සාන්ත සෙබස්තියන් අවසන් තරඟයට

1596
St. Sebastian College

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය අද (29) කොළඹ මුවර්ස් පිටියේදී කොළඹ ආනන්ද විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්විණි. මෙම තරඟයෙන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 17ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

පසුගිය ලිපි: ශා. තෝමස් කණ්ඩායමත් අවසන් පූර්ව වටයට

කාසියේ වාසිය දිනාගත් සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ඒ අනුව සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් පිටියට පැමිණි නිශාන්ත අභිලාශ් හා ලහිරු ප්‍රනාන්දු පළමු කඩුල්ල සඳහා ලකුණු 20ක සබඳතාවයක් ගොඩනංවන ලදි. එම සබඳතාවය අවසන් වූයේ ලහිරු එක් 6 පහරක් සමඟ ලකුණු 8කට දැවීයාමත් සමගිනි. සෙබස්තියන් විද්‍යාලීය ලකුණු පුවරුවේ සවිය වැඩි කල හොඳම සබඳතාවය ලෙස, තෙවන කඩුල්ල සඳහා නුවනිදු ප්‍රනාන්දු හා ප්‍රවීන් කුරේ ලකුණු 62ක සබඳතාවය දැක්විය හැකිය. එම සබඳතාවය බිද දමමින් නුවනිදු 4 පහරවල් 8ක් සමඟ ලකුණු 52ක් ලබා සිටියදී දැවීයන ලදි.

ලකුණු 162කට කඩුලු 7ක් ලෙස විටෙක තිබූ සෙබස්තියන් ලකුණු පුවරුව යළිත් පණගන්වා ගනිමින් 8 වන කඩුල්ල සඳහා ගිහාන් සේනානායක හා ටශික පෙරේරා ලකුණු 50ක සබඳතාවයක් ගොඩනංවන ලදි. ගිහාන් 4 පහරවල් 3ක් හා දැවැන්ත 6 පහරවල් 5ක් සමඟ පන්දු 40කදී වේගවත් ලකුණු 54* ලබාගැනීමට සමත් විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 254-08 (50) ගිහාන් සේනානායක 54*, නුවනිදු ප්‍රනාන්දු 52, තරැෂ ප්‍රනාන්දු 51, නිශාන්ත අභිලාෂ් 35, අසේල සිගේරා 4/18, චානක ධනුක 3/60

ලකුණු 255ක දැවැන්ත හා අභියෝගාත්මක ලකුණක් හඹායාමට පිටියට පැමිණි ආනන්ද විද්‍යාලයේ පිතිකරුවන්ට ජයග්‍රහණය සඳහා දායකත්වය ලබාදිය හැකි කිසිදු සබඳතාවයක් ගොඩනැංවීමට සෙබස්තියන් ක්‍රීඩකයින් ඉඩනොදුන් අතර ඔවුන් මනා පාලනයකින් යුතුව තම පන්දුකරණය සිදු කරන ලදි.

තරමක් හෝ ගෞරවාන්විත ඉණිමක් ආනන්ද විද්‍යාලය වෙනුවෙන් දියත් කිරීමට දුශාන් හෙට්ටිගේ සමත් වූ අතර ඔහු 4 පහරවල් 6ක් සමඟ ලකුණු 50ක් තම කණ්ඩායමේ ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දස්කම් දක්වමින් දුශාන්ට නොදෙවෙනි ඉණිමක් දියත් කරමින්, ලකුණු 49ක් ලබා සිටි සිගේරා තම අර්ධ ශතකයට තවත් එක් ලකුණක් පමණක් ලබාගැනීමට ඉතිරිව තිබියදී අවාසනාවන්ත ලෙස ගියේ  තරගයේ කැපී පෙණන ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

ආනන්ද විද්‍යාලය – 237-10 (49.1) දුශාන් හෙට්ටිගේ 50, අසේල සිගේරා 49, දිනුජ රණසිංහ 3/41

අවසානයේ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 17ක ජයග්‍රහණයක් ලබාගනිමින් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරඟය පසුගිය 27 වනදා කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබුණද එම තරඟය නොවැළැක්විය හේතුවක් නිසා කල්ගිය අතර එම තරඟය හෙට (30) කොළඹ මුවර්ස් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට