අවසන් පූර්ව අවසන් ස්ථානය නාලන්දාවට

286
u15 Cricket Holly Cross vs Nalanda College 2nd day match report

සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහල පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ, අවසන් ස්ථානය වෙන් කරගන්නට කොළඹ නාලන්ද විද්‍යාලය සමත් විය. ඒ කළුතර සිරි කුරුස විදුහල සමග පැවති අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රසාද ලකුණු අනුව ජය ගනිමිනුයි.

පසුගිය ලිපි: පිත්තේ වැඩ පෙන්වූ දිනයක්

හොරණ ශ්‍රීපාලි විද්‍යාල ක්‍රීඩාංගනයේ ඊයේ ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ සිරිකුරුස විද්‍යාල කණ්ඩායමයි. ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර ඔවුන් පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249කි.

සිරිකුරුස විද්‍යාලයේ පළමු ඉනිම ගොඩනැගුනේ ශිරාන් ෆොන්සේකාගේ අගනා ඉනිම කේන්ද්‍ර කර ගනිමිනුයි. ඔහු ලකුණු 92ක් රැස් කරන ලදී.

ඊට අමතරව උමයංග සුවාරිස්ගෙන් සහ පැතුම් දර්ශනගෙන්ද, ඔවුන්ගේ පළමු ඉනිමට ඉහල දායකත්වයක් හිමි විය.

පිතිකරුවන්ගේ පාලනයට නතුවූ තරගයක පන්දුවෙන් දස්කම් දැක්වූ ජිතේෂ් වාසල කඩුලු 4ක් දවා ගන්නට සමත් විය. අශේන් වලිසුන්දර කඩුලු 2ක් බිඳ හෙලන ලදී.

සිරිකුරුස ක්‍රීඩකයන් ගොඩනැගූ පළමු ඉනිමේ ඉලක්කයට ප්‍රබල පිළිතුරක් ලබා දීම ආරම්භ කළ නාලන්ද ක්‍රීඩකයන් ඊයේ  දිනයට තරගය නතර කරන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 53ක් ලබා සිටියේය.

ඊයේ ලකුණු 48ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටි අවිශ්ක පෙරේරා අද දිනයේදී තම ලකුණු සංඛ්‍යාව 63 දක්වා ඉහල දමා ගන්නට සමත් විය. රවීන් ද සිල්වා නොදැවී ලකුණු 81ක් ලබා ගත්තේ නාලන්ද කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙන යාමේ මෙහෙයුමට අද දිනයේ නායකත්වය සපයමිනුයි. රෂාන් දිසානායක ලකුණු 36ක් ලබා ගන්නා ලදී.

අයහපත් කාලගුණය නිසා අද දිනයේ ක්‍රියාත්මක කිරීමට හැකිවුණේ පන්දුවාර 64.5ක් පමණයි. තරගය නතර කරන විට නාලන්ද ක්‍රීඩකයන් තවත් කඩුලු 3ක් අතැතිව ලකුණු 248ක් ලබා සිටියේ සිරිකුරුස පළමු ඉනිමට වඩා එක් ලකුණක් පමණක් පසුපසින් සිටිමින්.

මේ අනුව ප්‍රසාද ලකුණු ලබා දීමේ ක්‍රමවේදය උපයෝගී කරගනිමින් විනිසුරුවන් තීරණය කලේ නාලන්ද විද්‍යාලය තරග ජයග්‍රාහකයන් සේ සලකා ඉදිරි වටයට යාමේ අවස්තාව ලබා දීමටයි.

ලකුණු පුවරුව –

කළුතර සිරිකුරුස විදුහල – පළමු ඉනිම – සියල්ලන් දැවී – 249 (72.4) ශිරාන් ෆොන්සේකා – 92, උමයංග සුවාරිස් – 44, පැතුම් දර්ශන – 38, ජිතේෂ් වාසල – 4/38, අශේන් වලිසුන්දර – 2/18

කොළඹ නාලන්ද විදුහල – පළමු ඉනිම – 248/7 (80.5)  – රවීන් ද සිල්වා – 81*, අවිශ්ක පෙරේරා – 63, රෂාන් දිසානායක – 36, උමයංග සුවාරිස් – 2/32, රුතිල අකලංක –  2/71, විහඟ ගුණරත්න – 2/79

ප්‍රසාද ලකුණු අනුව නාලන්ද විද්‍යාලයට ජය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට