා පිළිවෙලින් ලකුණු 64ක් හා 41ක් බැගින් රැස් කරන්නට සමත් විය.

ලකුණු 329ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹා යෑම සඳහා පිටියට පිවිසි HNB පිතිකරුවෝ මුල් පන්දුවාර 10 තුලදී කිසිදු කඩුල්ලක් කොමර්ෂල් පන්දු යවන්නන්ට හිමි කර නොදෙමින් පරීක්ෂාකාරී පිතිකරණයක යෙදුනහ. නමුත් ඉනිම පුරාවට ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාව හඹා යෑම සඳහා අවශ්‍ය වූ වේගවත් පිතිකරණ රටාවක් HNB පිළෙන් දක්නට නොලැබුණි. එහි ප්‍රතිඵලය වූයේ පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් පමණක් දැවුණු HNB ඉනිම ලකුණු 241කට සීමා වීමයි. HNB කණ්ඩායම වෙනුවෙන් දේශාන් ඩයස් (64), මින්හාජ් ජලීල් (56) සහ මාධව වර්ණපුර (51) අර්ධ ශතක රැස් කිරීමට සමත් වුවත් ඒ කිසිවක් HNB කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්නට ප්‍රමාණවත් වූයේ නැත. මෙම තරගයෙන් කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයින්ට ලකුණු 87ක පහසු ජයක් හිමිවිය.

කොමර්ෂල් ක්‍රෙඩිට් කඩුලු 8ක් දැවී ලකුණු 328 (පන්දුවාර 50)

චාමර කපුගෙදර 170, ඉමේෂ් උදයංග 64, චතුරංග ද සිල්වා 41, විමුක්ති පෙරේරා 3/55, සජීව වීරකෝන් 3/60.

HNB කඩුලු 5ක් දැවී ලකුණු 241 (පන්දුවාර 50)

දේශාන් ඩයස් 64, මින්හාජ් ජලීල් 56, මාධව වර්ණපුර 51, හෂාන් ගුණතිලක 43, ලහිරු මධුෂාන් 2/33.


MAS ඇක්ටිව් සහ ජෝන් කීල්ස් අතර තරගය

අද දින FTZ පිටියේදී ක්‍රියාත්මක වූ මෙම තරගය ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති සුන්දරත්වය මැනවින් විදහා දැක්වූ උණුසුම් තරගයක් බවට පත් විය. අවසන් මොහොත දක්වාම ජයග්‍රාහකයින් තීරණය කිරීමට අපහසු වූ මෙම තරගය නිමා වූයේ ජෝන් කීල්ස් ක්‍රීඩකයින්ට කඩුලු 2ක තියුණු ජයක් හිමිකර දෙමිනි.

කාසියේ වාසිය දිනූ ජෝන් කීල්ස් ඇරයුමින් පිටියට පිවිසි ඇක්ටිව් පිතිකරුවන් සියලු දෙනාම පන්දුවාර 47යි එක් පන්දුවක් අවසන් වන විට නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට ජෝන් කීල්ස් ක්‍රීඩකයින් සමත් විය. ඒ අතරතුර ඇක්ටිව් කණ්ඩායම රැස් කල ලකුණු සංඛ්‍යාව 258කි. ජෙහාන් මුබාරක් (56) සහ සචිත සේරසිංහ (50) අර්ධ ශතක වාර්තා කරද්දී දකුණත් ප්‍රවේගකාරී පිතිකරු ඩිල්ශාන් මුණවීරට අර්ධ ශතකයට ලකුණු 3ක් මෙපිටින් සිය ඉනිම නිමා කරන්නට සිදු විය. කීල්ස් පිළ වෙනුවෙන් උපුල් සහ විකුම් කඩුලු 7ක් තමන් අතරේ බෙදාගන්නට සමත් විය.

ලකුණු 259ක ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් වෙනුවෙන් පිටියට පිවිසි ජෝන් කීල්ස් පිතිකරුවෝ පවර් ප්ලේ පන්දුවාර 10 අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 65ක් රැස් කරමින් සවිමත් ආරම්භයක් ලබා ගත්හ. එය තවත් ඉදිරියට ගෙන යමින් ලහිරු මිලන්ත (86) සහ ජනක ගුණරත්න (40) අගනා ලකුණු සම්බන්ධතාවයක් පවත්වමින් කීල්ස් ක්‍රීඩකයින්ට ජයග්‍රහණයේ බලාපොරොත්තුව ගෙන ආහ.

නමුත් ඉනිමේ අවසාන භාගයේ ඔවුන් දෙදෙනාම දැවී යන විට ජෝන් කීල්ස් ඉනිම දැක්වුනේ පන්දුවාර 48ක් අවසානයේ කඩුලු 8කට ලකුණු 248ක් ලෙසයි. ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවසන් පන්දුවාර 2 සඳහා ලකුණු 11ක් අවශ්‍යව තිබුණි. ඒ සඳහා ඔවුන්ට ඉතිරිව තිබුනේ කඩුලු 2ක් පමණි. මේ අවස්ථාව වනවිට දෙපිලටම දෝලනය වෙමින් තිබූ තරගය 49 වැනි පන්දුවාරයේ දී තම පිළට හරවා දෙන්නට ඉශාන් ජයරත්න සමත් විය. ඔහු අත්‍යවශ්‍යම මොහොතේ නොදැවී ලබාගත් ලකුණු 35 හේතුවෙන් කඩුලු 2ක තියුණු ජයක් ලබන්නට ජෝන් කීල්ස් ක්‍රීඩකයින් සමත් විය. ඇක්ටිව් පිළ වෙනුවෙන් ප්‍රබල සටනක නියැලුණු ධනංජය සිල්වා සහ සචිත් පතිරණ සිය දඟ පන්දුවෙන් කඩුලු 5ක් බිඳ හෙලන්නට සමත් වූහ.

MAS ඇක්ටිව් සියල්ලන්ම දැවී ලකුණු 258 (පන්දුවාර 47.1)

ජෙහාන් මුබාරක් 56, සචිත සේරසිංහ 50, ඩිල්ශාන් මුණවීර 47, ධනංජය ද සිල්වා 38, උපුල් ඉන්ද්‍රසිරි 4/44, විකුම් බණ්ඩාර 3/46.

ජෝන් කීල්ස් කඩුලු 8ක් දැවී ලකුණු 261 (පන්දුවාර 48.5)

ලහිරු මිලන්ත 86, ජනක ගුණරත්න 40, භානුක රාජපක්ෂ 36, ඉශාන් ජයරත්න 35*, ධනංජය ද සිල්වා 3/40, සචිත් පතිරණ 2/48.


ඩිමෝ සහ සම්පත් බැංකුව අතර තරගය

මොරටු ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු මෙම තරගය තරමක් අඩු ලකුණු සංඛ්‍යා වාර්තා වූ තරගයකි. ඩිමෝ ආරාධනයෙන් පිටියට පිවිසි සම්පත් බැංකු පිතිකරුවන් ලකුණු 221කට සීමා කරන්නට ඩිමෝ පන්දු යවන්නන් සමත් විය. සිය අර්ධ ශතකය පෙනෙන මානයට පැමිණි රොමේෂ් බුද්ධික ලකුණු 49කට අවාසනාවන්ත ලෙස දැවී ගියේය. සම්පත් බැංකු කණ්ඩායම වෙනුවෙන් ප්‍රිමෝශ් පෙරේරා සහ නුවන් පෙරේරා පිළිවෙලින් ලකුණු 40ක් සහ 36ක් බැගින් රැස් කරන්නට සමත් විය. ඩිමෝ පිළ වෙනුවෙන් තික්ෂිල ද සිල්වා ලකුණු 43කට කඩුලු 3ක් බිඳ හෙලුවේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඩිමෝ පිතිකරුවෝ පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් අතැතිව ජය ලබන්නට සමත් වූහ. ලසිත් අබේරත්න නොදැවී ලකුණු 82ක් රැස් කරමින් සිය කණ්ඩායම ජය කණුව කරා ගෙන ගියේය. පන්දු යැවීමේදී සම්පත් බැංකු කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 4ක් බිඳ හෙලන්නට සමත් විය. ඩිමෝ ක්‍රීඩකයින් මෙම තරගය ජයගත්තේ කඩුලු 3කිනි.

සම්පත් බැංකුව සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 44.3)

රොමේෂ් බුද්ධික 49, ප්‍රිමෝශ් පෙරේරා 40, නුවන් පෙරේරා 36, රමේෂ් මෙන්ඩිස් 2/20, මතීෂ පෙරේරා 2/34, තික්ෂිල ද සිල්වා 3/43.

ඩිමෝ කඩුලු 7ක් දැවී ලකුණු 225 (පන්දුවාර 43.4) ලසිත් අබේරත්න 82*, නිපුන් කරුණානායක 47, කසුන් රාජිත 4/58.


ටෙක්ස්චඩ් ජර්සි සහ MAS යුනිචෙලා අතර තරගය

අද දින කෝල්ට්ස් පිටියේදී පැවති තවත් උණුසුම් තරගයක් වූ මෙම තරගය එක් කඩුල්ලකින් ජය ගනිමින් සිය අපරාජිත වාර්තාව තවදුරටත් රැක ගැනීමට ගියවර ශූරයන් වන MAS යුනිචෙලා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ යුනිචෙලා නායකයාගේ ඇරයුමින් පිටියට පිවිසි ටෙක්ස්චඩ් ජර්සි පිතිකරුවන් සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස් කළහ. ජර්සි ඉනිම වෙනුවෙන් අසලංක (48), බණ්ඩාර (41) සහ භානුක (39) ලකුණු රැස් කිරීමේදී පෙරමුණ ගත් අතර ඉනිමේ අවසන් භාගයේදී පිටියට පිවිසි ලක්ෂාන් සඳකැන් නොදැවී ලකුණු 25ක් රැස් කරමින් ජර්සි ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් දක්වා ඔසවා තබන ලදී. පන්දු යැවීමේදී මාලිංග බණ්ඩාර කඩුලු 2ක් බිඳ හෙලන්නට සමත් විය.

පසුගිය තරග පුරාවට සිය පිතිකරණ හැකියාව මනාව විදහා දැක්වූ යුනිචෙලා පිතිකරුවෝ මෙම තරගයේදී ද තම ප්‍රවේගකාරී පිතිකරණයේ යෙදීම සඳහා පිටියට පිවිසියහ. සාර්ථක ආරම්භයක් ලබාගත් ඔවුන්ගේ ඉනිමේ මුල් පන්දුවාර කිහිපයේදී ඔවුන්ගේ ලකුණු වේගය පන්දුවාරයකට ලකුණු 14ක් පමණ විය. එහිදී ධනුෂ්ක සහ දික්වැල්ල ලකුණු 40 බැගින් රැස් කලහ. නමුත් අනවශ්‍ය ලෙස කලබල වන්නට යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ කඩුලු එකින් එක බිඳ වැටෙන්නට පටන් ගත්තේ ජර්සි පිළට ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කරවමිනි. දළ ලකුණු වේගය අතින් ඔවුන් ඉදිරියෙන් සිටියත් නිරන්තරයෙන් කඩුලු බිඳ වැටෙන්නට වූ බැවින් ජයග්‍රහණය යුනිචෙලා පිළෙන් ක්‍රමයෙන් ඈත් වන්නට විය.

නමුත් මෙතෙක් කලක් රැක ගෙන ආ අපරාජිත වාර්තාව බිඳ වැටෙන්නට ඉඩ නොදුන් දිල්රුවන් පෙරේරා (26) හා ෆර්වීස් මහරුෆ් (24) ඉනිමේ අවසන් භාගයේදී ඉවසිලිවන්ත ඉනිම් දෙකක් ක්‍රීඩා කරමින් යුනිචෙලා කණ්ඩායමට ජය ගෙන දීමට සමත් විය. පන්දු යැවීමේදී ලක්ෂාන්, රනේෂ්, මිලින්ද හා ලහිරු අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. MAS යුනිචෙලා ක්‍රීඩකයෝ මෙම තරගයේදී එක් කඩුල්ලක තියුණු ජයක හිමිකරුවන් බවට පත් වූහ.

ටෙක්ස්චඩ් ජර්සි කඩුලු 8ක් දැවී 245 (පන්දුවාර 50)

චරිත් අසලංක 48, උපුල් බණ්ඩාර 41, මිනෝද් භානුක 39, විශාද් රන්දික 28, ලක්ෂාන් සඳකැන් 25*, මාලිංග බණ්ඩාර 2/54.

MAS යුනිචෙලා කඩුලු 9ක් දැවී ලකුණු 248 (පන්දුවාර 36.2)

නිරෝෂන් දික්වැල්ල 40, ධනුෂ්ක ගුණතිලක 40, තිලක්ෂ සුමනසිරි 33, තිලකරත්න ඩිල්ශාන් 31, ෆර්වීස් මහරූෆ් 24, දිල්රුවන් පෙරේරා 26, ලක්ෂාන් සඳකැන් 2/31, ‍රනේෂ් පෙරේරා 2/35, මිලින්ද සිරිවර්ධන 2/34, ලහිරු පෙරේරා 2/69.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට