Main Logo

Monday 12 September 2016

වේළුසුමන දෙමළ වීම

වේළුසුමන දෙමළ වීම

පසුගිය දා මා හමුවීමට එක් තරුණයකු පැමිණියා. ඔහු පැමිණියේ ඔහුගේ ඥාති සහෝදරයකුත් සමග. ඔවුන් දෙදෙනා සමග බොහෝ වෙලාවක් කතාකිරීමෙන් පසුව මා වටහාගත් දෙයක් තිබුණා. අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ මා ලියු දෙයින් අංශු මාත්‍රයක්වත් සමාජගත වී නැති බව. මා හිතන විධියට මා ලියන්නට පටන්ගෙන ඇත්තේ ඒ තරුණයා ඉපදීමටත් පෙර. මේ  කාලයෙහි මා ලියා ඇති ලිපි සංඛ්‍යාව පන්දහසකට වැඩි මිසක් අඩුවන්න බැහැ. මේ සියල්ල මට නැවත ලිවීමට බැහැ. ලිවුවත් ඒ සමාජගත වන්නේ නැහැ.

මේ මුහුණුපොත් පිටුවට දක්වන ප්‍රතිචාරවලිනුත් පැහැදිලි වන්නේ මා කියා ඇති දේ සමාජගත වී නැති බවයි. මා ඒ ප්‍රතිචාරවලට ප්‍රති ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒත් බොහෝ දෙනාට මා කියන්නේ
මොකක් ද කියන එක පැහැදිලි නැහැ. මගේ ශෛලියත් ඔවුන්ට දිරවා ගන්න බැහැ. මා ලියන්නේ බණ ශෛලියෙන්. හාමුදුරුවන් බණ කියන්නේ පාසලේ පාඩමක් කියා දෙන ආකාරයට නොවෙයි. අර ඉංගිරිසියෙන් කියන ෆෝකස් කිරිල්ල නැත්නම් නාභිගත කිරීම බණෙහි සිද්ධ වන්නේ නැහැ. කතාව තුළ අතුරු කතා තව තවත් අතුරු කතා කියැවෙනවා. බොහෝ විට බටහිරයන්ට අනුව නම් විසිරිච්ච ගතියක් තියෙන්නෙ.

ඒ ඒ අය බණ දේශනාවෙන් අහුල ගන්නෙ තමන්ට කැමති අතුරු කතා. හරය තේරුම් ගන්නේ ටික දෙනයි. මගේ ලිපිවලත් හරය තේරුම් ගන්නේ නැහැ. බුදුදහම ඊනියා නූතනත්වයට යටවීම පිළිබඳ ලිපියට ලියූ ප්‍රතිචාරවලින් ඒ බව වඩාත් ම පැහැදිලි වුනා. බුදුදහම විතරක් නොවෙයි හැම දෙයක් ම නූතනත්වයට යටවෙලා. ලිපි ලිවීමේ දී නාභිගත විය යුතුය කියන්නෙත් නූතනත්වයට යටවෙලා. අතුරු කතාවලින් හරය දැනගැනීමට බාධාවක් විය යුතු නැහැ. ඒත් වත්මන් නූතනත්වයට යටවෙච්ච සමාජයෙ අතුරු කතා කියන්නෙ අතුරු කතාවලට පමණයි. පැරණි සමාජයේ අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධ කරගැනීමටත් අතුරු කතාවලින් පුළුවන් වී තිබෙනවා.

ඒත් වත්මන් සමාජයට දෙමළ ජනයාගේ ප්‍රශ්නය මොකක් ද කියන එක තාමත් තේරුම් කර දීමට බැහැ. සිංහල ජාතිකවාදීන් ද  බොහෝ දෙනා තවමත් හිතන්නේ ප්‍රශ්නය ඇතිවුනේ පනස්හයෙන් පස්සෙ කියලා. එය සම්පූර්ණයෙන් ම වැරදි කතාවක්. අවුරුදු විසිපහකට විතර ඉස්සර ලිවුව ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙහි මේවා හොඳට විස්තර කරලා තියෙනවා. ප්‍රශ්නයේ මුල ලන්දේසි කාලයට  හා දෙමළ ජාතිවාදී දේශපාලනයේ මුල දහනවවැනි සියවසේ ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම දක්වා යන බව තවමත් ජාතික ව්‍යාපාරයේ කිසිවකු පිළිගන්නා බවක් මා කියවා හෝ අසා හෝ නැහැ. මා එහි දී වැරදි කියාත් කවුරුවත් කියන්නේත් නැහැ. ඒවා ප්‍රතිචාර දැක්වීමටවත්  සුදුසු නොවන විකාර කතා බව ඔවුන් අදඅහස් කරනවා වෙන්න පුළුවන්. ඒත් දෙමළ ජාතිවාදයට හේතුව පනස්හය කියලා කියනවා නම් එක් අතකින් දෙමළ ජාතිවාදය යුක්තියුක්ත කිරීමක් ද ඉන් සිදුවෙනවා.

අර තරුණයාට තම රැකියාවේ ස්වභාවය අනුව දෙමළ මිතුරන් ද සිටිනවා. ඒ දෙමළ මිතුරන් ඔහුට කියා ඇත්තේ සිංහලයන් දෙමළ ජනයාගෙන් පැවත එන බවත් දෙමළ භාෂාවෙන් සිංහල භාෂාව බිඳී ඇති බවත් එහි දී පාලි වචන එකතු වීම සිංහල භාෂාවේ පරිණාමයට බලපා ඇති බවත්. දැන් ඒක එහෙම නොවෙයි කියලා මට කියලා දෙන්න මේ පිටුවේ ප්‍රතිචාර දක්වාවි. මේ කතාවලට පිළිතුරු දීල දශක දෙකකට වැඩියි. මේ පිටුවට ප්‍රතිචාර දක්වන්නෙ මා මේවා ගැන කිසිම දෙයක් කරලා නැති කිසිම දෙයක් නොදන්න අයකු ලෙස සලකා. බොහෝ දෙනා උත්සාහ කරන්නේ නැහැ ඒ පරණ ලිපි සොයාගෙන කියවන්න. ගූගල් කරලා මගේ ලිපි හොයාගන්න බැහැ.ගූගල් කරාම නම් හිතෙනවා ඇත්තේ මා මුකුත් ම ලියලා නැහැයි කියන එක. අද අපි ඉන්නෙ ගුගල් ලෝකයක. අපේ දැනුම තීරණය කරන්නෙ ගුගල්. මේක ගූගල් ප්‍රජාතන්ත්‍රවාදයක්.

අර දෙමළ මිතුරන් අහලා තියෙන එක ප්‍රශ්නයක් තමයි වේළුසුමන දෙමළ නේ ද කියන එක. ඒ තරුණයා මේ ප්‍රශ්න මට යොමු කරන විට මට කණගාටුවක් වගේ ම කෝපයක් ඇති වුණා. මා සෝවාන් වෙලාවත් නැති නිසා මේ හැඟීම් මට එන එක ගැන දොස් කියන්න ඕන නැහැ. එතකොට වේළුසුමනගෙ සුමනත් දෙමළ ද? මේ ප්‍රශ්න සියල්ලට ම අප පිළිතුරු දී තිබිය දී මේ තරුණයාට තම දෙමළ මිතුරන්ට මුහුණ දීමට නොහැකි වී ඇත්තේ ඇයි? මා බැරිම තැන ඒ තරුණයාගෙන් ඇහුව වේළුවනාරාමය පූජා කෙළෙත් දෙමළ ජනවර්ගියකු ද කියා. වේළු කියන්නෙ පාළියෙන් නුග. අදත් වේළුවනාඑරාමයට ගියොත් දැක ගන්න පුළුවන් නුග වනයක්. මා ඒ දවස්වල වේළුසුමනට සිංහල නමකුත් දාලා තිබුණා. වේළුසුමන කියන්නෙ පාළියට පරිවර්තනය වෙච්ච නමක්. ඔහුගෙ සිංහල නම නුගසමන් වෙන්න පුළුවන්. ඕන්නම් නුග සෙවනේ සමන් වෙන්න පුළුවන්.

මේ තත්වයට අපට ලබාදෙන බටහිර අධ්‍යාපනයත් වගකියන්න ඕන. ඒ වගේ ම මේ කතා සමාජගත නොකිරීමට ඉටාගෙන ඉන්න ජාතිකවාදීන් ද වගකියන්න ඕන. මා ඒ ගැන වැඩි දුර කතා කරන්නෙ නැහැ. ඒත් ඔබට ම හිතාගන්න සුළු කරුණක් කියන්නම්. මා ලියන ලිපි ජාතිකවාදී වෙබ් අඩවිවල ඉතාමත් අවම වශයෙන් උපුටා ගැනෙන්නේ ඇයි. අපේ සංවාද අඩවිය වැනි අඩවි තවත් නැත්තේ ඇයි?  

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 12