Main Logo

Monday 29 August 2016

මළවුන්ගේ අවුරුදුදා


මළවුන්ගේ අවුරුදුදා

ශ්‍රී ල නි ප මියගියේ ඒ ආප්ප රාත්‍රියෙහි ය. එනම් දැනට අවුරුදු දෙකකට පමණ පෙර ය. හෙට අනිද්දා පැවැත්තෙන ශ්‍රී ල නි ප සම්මේලනයක් ගැන ප්‍රවෘත්ති පළවෙනවා. දැන් සංවත්සර පවත්වන්නට ශ්‍රී ල නි පක්‍ෂයක් නැහැ. කුරුණෑගල දී පැවැත්වෙන්නේ මළවුන්ගේ  අවුරුදු දා සැමරුමකි. එදිනට එයට  සහභාගි වනු ඇත්තේ දේශපාලන වශයෙන් මියගිය අය හා ඇතැම් විට එ ජා ප භූතාත්ම ය. මළවුන් සැමරීම සඳහා කළයුත්තේ මතක බණක් කීම දානයක් දීමයි. රනිල් ලවාම මතක බණක් කියවා ගන්න පුළුවන්. ඔහුට ඒ සඳහා මාතෘකා ගණනාවක් ම තිබෙනවා.. රාජපක්‍ෂ රෙජිමය, හොරකම්, වයි ෆයි, ෆෝක්ස්වාගන්, මෛත්‍රිපාලයන්ගේ ක්‍රිකට් ජය ආදිය මගේ මතකයට එනවා. මා කතාකරන්නේ මහා බැංකු හොරකම හා ඕස්ටේ‍ර්ලියානු හොරකම් ගැන විතරක් නොවෙයි. ශ්‍රී ල නි ප ලේකම් ඉස්සීම, බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම් නැතිකිරීම,  සිංගප්පුරු වසන්තය, එට්කා ගිවිසුම, එෆ්සීඅයිඩී නාඩගම, මාමයි බෑණයි වගේ මාතෘකා බර ගණනක් රනිල්ට තිබෙනවා. දානය දෙන්නේ කාට ද කියන එක මහජනයාට තීරණය කරන්න දෙන එක හොඳයි.

බණ්ඩාරනායක මහතා 1951 දී ශ්‍රී ල නි ප ආරම්භ කෙළේ එ ජා පක්‍ෂයෙන්් අස්වෙලා. 2014 දි මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂය මරා දැම්මෙ එ ජා පක්‍ෂයත් එක්ක එකතුවෙලා. එංගලන්ත ප්‍රධාන බටහිර ඔත්තු සේවා හා ඉන්දියාවේ රෝ ඔත්තු සේවය කළ කාර්යය දැනගන්න තවත් විකිලීක්ස් අවශ්‍ය වෙනවා. ශ්‍රී ල නි පක්‍ෂය මරා දැම්මෙ ජාතිකත්වයත් මරාදාන්න. ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යය නැතිකිරීම ඒකෙ ප්‍රධාන ම කාර්යයක් වුනා. මෙරට පඬියන් ද එයට එකතුකර ගත්තා. ඒත් ඔවුන් හිතන්නෙ තමන් තමයි සිංහල බෞද්ධ ආධිපත්‍යය පරාජය කෙළේ කියලා. ඒකට ඕන්නම් ඔවුන්ට කියන්න පුළුවන් අලින්නෙ අපේ වැඩ කියලා. ඒත් ඔවුන්ට සිංහල බෞද්ධ ජාතිකත්වය නැතිකිරීමට හැකි වුනේ නැහැ.

අද වන විට සිංහල කතෝලිකයනුත් විශාල ප්‍රමාණයකට සිංහල බෞද්ධයන් හා එක්වෙමින් සිටිනවා. සිංහල ජාතිකත්වයක ප්‍රබෝධයක් නැවතත් ඇති වී. මොනයම් හේතුවක් නිසා නමුත් කාදිනල්තුමාත් බුද්ධාගම ගැන කතාකරනවා. ඊනියා අනාගමික රාජ්‍යයකට විරුද්ධ වෙනවා. එතුමාට විරුද්ධව කතෝලික පඬියන් ප්‍රකාශයක් කර තිබුණා. මේ පඬියන් ඊනියා අනාගමික රාජ්‍යයකට පක්‍ෂ ද? ඔවුන් වතිකානුවත් අනාගමික රාජ්‍යයක් කරනවා ද?  ඇ එ රාජ්‍යයන් ද ආගමික රාජ්‍යයක් බව පැහැදිලියි. එය ඇංග්ලිකන් ක්‍රිස්තියානි තමයි. පඬියන් එයටත් විරුද්ධ ද?

ඇ එ රාජ්‍යවල පල්ලි යන ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීමක් නැහැ. දැන් නැවතත් පල්ලි යන සංඛ්‍යාව සුළුවෙන් නමුත් ටිකෙන් ටික වැඩි වෙනවා. ළඟ දී පවත්වපු සමීක්‍ෂණයකින් හෙළිදරවු වී ඇත්තේ පල්ලි නොයන්නන් ද එසේ නොයන්නේ අනාගමිකත්වයක් නිසා නොව සංවිධාන අපහසුකම් හා පල්ලි කළමනාකරණය පිළිබඳ ඇති අසතුට නිසා බව. මේ සමීක්‍ෂණ ඇතැම්විට ප්‍රතිඵලය බලාගෙන කරන ඒවා වන බවත් පැහැදිලියි. ඒත් මේ ජනතාව අප හිතනවා ට වඩා ආගමික ජනතාවක්. කොහොමටත් රාජ්‍යයක් ලෙස ගත්විට ඇ එ රාජ්‍ය ආගමිකයි. සියළු වර්ගවල පඬියන් ඒකට විරුද්ධ ද?

මියගිය ශ්‍රී ල නි පක්‍ෂය වෙනුවට ජාතිකත්වය මත පදනම් වූ සංවිධානයක් අවශ්‍යයයි. එයින් කියැවෙන්නේ ඒ සංවිධානය සිංහල බෞද්ධයන්ගේ පමණක් සංවිධානයක් විය යුතු ය කියන එක නො වෙයි. සිංහල කතෝලික, දෙමළ, මුස්ලිම් සියළු ජනතාව එවැනි සංවිධානයක සිටිය හැකියි. එහෙත් ඒ සියළු දෙනා එක් කරුණක් ගැන එකඟ වෙන්න ඕන. ඒ මෙරට විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ බව. අද ලෝකය ලෙස ගත්කල ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආධිපත්‍යයට යටවෙලා. පඬියන් ඒකට විරුද්ධ නැහැ. ඔවුන් ඒ ආධිත්‍යයේ වහලුන්. ඔවුන් එයට සේවය කරනවා.

මළවුන්ගේ අවුරුදු දා සැමරුමට කුරුණෑගල යන අය ගැන අප සැලකිලිමත් විය යුතු නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිවකුත් එහි යා යුතුත් නැහැ. එහි ගියේ නැහැයි කියලා දුමින්ද දිසානායකට කරන්න පුළුවන් දේකුත් නැහැ දුමින්ද වෙනුවට එස් බී හරි වෙන කවුරු හරි දිසානායක කෙනෙක් පත්කළත් මළවුන්ට පණ දෙන්න බැහැ.



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා

2016 අගෝස්තු 29