නිස්සංක සහ උදීශාන් සිය පාසල් ජය ටැඹ කරා මෙහෙයවයි

442
U19 Schools Cricket

2016/17 වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ වාර්තා වූ ප්‍රථම ‘ද්විත්ව ශතකය’ තම නාමය ඉදිරියෙන් සනිටුහන් කරගන්නට දකුණත් පිතිකරු පැතුම් නිස්සංක අද (14) සමත් විය. ඒ අනුව ඔහු ක්‍රීඩා කරන ඉසිපතන විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය අද දින පැවති තරග වලදී පහසු ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

පසුගිය ලිපි: පැතුම් නිස්සංක ඉසිපතනය ඔසවා තබයි

ඉසිපතන විද්‍යාලය හා රාජගිරිය ජනාධිපති විද්‍යාලය අතර තරගය

කෝල්ට්ස් පිටියේදී ඉසිපතන හා රාජගිරිය ජනාධිපති විද්‍යාලය එකිනෙකා මුණ ගැසුණු අතර එහිදී නිස්සංක විසින් නොදැවී වාර්තා කරන ලද අනර්ඝ ලකුණු 205 හේතුවෙන් ඔහු ක්‍රීඩා කරන ඉසිපතන විද්‍යාලයට ඉනිමක සහ එක් ලකුණක පහසු ජයක් හිමිවිය.

අද උදෑසන තරගය ආරම්භ කරන විට නොදැවී ලකුණු 192ක් රැස් කරගෙන සිටි නිස්සංක තවත් ලකුණු 13ක් තම ගිණුමට එක්කර ගැනීමෙන් පසු ඉසිපතන කණ්ඩායම සිය ඉනිම අත් හිටුවන ලදී. ඒ වන විට ඉසිපතන ලකුණු පුවරුව පන්දුවාර 60ක් තුලදී ලකුණු 319ට කඩුලු 5ක් වශයෙන් දැක්විණි. ප්‍රථම ඉනිමේ දී ලකුණු 145කට සියල්ලන්ම දැවී ගිය ජනාධිපති විද්‍යාලය, දෙවැනි ඉනිමේදී යම් තරමක සටනක් ලබාදෙමින් ලකුණු 173ක් රැස් කරගන්නා ලදී. ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රශංසනීය සටනක නියැලුණු හිරුණ සිගේරා ලකුණු 86ක් වාර්තා කරන ලදී. පන්දු යැවීමේදී ඉසිපතන කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනා වන මධුශික සඳරුවන් සහ ලහිරු ඩිල්ශාන් අතරේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ කඩුලු 6ක් බෙදී ගියේය.

ජනාධිපති විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 145 (පන්දුවාර 41.5)

හිරුණ සිගේරා 35, ශලක බණ්ඩාර 30, මොහොමඩ් රිෆාස් 22, මධුශික සඳරුවන් 4/30, නෙරන්ජන් වන්නිආරච්චි 3/33, ලහිරු ඩිල්ශාන් 2/30.

ඉසිපතන විද්‍යාලය – කඩුලු 5ට ලකුණු 319 (පන්දුවාර 60)

පැතුම් නිස්සංක 205*, සංජුල බණ්ඩාර 31*, හේෂාන් ෆර්නෑන්ඩු 25, කලණ පෙරේරා 22, තනුල චමෝද් 2/79

ජනාධිපති විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 66)

හිරුණ සිගේරා 86, ලහිරු ඩිල්ශාන් 4/31, මධුශික සඳරුවන් 2/57.


රිච්මන්ඩ් විද්‍යාලය හා කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ඉනිමකින් සහ ලකුණු 68කින් ජය ගන්නට රිච්මන්ඩ් ක්‍රීඩකයින් සමත් විය. ශ්‍රී ලංකා 19න් පහළ වේග පන්දු යවන ක්‍රීඩක තිලංග උදීශාන් තරගය පුරාවට සුපිරි දස්කම් දක්වමින් ශාන්ත මරියා විද්‍යාලයේ කඩුලු 10ක් බිඳ හෙලන්නට සමත්විය.

උදීශාන් ඉනිම දෙකේදීම කඩුලු 5 බැගින් බිඳ හෙලුවේ ශාන්ත මරියා ප්‍රථම ඉනිම ලකුණු 91කටත්, දෙවැනි ඉනිම ලකුණු 89කටත් සීමා කරමිනි.

ඊයේ දිනයේදී කඩුලු 7කට ලකුණු 201ක් ලෙස සටහන් වුනු රිච්මන්ඩ් ඉනිම කඩුලු 9කට ලකුණු 248ක් දක්වා ඔසවා තබන්නට එම විද්‍යාලයේ දුවීන් සසිඳු සහ රවිශ්ක විජේසිරි වගබලා ගන්නා ලදී. අද දිනයේ රිච්මන්ඩ් ඉනිම අත් හිටුවන විට ඔවුන් දෙදෙනාම අර්ධ ශතක ලබා සිටියහ.

ශාන්ත මරියා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 91 (පන්දුවාර 22.5)

අශාන් සේනාධීර 31, තිලංග උදීශාන් 5/41, ධනංජය ලක්ෂාන් 4/38.

රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 7ට ලකුණු 201 (පන්දුවාර 62)

හසාරු චාමිකර 60, ආදිත්‍ය සිරිවර්ධන 36, රවිශ්ක විජේසිරි 60, දුවීන් සසිඳු 50*, මාස් රහීම් 4/76, තිමිර කුමාර 3/55.

ශාන්ත මරියා විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 89 (පන්දුවාර 20)

මාස් රහීම් 32, තිලංග උදීශාන් 5/20, සඳුන් මෙන්ඩිස් 2/19, ධනංජය ලක්ෂාන් 2/20.


ත්‍රිත්ව විද්‍යාලය හා මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලය අතර තරගය

අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ත්‍රිත්ව විද්‍යාලය හා ශාන්ත සර්වේසස් විද්‍යාලය අතර තරගයේ ප්‍රථම දිනය නිමා වන විට ශාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 6ක් අතැතිව ත්‍රිත්ව විද්‍යාලීය ප්‍රථම ඉනිමට වඩා ලකුණු 111ක් පසුපසින් සිටියි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 188කට සියල්ලන්ම දැවී ගිය අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන සර්වේසස් ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 77ක් රැස් කරගෙන සිටියි. නොදැවී පන්දුවට පහර දෙන තිලාන් ප්‍රශාන් මේ වනවිට රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 47කි.

ත්‍රිත්ව විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 188 (පන්දුවාර 67.1)

හසින්ත ජයසූරිය 58, තිසරු ඩිල්ශාන් 30, ශෙවෝන් ෆර්සිවල් 25, තිලාන් ප්‍රශාන් 2/27, ශශික ඩිල්ශාන් 4/44.

ශාන්ත ශර්වේසස් විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 77 (පන්දුවාර 25)

තිලාන් ප්‍රශාන් 47*, තිසරු ඩිල්ශාන් 2/25.


ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර තරගය

අද දින සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබාගත් අනර්ඝ ශතක දෙක හේතුවෙන් තරගයේ වැඩි වාසිය කල් වේලා ඇතුවම තම පාසලට හිමිකර දීමට ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉශේන් පෙරේරා සහ මන්තිල විජේරත්න සමත් විය. ඉශේන් සිය ලකුණු 107 පන්දු 132ක් තුලදී ලබාගත් අතර මන්තිල පන්දු 179ක් වැයකරමින් සිය ලකුණු 102 රැස් කරගන්නා ලදී. කඩුලු 7කට ලකුණු 339ක්  ලෙස ලකුණු පුවරුව සටහන් වෙද්දී සිය ඉනිම අත් හිටවූ ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ දිනය නිමා වන විට ධර්මපාල විද්‍යාලයේ කඩුලු 3ක් ලකුණු 40ක් තුලදී බිඳ දැමූහ.

ශාන්ත තෝමස් විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 339 (පන්දුවාර 80.2)

ඉශේන් පෙරේරා 107, මන්තිල විජේරත්න 102, රවිඳු කොඩිතුවක්කු 62, මහිම වීරකෝන් 2/86, චමිඳු සමරසිංහ 2/89.

ධර්මපාල විද්‍යාලය – කඩුලු 3ක් දැවී ලකුණු 40 (පන්දුවාර 12)

දිනුර ගුණවර්ධන 2/12.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට