Main Logo

Sunday 18 September 2016

දෙමළ බෞද්ධයෝ


දෙමළ බෞද්ධයෝ

මෙරට කිසි කලෙක දෙමළ රාජ්‍යයක් තිබී නැහැ. පොන්නම්බලම් රාමනාදන්ගේ හා පොන්නම්බලම් අරුණාශලම්ගේ සිට ඔවුන්ගේ ඥාති මෙන් ම දේශපාලන මුණුබුරා වූ  විග්නේස්වරන් දක්වා සියළු දෙමළ ජාතිවාදීන් මෙන් ම සිංහල පවුල්වල ඉපදී සිංහල බෞද්ධ විරෝධි ඇංග්ලිකන් ක්‍රිස්තියානි ගැති නිවට වහල්භාවයට පත් හීනමාන පඬියන් ද කියන කරුණක් තමයි මෙරට දෙමළ රාජ්‍යයක් තිබූ බව. ඇතැමුන් කියන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල මේ දෙමළ රාජ්‍යය තිබූ බවයි.
එහෙත් එසේ දෙමළ රාජ්‍යයක් තිබූ බවට කිසිම සාක්‍ෂියක් ඉදිරිපත් කිරීමට මේ කිසිවකුටවත් බැහැ. මෙතන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. පළමුවෙන් ම දෙමළ යනුවෙන් රාජ්‍යයක් තිබූ බව පෙන්වීම. දෙවනුව ඒ රාජ්‍යය වත්මන් උතුරු හා නැගෙනහිර පළාත්වල තිබූ බව පෙන්වීම. තුන්වනුව මේ ඊනියා දෙමළ රාජ්‍යයේ රටවැසියන් එහි නිත්‍ය පදිංචිකරුවන් වූ දෙමළ ජනයා බව පෙන්වීම. මේ නිත්‍ය පදිංචිය ඉතා වැදගත්. හතරවනුව එසේ දෙමළ ජනයා සිටියේ නම් ඔවුන් ඒ රාජ්‍යය තම රාජ්‍යය ලෙස පිළිගත් බව පෙන්වීම.

අද මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් නැහැ. ඉංගිරිසින් 1815 දී පිහිටුවූ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක් මෙහි තියෙන්නෙ. ඒ රාජ්‍යය අපේ කියා අප පිළිගන්නේ නැහැ. සමහරවිට නිවට පඬියන් නම් ඒ බව පිළිගනීවි. ඒත් 1817 ඉඳල ම අප සටන් කරල තියෙන්නෙ මේ රාජ්‍යය වෙනස් කරන්න. ඉංගිරිිසි ගැති නිවටයන් ඒ රාජ්‍යයේ පොඩි පොඩි කොටස්කරුවන් වෙන්න දඟලන්න ඇති. තවමත් ඔවුන් බටහිරයන්ගෙ නියෝජිතයන් ලෙස කටයුතු කරනවා ඇති. ඒත් සිංහල බෞද්ධයනට එහෙම අවශ්‍යතාවක් නැහැ.

1956 දි අපට සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටුවා ගන්න ඕන වුනා. මිනිසුන්ට ආණ්ඩුව රාජ්‍යය කියන දෙකේ වෙනස තේරෙන්නෙ නැතිව ඇති. ඒත් ඔවුන් ඒ ආණ්ඩුවට කිවුවෙ අපේ ආණ්ඩුව කියලා. ඒ කියමනේ ලොකු වැදගත් කමක් තියෙනවා. ඔවුන් හිතුවෙ ඒක අපේ රාජ්‍යයක් කියලා. ඒත් ඒක ඇත්තටම  අපේ ආණ්ඩුවක් පමණයි. 1956 සිට අප කර ඇත්තේ සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම නොව විටින් විට ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයේ අපේ ආණ්ඩු පිහිටුවීම පමණයි. මහින්ද රාජපක්‍ෂගෙ නායකත්වයෙනුත් අප පිහිටුවා ගත්තේත් තවත් අපේ ආණ්ඩුවක් පමණයි.

මේ දෙමළ රාජ්‍යයක් ලංකාවේ තබා ලෝකයේ කොහේවත් තිබී නැහැ. අද දකුණු ඉන්දියාව නමින් හඳුන්වන ප්‍රදේශයේ චෝළ, පාණ්ඩ්‍ය, චේර, පල්ලව ආදී රාජ්‍ය තිබිල තියෙනවා. ඒවා වාංශික රාජ්‍ය. ඒ එකක්වත් දෙමළ රාජ්‍යයක් නොවෙයි.  නොවෙයි. මේ ප්‍රදේශයේ දෙමළ කතාකරන ජනයා ඉඳලා තියෙනවා. ඒකෙන් කියැවෙන්නේ නැහැ එහි කිසිම තැනක දෙමළ ප්‍රදේශයක්වත් දෙමළ රාජ්‍යයක්වත් තිබූ බවක්. දෙමළ ජාතියක් කොහොමටවත් තිබිලා නැහැ. සරුංගල් ඇරපු සුනිල් ආරියරත්න දෙමළ බෞද්ධයන් ගැන පොතක් ලියලා තියෙනවා. ආරියරත්න සංකල්ප කියන්නෙ මොනවද කියලා තේරෙන අයකු නොවෙයි. විග්නේස්වරන් කියන දෙමළ ජාතිවාදියා නම් පහුගිය දිනෙක ආරියරත්නගෙ දෙමළ බෞද්ධයෝ පොත තමන්ගෙ දෙමළ රාජ්‍යය යුක්තියුක්ත කරන්න යොදාගෙන ති2යනවා. සරුංගල් පාවෙන්නෙ කොයි අතට ද කියන එක පැහැදිලියි.

දෙමළ කතාකරන බෞද්ධයන් කාංචිපුරම් ආදී ප්‍රදේශවල ඉන්න ඇති. ඒත් ඒකෙන් කියැවෙන්නෙ නැහැ දෙමළ බෞද්ධයන් හිටපු බවක්. ඔය කියන කාලෙටත් පෙර ඉඳලා විවිධ ප්‍රදේශවල සංස්කෘත කතාකරන බෞද්ධයන් ඉඳලා තියෙනවා. මහායාන බුද්ධාගම ඉතා වැඩි හරියක් තියෙන්නෙ සංස්කෘත භාෂවෙන්. ඒත් සංස්කෘත බෞද්ධයන් හිටියයි කියලා කවුරුන් හරි කිවුවොත් අපි එයා ගැන මොකද කියන්නෙ. කියන්නෙ නැති වුනත් මොකද හිතන්නෙ. මේ සිංහල අපගෙ රටයි කියන ගීතය ගායනා නොකර සිංහල ගීතවලින් මුදල් හම්බකරන අය ගැන පිටරට ගිහින් ඒ රටවල ඉන්න සිංහලයන්ට පමණක් ගීත ගයන අය ගැන කවර කතා ද?

සංස්කෘත බෞද්ධයන් ලෝකයේ හිටියෙ නැතිව වගේ ම පාලි බෞද්ධයන් කියලා ජනතාවකුත් ලෝකයේ ඉඳලා නැහැ.  මිහිඳු මහා රහතන් වහන්සෙගෙ කාලෙ ඉඳලා තිබුණු සිංහල අටුවා බුද්ධඝෝෂ හාමුදුරුවන් ඇතුළු පිරිසක් පාලියට පරිවර්තනය කරපු බව ඇත්ත. ඒව මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය කියන රටවලට ගිය එකත් ඇත්ත. චීනයේ මියන්මාරයට කිට්ටු ප්‍රදේශයක අදත් පාලි බුද්ධාගම පවතින එකත් ඇත්ත. ඒත් ඉන්නෙ බුරුම බෞද්ධයන්, තායි බෞද්ධයන්, ආදීන් මිස පාලි බෞද්ධයන් නොවෙයි. ඔවුන් ථෙරවාදී බෞද්ධයන් කියා හැඳින්වූ පමණින්වත් ඔවුන් තායි බෞද්ධකම ආදිය ඉක්මවූ ජාතිකත්වයකට හරි අවශ්‍ය නම් ඊනියා ජාත්‍යන්තරත්වයකට හරි පත්වෙන්නෙත් නැහැ.



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 18