Pigeon Island Marine National Park - Trip Report | පරෙවි දූපත සමුද්‍ර ජාතික උද්‍යාන සංචාරක වාර්තාව



දිනය - සැප්තැම්බර් 14 (2016)

නවාතැන් ගත්තේ - ත්‍රිකුණාමළය නාවික මූලස්ථාන සංචාරක නිකේතනය

වාහන - 4X4 ජීප් රථය හා බෝට්ටුව (කාර් රථයකින්ද පහසුවෙන් පරෙවි දූපතට පිටත්වෙන වෙරළට යා හැකිය)

ගමන් මාර්ගය - ත්‍රිකුණාමලය; නිලාවැලි/පුල්මුඩේ මහාමාර්ගය (නිලාවැලි නගරය පසුකොට කෙටි දුරක් පුල්මුඩේ මාර්ගයේ ගමන්කල විට, පරෙවි දූපතට සංචාරකයින් ගෙන යන වෙරළතීරයට පැමිණිය හැකිය.

ත්‍රිකුණාමළය නගරයේ සිට දුර - ආසන්න ලෙස කිලෝමීටර් 20කි.



පරෙවි දූපතට පිවිසෙන ස්ථානයේ විස්තරය

1] විවෘතවන කාලය - 7am – 5.30pm

2] මෙතැන වනජීවී දෙපාර්තමේන්තුවේ කුඩා  කාර්යාලයක් ඇති අතර එතැනින් උද්‍යාන පිවිසුම් අවසරපත් ලබාගත යුතුය. ආරක්ශාව සඳහා සිවිල් ආරක්ශක දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කිහිපදෙනෙකු මෙන්ම ජීවිතාරක්ෂකයින් (life guard) සේවයේ යෙදී සිටී.

3] එතැනම බෝට්ටු ගමන සඳහා බෝට්ටුවක් වෙන්කල ගත හැකිය. ත්‍රිකුණාමලය සමූපාකාර සමිතියක් මෙහෙයවන ආසන සවිකල ෆයිබර් ග්ලාස් මාළු බෝට්ටු සූදානම් කොට තබා ඇති අතර එක් බෝට්ටුවක 6-7ක් පමණ ගමන්කල හැකිය. බෝට්ටු සපයාගැනීම/ගණුදෙනු කිරීම පහසුය.

පරෙවි දූපතට ප්‍රවේශපත්‍ර නිකුත්කරණ වනජීවී කාර්යාලය. මෙහි දකුණුපස ඇති ස්ථානයෙන් බෝට්ටුවක් ලබාගත හැකිය.
4] ජීවිතාරක්ශක කබා සැපයේ. ගෙන යාමට හා ආපසු ගෙන ඒමට ගාස්තුව රුපියල් 2000ක් පමණවේ. බෝට්ටු මෙහෙයවනන් දෙමළ/මුස්ලිම් ජාතිකයින් වන අතර සිංහල නුහුරුය. එබැවින් ඔබ නැවත වෙරළ වෙත ගෙනයාමට  ආපසු පැමිණිය යුතුවේලාව පැහැදිලිව සන්නිවේදනය කරගත යුතුය. එම වේලාවට ඔබගේ සංචාරය අවසන් කොට පිටත්වීමට බෝට්ටුව වෙත පැමිණීම සුදුසුය. ගිවිසාගත් වෙලාවට වඩා බොහෝ ප්‍රමාදවන්නේනම් අමතර ගාස්තුවක් ගෙවීමට සූදානම්විය යුතුය.

කෑමබීම හා වෙනත් පහසුකම් - ඉතාමත් සුන්දර වෙරළතීරයක් වන නිලාවැලී වෙරළතීරයේ විවිධාකාරයේ සංචාරක හෝටල් හා අවන්හල් ඇත. ඉතා පහසුමිළට සරළ ආහාර පාන බලාපොරොත්තු වන්නන්ට, පරෙවි දූපතට ප්‍රවේශය පාලනය කරන, වෙරළේ ඇති වනජීවී කාර්යාලයට යන මාර්ගයේ රථගාල අසල කුඩා වෙළඳසැළක් ඇත. එහි තේ, සිසිල්බීම, පාණීය ජල බෝතල් හා රොටී, පිට්ටු වැනි කෑමබීම ඇත.

වැසිකිළි හා ඇඳුම් මාරුකිරීමට  - රථගාල අසලම මුදල් අයකරන (රු.20/-) වැසිකිලි ඇත. පිරිසිදුය එහෙත් නවීන වැසිකිලි නොවේ. එහිම ඇඳුම් මාරු කිරීමට (නාන ඇඳුම් ඇඳගැනීම සඳහා) හා මුහුදේ ස්නායනයෙන් හෝ බෝට්ටු ගමණින් පසු ලුණු ජලය සෝදා හැරීමට නෑම සඳහා ආවරණය කරනලද ස්ථාන ඇත.  ගාස්තුව අයෙකුට රු.20/-කි.

පරෙවි දූපතට සංචාරකයින් ගෙනයන බෝට්ටු


බෝට්ටු ගමණ - දූපතට ඇති කිලෝමීටර් 1ක දුර යාමට මිනිත්තු 10-20 අතර ගතවේ. මුහුද රළුනම් කාළය වැඩිවිය හැකිය. 

1] ජීවිතාරක්ශක කබායක් පැළඳ නොගෙන බෝට්ටුවට නොනගින්න

2] ජීවිතාරක්ශක කබායේ ක්ලිප් සවි වන්නේ නැතිනම්, කැඩී ඇති නම්, හිර නම් (හෝ විශාල වැඩි නම්) වෙන එකක් ඉල්ලා ගන්න.

3] අසුන්වල ඉඳගෙන හොඳින් අල්ලා ගන්න. බෝට්ටුව පිටත්වූ පසු, යලි නවත්වන තෙක් නොනැගිටින්න. 

4] බෝට්ටුව රැල්ලට අසුවී ඒ මේ අත පැද්දෙනවිට බිය නොවී සිටින්න. බෝට්ටු ගමන් වලට දැඩි බියක් දක්වන අය බලෙන් රැගෙන යාමෙන් ඔවු කළබලවී සියලු දෙනාටම කරදරයක් / අණතුරක් විය හැකිය.

5] බීමතින් හෝ මත්ද්‍රව්‍ය පානයෙන් පසු බෝට්ටුවට නොනගින්න.

6] බෝට්ටුකාරයින් බොහෝ කළබලයෙන් ඔබව ඉක්මණින් නංවාගෙන පිටත්වන්නට තැත්කරයි. හැසිරීම කොළඹ ත්‍රී රෝද රියදුරන්ට සමානය. ඔබ කළබල නොවී, ජීවිතාරක්ශක කබා නිසිලෙස පැළඳගෙන සූදානම්වී බෝට්ටුවට නගින්න.



සංචාරයට සුදුසුම කාළය - අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා ඇති වියළි දේශගුණය ඇති කාළය.

දැකගත හැකි දේවල් - ඉතාමත් සුන්දර කොරල්පර, ගල් පරෙවියන් (මොවුන් සාමාන්‍ය පරෙවියන් හා පෙනුමින් සමාන වුවත් දුර්ලභ වර්ගයකි), බ්‍රාහ්මණ උකුස්සන් (brahminy kites), වෛවර්ණ කොරල් ආශ්‍රිත මසුන්, කුඩා මෝරුන් (black tip reef shark) හා මුහුදට යන්නේ නම් පොතු කැස්බෑවා නොහොත් ලෙලි කැස්බෑවා (hawks bill turtle), ස්පර්ම් වේල් (sperm whale) තල්මසුන්.

පෙර සූදානම - නාන ඇඳුම් රැගෙන යාම අනිවාර්ය වන්නේ පරෙවි දූපතේ ඉතාමත් සුන්දර නාන තොටවල් දෙකක් ඇති නිසාය. දිය යට කොරල් හා මසුන් නැරඹීම සඳහා snorkel කට්ටල රු 300ක මිළකට කුලියට ගත හැකිය. මුහුද වෙත ගෙනයාම හා විස්තර කිරීම සඳහා මගපෙන්වන්නන් කිහිපදෙකුම සේවයේ යෙදී සිටී. ඔවුන් සිංහල ජාතිකයින් වන අතර කොරල් පර හා මසුන් ගැන හොඳ දැනුමක් ඇති තරුණයින් පිරිසකි. ඔවුන්ගේ ගාස්තු ඔවුන් සමග කතාබහ කරගත යුතුය.

තහනම් කළාපය හා අණතුරු ඇඟවීම්




මේ උපදෙස් පිලිපැදීම ඔබගේ අරක්ශාවට මෙන්ම මෙම ජාතික සම්පතේ ආරක්ශාවට ඉතා වැදගත්ය

මේ දූපතේ ඇති කුඩා බොක්ක (cove) මසුන් හා කොරල් බැලීමට, කිමිදීමට, පිහිණීමට හා නෑමට ඉතා අගනා ස්ථානයකි. එහෙත්;

1] එහි ඇති කළුගල්වල දැඩිලෙස පාසි බැඳී ඇති අතර අඩිය තැබුවහොත් නිසැකවම ලිස්සා යයි

2] කොරල් පර ඉතා තියුණුය. දෙපා කැපීම්, සීරීම් බහුලය. එමෙන්ම ඉකිරියා වැනි විශ සහිත මුහුදු ජීවීන් කළාතුරකින් ඇත.

3] බොක්ක තුල මුහුදු රළ ඉතා සෞම්‍යය. එහෙත් මෙම සෞම්‍ය රැළි වුවද නැගෙන ආකාරය නිසා දෙපයින් සිටගෙන සිටීම තරම්ක් අපහසුය. රැල්ල මගින් ඔබව ඉදිරියට හා පසුපසට නිරන්තරයෙන් තල්ලු කරයි. එමෙන්ම අඩිය තබන තැන්වල තියුණු කොරල් ඇනෙන්නටද පටන් ගනී. එමනිසා ඉතා කල්පණාකාරී වන්න.

පරෙවි දූපතේ කුඩා බොක්ක (cove) මෙය ඉතා සුන්දර ස්ථානයක් වුවද පතුලේ ඇති කොරල් ඉතා තියුණුය.






දූපත් සංචාර මංපෙත (Pigeon Island Hiking Trail)

පරෙවි දූපතෙහි ස්වභාවික පරිසරය පිලිබඳව අවබෝධයක් ලබාදීමට දුපත වටා මංපෙතක් හා වැදගත් ස්ථාන සළකුණු කොට ඇත. මෙහි ඇවිදීමෙන් මේ දූපත (හා මෙවැනි කොරල් දූපත්) පිලිබඳව ඉගෙනුමට හැකිය. වේලාව මදවීම නිසා ලියුම්කරුට මංපෙත තුල සම්පූර්ණයෙන් ඇවිදීමට නොහැකිවූ නමුත්, "Pigeon's Eye View Point" ලෙස හැඳින්වෙන දූපතේ උසම ස්ථානයේ ඇති බැළුම්ගලින් අවට බැලීමේ අවස්ථාව හිමිවය. එහි දර්ශණ මේ ලිපියේ ඇති වීඩියෝවකින් ඔබටද දැක ගත හැකිය. 

Pigeon's Eye Out Look බැළුම්ගල
දූපත් මං පෙතෙහි දර්ශණ කිහිපයක්






Pigeon Island National Park - Trip Info Videos

පරෙවි දූවේ කොරල් පර හා සුන්දර මසුන් නැරඹිය හැකි කොරල් බොක්ක. (HD Video)




Pigeon's Eye Viewpoint බැළුම් ගලෙන් බැලූවිට පෙනෙන දසුන් (HD Video)



The return boat ride from Pigeon Island (HD Video)





යුද්ධයෙන් පසු පරෙවි දූපත සංචාරකයින් හට නැවත නිළවශයෙන් විවෘතකල 2011 වසරේ මැයි 28වැනිදා දිණමිණ පුවත්පත පරෙවි දූපත ජාතික උද්‍යානය පිලිබඳව පලකල ලිපිය.

පරෙවි දූපත සැබැවින්ම දූපත් දෙකක එකතුවකි. විශාලම දූපත හඳුන්වන්නේ පරෙවි දූපත නමිනි. එහි ඇති කුඩා දූපත කාක දූපත නමින් හඳුන්වනු ලබයි.  කොරල්පර ආශි‍්‍රත ජෛව විවිධත්වය සහ පරෙවියන්ගේ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස පරෙවි දූපත සලකන හෙයින් 1970 දී වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එපමණක් නොව මෙහි පවත්නා ජෛව විවිධත්වයත්, සුන්දරත්වයත් සැලකිල්ලට ගනිමින් පරෙවි දූපත 2003 ජූනි 24 වැනි දින එම ආඥා පනත යටතේ ම ජාතික උද්‍යානයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී. පරෙවි දූපත ජාතික උද්‍යානයේ වපසරිය හෙක්ටයාර 431.43 කි. කොරල් විශේෂ 100 ක් පමණ ද කොරල් පර ආශි‍්‍රත මසුන් විශේෂ 300 කට ආසන්න ප්‍රමාණයක් ද මෙහි දී දක්නට ලැබේ. කොරල් පර අතර වෛවර්ණ වරල් සලමින් පීනා යන අමුතු මාළු නැරඹීමට අවශ්‍ය නම් පරෙවි දූපතට ම ඔබ පැමිණිය යුතුය.

මන්දයත් මේ මත්ස්‍ය විශේෂ අන් කිසිදු තැනක දී ඔබට දැකගත නොහැකි බැවිනි. පරෙවි දූපත ආශි‍්‍රත වෙරළේ පිහිටි කොරල් පර 1998 වසරේදී ඉන්දියන් සාගරයේ බලපෑ උණුසුම් දියවැල් හේතුවෙන් හානියට ලක් නොවී පැවතීම ද සුවිශේෂී ලක්‍ෂණයකි. අතිශය අලංකෘත ලෙස දිස්වන මේ කොරල්පර පද්ධතිය දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් පිනවන අරුමැසි දසුනකි. ගොඩබිම් පාෂාණ වර්ග සුළු වශයෙන් ද ඛාදනයට ලක් වූ කොරල් අතළොස්සක් ද පරෙවි දූපත ආශි‍්‍රතව දැකගත හැකිය. ඉන්දියන් සාගරයේ ජීවත් වන ආවේනික මත්ස්‍ය වර්ග මෙන්ම දුර්ලභ ගණයේ ජලජ ජීවීන් වන ජලජ ශාක විශේෂ ද බ්ලැක්ට්ස් වර්ගයට අයත් කොරල් ආශි‍්‍රත මෝරු විශේෂයක් ද පරෙවි දූපතෙහිදී දැකගත හැකි බව ඇසීම විටෙක පුදුම උපදවන සුළු ආරංචියක් විය හැකිය. එමෙන්ම පොතු කැස්බෑවන් විශේෂයක් ද පරෙවි දූපතේ වෙරළ ආශි‍්‍රතව සිත් සේ දැක බලාගත හැකිය. පරෙවි දූපත සොඳුරු ශාක වර්ග කිහිපයකට ම ප්‍රකට ය. 

මේ අතර ඉහළින් ම නම සඳහන් වන සුරියල, කොහොඹල, සියඹලාල, මලිත්තන් ආදී ශාක විශේෂයන් හි අපූර්වත්වය බැලීමට පරෙවි දූපතට හැර අන් තැනකට යාම සුදුසු නොවේ. පරෙවි දූපතටම ආවේණික ටෙම්පිස් ඇසිඩියුලා වැනි ශාක ද ශ්‍රී ලංකාවට විශාල වටිනාකමක් එකතු කරන, ලෝකයේ ම ඇස තමාට යොමු කර ගැනීමට තරම් සමත් වන මට්ටමේ සම්පතකි. ලන්ටානාල පතොක් ආදී පඳුරු විශේෂ ද බාහිරින් ඇති කටු අමතක කර අත් විහිදමින් සිනාසෙන්නාක් මෙනි. කොහොමත් අධික හිරු රශ්මියට පතොක් ආදී ශාකයෝ කැමැතිය. පතොක් ස්වකීය ශරීරයට හිරු එළිය පතන්නා සේම විදේශිකයෝ ද හිරු එළියම ප්‍රාර්ථනා කරන හෙයින් පරෙවි දූපත මොවුන්ට සැබෑ ම තෝතැන්නකි. නිල්ල පිරුණු දියවැල් අතරින් ගොඩබිම මත වැඩුණු උස් ශාකවල අතු පතර වඩාත් ආඩම්බරයෙන් ගිමන් හරින බ්‍රාහ්මණ උකුස්සන්, පරෙවි දූපතට සම්පතකි. එමෙන්ම ගොළු කිරලා, කළු කොකා සහ පරෙවියෝ පරෙවි දූපතේ පරිසරයේ අයිතිකරුවන් ය. විශේෂයෙන් ම නිතර දොඩවමින් එහා මෙහා ඇවිදින, සටස් හඬ නඟමින් ඉගිලෙන පරෙවියෝ පරෙවි දූපතේ නිත්‍ය අයිතිකරුවන්ය.

ඔක්තෝබර් සිට මාර්තු දක්වා පරෙවි දූපතට යහමින් වර්ෂාව ලැබෙන අතර සෙසු කාලය අධික උෂ්ණත්වයකින් යුක්තය. සුළඟේ වේගය පැයට කි. මී. 16 – 20 දක්වාත්, 20 – 30 දක්වාත් වෙනස් වේ. පරෙවි දූපත වඩාත් සොඳුරු වන්නේ වර්ෂාව සහිත කාලගුණයක් ඇති කාලයටය. නමුත් වර්ෂාවේ පරෙවි දූපත සිසාරා බැලීමට නම් නොහැකි වනු ඇත. මද උෂ්ණාධික වුවත් හිරු එළිය උරා බොමින් පරෙවි දූපත නැරඹීම වඩාත් උචිතය. ත්‍රිකුණාමලය හරහා නිලාවැලි මුහුදු තීරය ඔස්සේ මේ ගමන ඇරැඹීම වඩාත් උචිතය. ප්‍රකට ත්‍රිකුණාමල නගරය, ත්‍රිකුණාමල මුහුදු වෙරළ තීරය නැරඹීමෙන් ඉක්බිතිව කෝනේශ්වරම් කෝවිල වැඳ පුදා ගැනීමට ද හැකිය.

කෝනේශ්වරම් කෝවිල භූමිය බැතිමතුන් ගේ භක්තිය වඩවනු ඇත. නිලාවැලි මුහුදු වෙරළ කොතරම් සොඳුරු ද කියා දැකබලා ගැනීම වටී. මුහුදු ආහාර වේලකින් සන්තර්පණය වී දවසේ ඉතිරි කාලය පරෙවි දූපතට යාමට ගත කළ හැකිය. පරෙවි දූපත උද්‍යානය නැරඹීමට යන සංචාරකයනට නිලාවැලි වෙරළ තීරයෙහි අද විවෘත කෙරෙන ටිකට්පත් කවුළුවෙන් අවසර පත් ලබාගත හැකිය. දේශීය වැඩිහිටි සංචාරකයන් උදෙසා රුපියල් 40 ක් ද, ළමයින් සඳහා රු. 20 ක් වැනි සුළු මුදලකට පරෙවි දූපත උද්‍යානය නැරඹීමට හැකිවීම වඩාත් සතුටුදායකය. පාසල් සිසුන්ට මේ සඳහා ටිකට් සඳහා අයකරන්නේ රු. 10 ක් වැනි සුළු මුදලකි.

විදේශීය වැඩිහිටි සංචාරකයන්ට මේ මුදල තරමක් වෙනස් ය. පෞද්ගලික අංශය මගින් ක්‍රියාත්මක කෙරෙන බෝට්ටුවලින් සංචාරකයන්ට දූපතට පිවිසීමට හැකිය. මේ බෝට්ටු ගමන වඩාත් විචිත්‍රවත්ය. පරෙවි දූපතේ සොඳුරු බව බැලීමට බෝට්ටුවක් තරම් උචිත ප්‍රවාහන මාධ්‍යයක් තවත් නැති තරම්ය. මන්දයත් බෝට්ටුවක ගමන් කිරීමෙන් දූපතේ මධ්‍යයේ සිට සෑම පැත්තක්ම එකම ආකාරයෙන් නැරඹිය හැකිය. මේ පෞද්ගලික අංශය පවත්වාගෙන යන බෝට්ටු සේවය හේතුවෙන් විශාල පිරිසකට වක්‍රාකාරයෙන් රැකියා අවස්ථා උත්පාදනය කර ඇත.

සංචාරකයන්ට ඇවැසි නම් පරෙවි දූපත වටා ඇවිදිමින් එහි සොබා සොඳුරු බව සිත් සේ දැකබලා ගැනීමට හැකිය. ඒ සඳහා විචිත්‍රවත්ව සකස් කළ මං පෙත් කිහිපයකි. මෙහි තවදුරටත් සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමට වනජීවී සංරක්‍ෂණ දෙපර්තමේන්තුව කටයුතු යොදා ඇත.

Source - http://archives.dinamina.lk/2011/05/28/_art.asp?fn=f1105282



නැගෙනහිර මුසල්මානුවන් - සැළකිය යුතු කරුණු මා මේ කොටස එක්කතුකලේ වෙනත් කිසිවක් නොව දකුණේ, නැගෙනහිර මුස්ලිමුන් ගේ හැසිරීම ගැන පැතිරෙන විවිධ මතවාද නිසාය. අප මේ සංචාරයේදී තිරියාය (ගිරිහඬු සෑය) නිලාවේලි - පුල්මුඩේ (පරෙවි දූපත සංචාරය), කින්නියා (උණුවතුර උල්පත් බැලීමට), පාලතොප්පු-සේරුවාවිල (සේරුවාවිල චෛත්‍යය නැරඹීමට) ප්‍රදේශවලද සංචාරය කල අතර. බොහෝවිට මග අසාගත්තේ දෙමළ/මුස්ලිම් මිනිසුන්ගෙන්ය. කිසිවෙටකත් ඔවුන්ගෙන් අපට වැරදි තොරතුරක් ලබාදීම්, අවඥාවක් හෝ වෙනත් කරදරයක් බාධකයක් සිදුනොවීය. එවැනි දේ කිසිවිටකත් සිදුනොවන්නේ යයි නොකියමි. එහෙත් දින 4ක් නැගෙනහිර සංචාරය කල මාගේ අත්දැකීම මෙයයි. 

මෙම ප්‍රදේශ තනිකරම දෙමළ හා මුස්ලිම් ජනතාව වෙසෙති. ඔවුන් බොහෝ දෙනෙකුට සිංහල භාෂාව නොතේරේ. එබැවින් මගතොට අසාගැනීම, විස්තර අසාගැනීම කරදරකාරීය. කළබල නොවී සිංහල තේරුම ගත හැකි අයෙකු හමුවන තෙක් සිටින්න. හැකි සෑමවිටම වයස්ගත උදවියගෙන් විස්තර අසන්න. ඔවුන් තරුණයින්ට වඩා දැනුමැතිය. මදක් හෝ සිංහල තේරුම්ගත හැකි අයයි. තරුණ කාන්තාවන්ගෙන් (විශේෂයෙන් මුස්ලිම්) තොරතුරු නොවිමසන්න ඔවුන් අමුත්තන් හා කතාවට අකමැතිය.

ඔබ සිටින්නේ ඔවුන්ගේ ගම්පලාතේ බව අවබෝධකර ගන්න. අපට හමුවූ බොහෝ දෙනෙකු (දෙමළ හා මුස්ලිම්) හැකි ලෙස අපට උදව් කල අතර, බොහෝ දේශීය සංචාරකයින්ගේ අත්දැකීමත් මෙයමය. අප ඔවුනට මනුෂ්‍යයින් ලෙස ගරුකරනවා නම් ඔවුන්ගේ ගෞරවය අපට නිතැතින්ම හිමිවේ. 


__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments