I am not really busy; just disorganized...

බොහොම දවසකින් බැරි උනා බ්ලොග් එක තියනවද කියලවත් බලන්න. "වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ..." පහුගිය දිනවල ගොඩක් වැඩ තිබුනා... ඒත් සමහර වැඩ අතපසු වෙන්නෙ කාර්ය බහුලත්වය නිසාමද? මට මතක් වෙනව කොහෙ හරි කාර්යාලයක තිබිල මගෙ සිත් ගත් කියමනක්... I am not really busy, just disorganized. අකැමැත්තෙන් හරි පිලිගන්න වෙනව ඕක තමයි ඇත්ත. එක වෙලාවකට මට හිතෙනව මමත් ගෙදර ඉඳල වැඩ නොකර කාර්යාලයක වැඩ කලානම් මාව මීට වඩා කාර්යක්ෂම වෙයිද කියලත්. ඒත් මමම හොඳාකාරව දන්නව ඒක නිකම් පුහු සිතුවිල්ලක් විතරයි. කරන්න බැරි හින්දනෙ කරපු කාර්යාල ‍රැකියාවල් සේරම දමල ගහල ගෙදර ආවෙ. මට අද අහම්බෙන් හමුවුනා මගෙ පරණ දින පොතක කෑල්ලක්. ඒකෙ එක දිනයක තිබුන විශේෂ සටහනක් මේ...

"පසුගිය මාසයක කාලය පිළිබඳව විශේෂ සටහනක් තැබීමට තරම් යමක් නැත. සුපුරුදු පරිදි පදිංචිය වෙනස් කල නමුදු ජීවිතය එතරම් වෙනස් වී නැත. එහෙත් මා ....ට ආ පසුව මගේ ජීවන රටාව පෙරට වඩා සුලු වශයෙන් හෝ එක් පිළිවෙලකට හැඩ ගැසී ඇති බවක් මට දැනේ. අයාලේ ඇවිදීම වෙනුවට එක තැනකට වී සිටීම කොතරම් හොඳද? එහෙත් අනිත් අතට බලන විට මගේ ජීවිතයට වඩාත් ගැලපෙන්නේ අයාලේ ඇවිදීමමය..."

මීට අවුරුදු විස්සකට විතර ඉස්සර ලියපු සටහනක් ඒ. දැන් මම අයාලෙ තියා කොහොමටත් ඇවිදින්නෙ නෑ. මම වැඩියෙන්ම කැමති ගෙදරට වෙලා ඉන්න. ඒත් ඒ දින සටහන සහ මාස දෙකකට ආසන්න කාලයක ලියා තිබූ සටහන් කියවන කොට මට දැනුන මගෙ මනෝ කාය ශරීරයෙන් ඉවත් වෙලා ඒ යුගයට, ඒ පරිසරයට ආපහු යනව වගේ... මගෙ පරන දිනපොත් දැන් නෑ. නැති වුන එකත් හොඳයි...

No comments:

Post a Comment