Main Logo

Tuesday 6 September 2016

මෛත්‍රිපාලට අද හෙට ම ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්

මෛත්‍රිපාලට අද හෙට ම ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්

මළවුන්ගේ අවුරුදු දා සැමරීමට ඊනියා ශී ල නි පක්‍ෂයේ සාමාජිකයන් පමණක් පැමිණි බවට ආරංචියක් නැහැ. මා කියන්නේ වේදිකාවේ සිටි කබීර් හෂීම් ආදීන් ගැන පමණක් නොවෙයි. මේ ඊනියා සම්මේලනවල පක්‍ෂ සාමාජිකත්වය පරීක්‍ෂා කර භූමියට ඇතුල් කරගැනීමේ ක්‍රමයක් තියෙනවා ද? කවුරුන් මළවුන්ගේ අවුරුදුදා සැමරීමට ආවත් නැතත් මෛත්‍රිපාල හොඳ ප්‍රකාශයක් කර තිබුණා. ඔහුට අනුව මේ මරා දැමුණු පක්‍ෂය තනියම ආණ්ඩුවක් හදන්න යනවා. මෙය මළවුන්ගේ අවුරුදු දා අවතාරයක් දැකීමෙන් කියන ලද්දක් ද යන්න පැහැදිලි නැහැ.

ජීවත්ව සිටියදීත් තනියම ආණ්ඩුවක් හදන්න බැරිවුණු පක්‍ෂයක් මැරුණට පස්සෙ ඒක කරන්නේ කොහොමද කියන එක නම් ප්‍රශ්නයක්. පනස්හයේ බලයට පත්වුනෙ ශ්‍රී ල නි පක්‍ෂය නොව සංධානයක් වූ මහජන එක්සත් පෙරමුණයි. බණ්ඩාරනායක මැතිණියත් විවිධ සභාග ආණ්ඩු හැදුවා මිසක් තනිකර ශ්‍රී ල නි ප ආණ්ඩුවක් හැදුවේ නැහැ. චන්ද්‍රිකා හැදුවෙත් මහින්ද හැදුවෙත් හවල් ආණ්ඩු. 1947 ඉඳලා හැමදාමත් හදලා තියෙන්නෙ හවුල් ආණ්ඩු. ඩඩ්ලිගෙ එක ආණ්ඩුවකට කිවුවෙ හත්හවුල කියලා.

දැන් බලාගෙන යනකොට මෛත්‍රිපාල තරම් හපනෙක් දේශපාලනයෙ ඉඳලා නැහැ. ඔහු තමා ම මරා දැමූ පක්‍ෂයකින් තනියම ආණ්ඩුවක් හදන්න යනවා. මේ ප්‍රකාශය මහින්දට විතරක් නොවෙයි රනිල්ටත් විරුද්ධව කළ එකක්. මේ ඊනියා ජාතික ආණ්ඩුව අද පවත්වගෙන යන්නෙ බොහොම අමාරුවෙන්. ඒ තරමට ආණ්ඩුවෙ ප්‍රශ්න. ඒ ප්‍රශ්නය මෛත්‍රිපාල රනිල් අර්බුදයක් ලෙසත් මතුවෙනවා. මේ ඊනියා ජාතික ආණ්ඩුව දහනවවැනි සංශෝධනයේ චචන හරඹයකින් බිහිවුණු එ ජා පක්‍ෂය ප්‍රධාන ආණ්ඩුවක්. ඒකෙ නායකයා රනිල්. මෛත්‍රිපාලට තව දුරටත් ඒක ඉවසන්න බැහැ. ඔහු දැන් අවුරුද්දයි මාස අටක් විධායක ජනාධිපතිකම කරලා තියෙනවා. ජනාධිපතිට තියෙන බලතල ඔහු දැන් ප්‍රායෝගිකව ම දන්නවා. ඒත් කරුමෙක මහත තීිරණ ගන්නෙ රනිල්.
දැන් ඔය හදන්න යන ආණ්ඩුවෙ ජනාධිපති කවු ද? ඒ ආණ්ඩුව හදන්නෙ විධායක ජනාධිපති ධුරය තියාගෙන ද? මෛත්‍රිපාල ඒ ආණ්ඩුවෙ කවු ද? ඔහු ජනාධිපති ද අගමැති ද? එහෙමත් නැත්නම් ඇමතිවරයෙක් පමණ ද? පිටරටක තානාපතිවරයකු වෙනව ද? එහෙම වුනොත් ඒ රටේ ඉන්න දෙමළ ත්‍රස්තවාදීන්ගෙන් ගුටි කන්න වේවි ද? මෛත්‍රිපාල ඒ වගේ ප්‍රශ්නවලටත් උත්තර දුන්න නම් කාටත් හොඳයි. අඩුම තරමෙන් රනිල්ට හොඳයි. රනිලුත් බලාගෙන ඉන්නෙ කවද හරි ජනාධිපති වෙන්න. අද තියන විධියට නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන මහින්දට විතරයි කියලා හිතෙන්නෙ. ඒ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔහුට යම් කොන්දේසි පනවලා තියෙන නිසා. චන්ද්‍රිකාටත් ඒ කොන්දේසි බලපානව වුනත් ඇයට විමුක්ති ජනාධිපති කිරීමේ සිහිනය තියෙනවා. මහින්දට වගේ නොවෙයි ඇයට අගමැතිනිය  වෙනනවත් බැහැ.   

මෛත්‍රිපාල ඒ දවස්වල නම් කිය කිය හිටියෙ තමා ජනාධිපති වුනෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා. ඔය නව ව්‍යවස්ථා කතන්දරේ මංගලට ම භාරදිලා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පමණක් ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න මෛත්‍රිපාලට පුළුවන් ද? ආණ්ඩු හදන වැඩේ පැත්තකින් තියලා අඩුම තරමෙන් ඒ වැඩේ කරන්න. මහින්දත් ඒකට සහාය දෙවි. ඒ්ත් ඒකාබද්ධ විපක්‍ෂෙ හැමෝම සහාය දේවි ද කියලා කියන්න බැහැ. ඒකෙ සමහරුන්ට මේ දවස්වල තියෙන වැදගත් ම වැඩේ පළාත් සභාවල සමගාමී ලැයිස්තුව අයින් කරන එක. ඒකාබද්ධ විපක්‍ෂෙ සමහරුන් එතන ඉන්නෙ තමන්ට රනිල් ඇමතිකම් නුදුන් නිසා මිස රටට වැඩක් කිරීමට නොවෙයි.

දැන් මෛත්‍රිපාල ආණ්ඩුවක් හදන්නෙ මේ ආණ්ඩුවේ කාලෙ ඉවර වුනාම ද? මේ ආණ්ඩුවෙ කාලෙ ඒ කියන්නෙ යහපාලන ඒරාෂ්ටකේ තව මාස කිහිපයකින් ගෙවෙන්න ඕන. කලින් එකඟ වුනෙ අවුරුදු දෙකකට යහපාලනය ඇතිකරන්න. දැන් ඔවුන් දහනවවැනි ව්‍යවස්ථා සංශො ්ධනයෙ එල්ලිලා 2020 වෙනකන් ඉන්නයි කල්පනාව. මෛත්‍රිපාලට එහෙම ඉන්න කාටවත් බලකරන්න බැුහැ. අවුරුදු දෙකෙන් එකඟතාව ඉවරයි. මෛත්‍රිපාලට තියෙන්නෙ 2020 වෙනකන් ඉන්නෙ නැතිව 2017 ජනවාරි නවවැනිදාම ඔය ආණ්ඩුව පිහිටුවන එක. ඒක කරන හැටි අප කාලෙක ඉඳලම කියනවා. ඒත් ජනමාධ්‍ය ඒකට ප්‍රචාරයක් දුන්නෙ නැහැ. ඔවුන්ට අනුව අපට අළෙවිකරන්න පුළුවන් අදහස් නැහැ. අප කියා සිටියෙ මහින්ද අගමැති කරන ලෙසයි. රනිල් අගමැති කරපු විධියට ම මෛත්‍රිපාලට මහින්ද අගමැති කරන්න පුළුවන්. ඒකට පාර්ලිමේන්තුවෙ ඡන්දයක් තියලා වැඩිය සහාය තියෙන්න කාටද කියලා හොයලා බලන්න ඕන නැහැ. රනිල් පත්කෙරුවෙ එහෙම ඡන්දයක් තියල නොවෙයි.

රනිල් පත්කෙරුව ක්‍රමයට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂෙ උදවියත් මුකුත් කෙළේ් නැහැ. ඒක දැන් නීිතියෙන් කොහොම වෙතත් සම්ප්‍රදායෙන් තහවුරු වෙලා. මෛත්‍රිපාලට තමාගෙම පූූර්වාදර්ශයක් තියෙනවා. 2020 වෙනකන් බලන් ඉන්නෙ නැතිව අද හෙට ම මහින්ද අගමැති හැටියට පත්කරල ඔය කියන ආණ්ඩුව පිහිටුවන්න. අර පිලිපීනෙ නව ජනාධිපති ඔබාමාට සුනඛ පුත්‍ර කතාවක් කියලා. මෛත්‍රිපාල එහෙම කියන්නෙ නැහැ. ඔහු හොඳ ගොවියකුගෙ හොඳ පුතෙක්. ඒත් ගොවියා පුත් මහෞෂධ කෙනෙකු නම් නොවෙයි. ඔහුගෙ පියා සේවය කරල තියෙන්නෙ ඉංගිරිසි හමුදාවට.


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා

2016 සැප්තැම්බර් 06