Sunday, August 28, 2016

ජයන්ති කුරුඋතුම්පාල - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සන්නාම තානාපතිනි




















සිහින දකින්න. ඒවා සැබෑවන තුරුම උත්සාහය අත නොහරින්න

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සන්නාම තානාපතිනි

ජයන්ති කුරුඋතුම්පාල

 කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් ඔබ වෙත “කාන්තා අයිතීන් සුරැකීම” පිළිබඳ තෙවසරක සන්නාම තානාපති පදවියක් පිරිනමා තිබෙනවා. එවරස්ට් කඳු මුදුන තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වන ඔබ කාන්තා අයිතීන් සුරැකීම පිළිබඳ මේ අභියෝගය බාර ගන්නේ කොහොමද?
එය මට එතරම් ලොකු අභියෝගයක් නොවෙයි. ඒ, මා කාන්තා අයිතිවාසිකම් උදෙසා දිගු කාලයක පටන් කටයුතු කරමින් සිටි නිසා. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දුරලන්නට පුරා වසර 33ක් මුළුල්ලේ කාන්තා ක්‍රියාකාරිනියක් ලෙස මා කටයුතු කර තිබෙනවා.
 ඒ කොහොමද?
මා රැකියාව ආරම්භ කළේ කාන්තාව හා මාධ්‍ය සාමූහකයේ පර්යේෂණ සහායිකාවක ලෙසයි. ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහ්තමිය විසින් සිදු කළ කම්කරු නීතිය කාන්තාවන්ට බලපාන ආකාරය පිළිබඳ පර්යේෂණයකට මා සහාය වුණා. එයින් මාස හයකට පසු මට ඒ ආයතනයේ ම වැඩසටහන් නිලධාරිනියක ලෙස රැකියාව ලැබුණා. එහිදී මගේ විෂය ක්ෂේත්‍රය වුණේ කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය. අනතුරුව කෙය­ාර් සංවිධානයේ ස්ත්‍රි පුරුෂ සමාජ භාවය පිළිබඳ විශේෂඥ වරියක ලෙස කටයුතු කළා. කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය දුරු කිරීම හා අවම කිරීම සඳහා එදා සිට අද දක්වා පුරා වසර 33 ක්ම මා විවිධ වැඩසටහන් රාශියකට දායක වී තිබෙනවා.
 කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ඔබ අර්ථ දක්වන්නේ කොහොමද?
කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය යනු ස්ත්‍රි - පුරුෂ ලිංගිකත්වය හා සමාජ භාවය අනුව ස්ත්‍රීන්ට වෙනස් කොට සැලකීමයි. කාන්තාවත් පිරිමියා හා සමාන අයිතිවාසිකම් ඇති මනුෂ්‍යයෙකුය යන සංකල්පය වෙනුවට ස්ත්‍රියට වඩා පුරුෂයා උසස්ය යන සමාජ සංකල්පයෙහි පිහිටා කටයුතු කිරීමෙන් කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ආරම්භ වෙනවා.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට හේතු වන්නේ සමාජයේ ස්ථාපිත ආදර්ශයි. මේවා දරුවකුගේ උපතේ පටන් ම ඇරැඹෙන මතවාද. පිරිමි සහ ගැහැනු දරුවන් දෙදෙනකු වෙනස් වන්නේ ඔවුන්ගේ ශාරීරික ලිංගික අයවයවලින් පමණයි. ඒත් අපි දරුවා ඉපදෙන්නටත් පෙර සිටම ගෑනු දරුවන්ට රෝස පාට, පිරිමි දරුවන්ට නිල්පාට යනුවෙන් වෙන් කරනවා.
ගෑනු දරුවන්ට දෙන්නේ බෝනික්කෝ. සෙල්ලම් ගෙදරදිත් ගැහැනු දරුවා ගෙදර අම්මා. බෝනික්කන් නළවන්නයි උයන්නයි පිහන්නයි සෙල්ලමේදිත් ඇයට උරුම වෙන්නේ. ගැහැනු දරුවන්ට තෑගි දෙන්නෙත් ටී සෙට්, ඉවුම් පිහුම් උපකරණ, වළං මුට්ටි. පිරිමි ළමයින්ට හැම විටම දෙන්නේ බැට් - බෝල, කඩු - දුනු - ඊතල, තුවක්කු, කාර් වැනි සෙල්ලම් බඩු.
ගැහැනු ළමයින්ට කියන්නේ ‘උඩ පනින්න එපා. කෑගහන්න එපා. දඟලන්න එපා. එළියට යන්න එපා. කොල්ලා වගේ හැසිරෙන්න එපා කියලායි.” පිරිමි ළමයින්ට මේ කිසි නීතියක් නෑ. කැමට බීමට ගියත් එහෙමයි. “අයියා කාලා ඉවර වුණාම කන්න, මල්ලිට ලොකු කෑල්ල දෙන්න” කියමින් පුංචි කාලේ පටන්ම ගැහැනු දරුවාට වෙනස් කොට සලකනවා.
ඉගෙනගන්න ගියත් “පුතා හොඳට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙන්න. ඉංජිනේරුවෙක් වෙන්න” කියනවා. කෙල්ලෙක් නම් “ඉගෙන නොගත්තත් මොකද? දෑවැද්දක් දීලා හොඳ කෙනෙකුට කසාද බන්දලා දෙන එකනේ තියෙන්නේ” කියලා, ඇගේ අයිතිය සීමා කරනවා. කාන්තාවට එරෙහි හිංසනයේ ඇරැඹුම එයයි. ප්‍රචණ්ඩත්වය ඇරැඹෙන්නේ එතැනින්. එය නතර කළ යුත්තේත් පුංචි කාලේ පටන්ම යැයි මා සිතනවා. ප්‍රචණ්ඩත්වය විවිධාකාරයි. එය නිවෙසේදී, පාසලේදී, කාර්යාලයේදී, මහමගදී, බස්රථයේදී හෝ සමාජයේ ඕනෑම තැනකදී සිදු වෙන්න පුළුවන්.
 මේ තත්ත්වය මර්ධනය කරන්නට හෝ වළක්වා ලන්නට කළ යුත්තේ කුමක් යැයි ඔබ සිතනවාද?
ඒ සඳහා සමාජය දැනුවත් කළ යුතුයි. පිරිමින් උසස් යැයි සිතන පීතෘ මූලික, අධිරාජ්‍යවාදී අදහස් හා මතවාද බැහැර කළ යුතුයි. කාන්තාවන්ටත්, ගැහැනු දරුවාටත් පිරිමින්ට හා සමාන බුද්ධි මට්ටමක්, හැකියාවක් හා අපේක්ෂා තිබෙනවා. ඒවා ඉෂ්ට කරගන්න, හැකියාවෙන් පල නෙළා ගන්න ඇයටත් සමාන අයිතියක් තිබෙනවා. ඒ අයිතිය භුක්ති විඳින්නට අපි ඇයට සමාන ඉඩක් ලබා දිය යුතුයි.
 ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මර්ධනය සඳහා ඔබ ආමන්ත්‍රණය කරන්නේ සමාජයේ කවර කණ්ඩායම්වලටද?
ස්ත්‍රීන් මෙන් ම පුරුෂයන් ද අපි දැනුවත් කරනවා. මේ සඳහා ජාති ආගම් හෝ පන්ති භේද නෑ. හැම සමාජ ස්ථරයකම කතුන් හිංසනයට ලක් වෙනවා. පාසල් ළමයින් හා විශේෂයෙන් ම යෞවනයන් දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව කරගෙන යනවා. එහිදී අපි කාන්තාවන්ට සමව සලකන ආකාරය, ඔවුන්ටත් පිරිමින්ට වගේම ආසාවන් හැකියාවන් හා අයිතීන් ඇති බව, පාසල් දරුවන්ට යෞවනයන්ට හා පිරිමින්ට අපි කියා දෙනවා. කාන්තාවන්ට සමව සලකන්න අපි දරුවන්ට පුරුදු කළ යුත්තේ කුඩා කාලයේ පටන්මයි. හොඳ පුතෙක්, සැමියෙක් හා තාත්තා කෙනෙක් වන්නේ කෙසේදැයි අපි ඔවුන්ට කියා දෙනවා.
පිරිමිකම කියන්නේ ගැහැනුන්ට ගුටිබැට දීම හෝ ඔවුන් පාලනය කරගෙන සිටීම නොවෙයි. “පිරිමියෙක් වුණාම ගෑනි යටත් කරගන්නට පුළුවන් වෙන්න ඕනෑ.” “ගැහැනියෙක් වුණාම මිනිහාගෙන් බැනුම් ඇහුවාට, ගුටි කෑවට මොකද?” කියන වැරදි ආකල්ප සමාජයෙන් දුරු කරන්න ඕනෑ. පාසල් විෂය මාලාවේ පටන්ම ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය පිළිබඳ සංකල්පය දරුවන්ගේ ඔළුවලට ඇතුළු කළ යුතු බවයි මගේ අදහස.
 නිවෙසින් හා පාසලෙන් සමානාත්මතාව පිළිබඳ අදහස බලගැන්වීමට ඔබට ලැබුණු පිටිවහල කුමක්ද?
මගේ පවුලේ අම්මයි, තාත්තයි, මමයි, අයියයි. මගේ පියා ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු වූ කෙනෙක්. අම්මා මුලින් රැකියාවක නියැලුණත් අප ඉපදුණු පසුව රැකියාවෙන් ඉවත් වුණා. එතැනදීත් මට සිතෙන්නේ අම්මාගේ අයිතිවාසිකමක් අහිමි වූ බවයි. ඇයත් රැකියාවක් කළා නම් ඇයට ආර්ථික වශයෙන් ස්වාධීනත්වයක් ලබාගන්න තිබුණා. ඒත් ඇය පවුල වෙනුවෙන් ඒ කැපවීම කළා.
මගේ පියා තරමක් ස්වාධීන අදහස් දැරූ කෙනෙක්. හැමවිටම මගේ දෙමවුපියන් අයියාටත් මටත් එක සමානව සැලකුවා. අයියා ගස් නගින විට මටත් ගස් නගින්නට උවමනා වුණා. මගේ පියා එයින් මා වැළැක්වීම වෙනුවට කළේ ආරක්ෂාකාරී පියවර තුනකින් සාර්ථකව ගසකට නගනිනේ කොහොමදැයි මට කියා දීමයි. එවැනි පුංචි පුංචි පාඩම් එවරස්ට් කන්ද තරණය කිරීමේ ජයග්‍රහණය දක්වාම මා රැගෙන ගියා යැයි මට සිතෙනවා.
එමෙන්ම මා උගත් පාසල වූ බිෂොප්ස් විද්‍යාලයේදීත් මට අවශ්‍ය ක්‍රීඩාවක් කරන්නට, කොණ්ඩය කොටට කපන්නට, කැමති දෙයක් කරන්නට උපරිම නිදහසක් ලැබුණා. ඒ නිදහස මගේ ජීවිතෙය් දුටු සිහින සැබෑ කරගන්නට මට බොහෝ උපකාරී වුණා.
 එවරස්ට් කඳු තරණය ඔබ කුඩා වියේ පටන් දුටු සිහිනයක් ද?
එවරස්ට් කන්ද නගිනවා යැයි කුඩා ම කාලේ හිතට ආවෙ නැතත්, ලෝකේ ඉහළම තැනකට නැගීමේ ආසාව මා තුළ මුල පටන්ම තිබුණා. මා ඉංග්‍රිසි සාහිත්‍ය පිළිබඳ උපාධිය හැදෑරීමට ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයට ඇතුල් වූවාට පසු එවරස්ට් තරණය පිළිබඳ සිහිනය පිළිබඳ මුල්ම අදහස හිතට නැඟුණා.
 ඒ කොහොමද?
දිනක් මගේ ආචාර්යතුමියගේ මේසය මත හිම කඳු තරණය කරන්නකුගේ ඡායාරූපයක් තිබෙනු මා දුටුවා. ඒ ඡායාරූපයෙහි වූයේ ලෝකයේ ප්‍රථම වතාවට 1953දි එවරස්ට් කන්ද තරණය කළ ටෙන්සිං නෝර්ගේ සහ එඩ්මන්ඩ් හිලරිගේ ඡායාරූපයක්. මේ ඡායාරූපය දුටු මා තුළ කවරදා හෝ හිම කන්දක් තරණය කරන්නට ඇත්නම්” යන සිතිවිල්ල ඇති වුණා. මේ පිළිබඳ මා ආචාර්යතුමියගෙන් වැඩි විස්තර අසා ගත්තා. ඒ වන විට ටෙන්සිං නෝර්ගේ පුතා සිම්ලා හි සිකිං ප්‍රාන්තයේ හිම කඳු නැඟීම පුහුණු කිරීමේ පාසලක් අරඹා තිබුණා. මගේ ප්‍රථම උපාධියෙන් පසු අමාරුවෙන් මුදල් ඉතිරි කරගත් මා ඒ පුහුණු කඳවුරෙන් මාසයක් හිම කඳු නැඟීමේ පුහුණු පාඨමාලාවක් හැදෑරුවා. ඉන්දීය හමුදාව මඟින් පවත්වන ලද ඒ පුහුණු පාඨමාලාව ඉතා අසීරු එකක්. ඒ මගින් මට හිම කඳු නැගීම පමණක් නොවෙයි; ගල්කඳු නැඟීම, කඳු නැඟීමේදී මුහුණ පෑමට සිදු වන අනතුරුවලින් වළකින ආකාරය, ආගාධවල නොවැටී හිම කුණාටුවලින් බේරී, ඉහළට නඟින විට ඔක්සිජන් වායුව අඩු වන විට නොමැරී බේරෙන ආකාරය වැනි බොහෝ දේ ඉගෙනගන්න හැකි වුණා. අවුරුදු 24 වන විට මම ඒ ආයාතනයෙන්ම උසස් පුහුණු පාඨමාලාවක් හදාරා විශිෂ්ට සාමාර්ථයක් හිමිකර ගත්තා.
 ඔබේ අරමුණ කරා ළඟා වීමට අධ්‍යාපනයෙන් ලැබුණු පිටිවහල කවරාකාරද?
අරමුණු ජය ගැනීමට අධ්‍යාපනය හැම අතින් ම උපකාරී වෙනවා. මම ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ එංගලන්තයේ සසෙක්ස් විද්‍යාලයෙන් පශ්චාද් උපාධියක් ලබා ගත්තා. අධ්‍යාපනික හෝ වෘත්තීය අංශයෙන් හෝ කවර ආකාරයකට විදෙස්ගත වුණත් පුංචි ඉඩකඩක් හෝ ලබාගෙන ඒ ඒ රටවල තිබෙන කඳු නගින්නට මා අවස්ථාව ලබා ගන්නවා. ලංකාවේදිත් විනෝද ගමනක් ගියත් ඒ පළාතේ තියෙන කන්දක් නගින්නට යෑම මගේ පුරුද්දක්. අධ්‍යාපනයෙන් මා ලද පරිචය මගේ සිහිනය සැබෑ කරගන්න විශාල රුකුලක් වුණා.
 ඔබේ අධ්‍යාපනික ක්ෂේත්‍රය, වෘත්තිය හා විනෝදාංශ එකිනෙකට පරස්පර විරෝධීයි. ඒ ඇයි?
ඒ මගේ තේරීමයි. මගේ කැමැත්තයි! කාන්තාවන්ට ‍එරෙහි ප්‍රචණ්ඩත්වය හා හිංසනයට මා කවදත් විරුද්ධයි. පුංචි කාලෙ සිටම මා සිතුවේ ගෑනු ළමයින්ටත් පිරිමි ළමයින්ටත් සමාන අයිතිවාසිකම් හා සමාජයේ සමතැන හිමි විය යුතු බවයි. රැකියාවකට යොමු වීමේදී මා වඩාත් සැලකිලිමත් වුණේ අධ්‍යාපන සුදුසුකම්වලට වඩා මා කැමැති ක්ෂේත්‍රයට අදාළ රැකියාවක් තෝරාගැනීමටයි. මගේ රැකියා ස්ථානයෙන් ඒ අරමුණ ඉෂ්ට වුණා පමණක් නොවෙයි; උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යන්නටත් මට ඔවුන් මඟ පෙන්වූවා. එය විශාල අවස්ථාවක්. මගේ විනෝදාංශය හා සිහිනය ජය ගන්නටත් එය විශාල රුකුලක් වුණා.
 ඔබ අවිවාහකයි. විවාහය ගැන ඔබේ අදහස කුමක්ද?
කාන්තාවක් විවාහ විය යුතුමයි කියා මා සිතන්නේ නෑ. අවිවාහකව සිටිය යුතුයි කියා සිතන්නේත් නෑ. සමාජය ගැහැනු දැරිය දෙස බලන්නේ ම ඇයට උරුම විවාහය, දරුවන් හැදීම සහ කුස්සිය පමණකැයි යන අදහස පෙරදැරි කරගෙනයි. ඒත් පිරිමි ළමයි විවාහ වුණත් නැතත් සමාජයට එතරම් ගැටලුවක් වන්නේ නෑ. මේ ආකල්පවලට මම විරුද්ධයි. ගැහැනියටත් අවශ්‍ය නම් විවාහ වෙන්න හෝ අවිවාහකව සිටීමට අයිතියක් තිබෙනවා.
මා තවම විවාහයකට ඇතුළත් නොවුණේ මගේ ජීවිතයේ අරමුණු හා ඉලක්ක විවාහයෙන් ඔබ්බට ගිය ඒවා වූ නිසයි. යොවුන් වියේදි මගේ අවධානය යොමු වුණේ අධ්‍යාපන කටයුතු වෙත පමණයි. ඉන්පසු කඳු නැඟීමේ සිහිනය සැබෑ කර ගැනීමට. විවාහයක අවශ්‍යතාවක් මට ඒ වන විට දැනුණේ නෑ. සමහරවිට මට විවාහ වෙන්නට හිතුණොත් ඉදිරියේදී විවාහ වෙන්නට ඉඩ තිබෙනවා. විවාහ නොවනවා යැයි මා තීරණය කර නෑ.
 ඔබ කාන්තාවන්ගේ ජීවිතය ජය ගන්නට, සිහින සැබෑ කරගන්නට ඔවුන්ට ලබා දෙන පණිවුඩය කුමක්ද?
සිහින දකින්න. ඒ සිහිනය ඔබගේ මිස සමාජය සතු වූවක් ‍නොවේ. එහෙයින් සිහිනය ඉටු කරගන්නා තුරු සමාජයෙන් එල්ල වන ඇනුම්, බැනුම්, අපහාස, අපවාද ඊට බාධාවක් කර නොගන්න. තමාගේ අරමුණ කරා ළඟාවීමට අවශ්‍ය අධ්‍යාපනය, කුසලතා සහ උත්සාහය දිනෙන් දින වර්ධනය කරගන්න. ඔ‍බේ සිහිනය ගුවන් යානාවක් පදවන්නද? පෙදරේරු කටයුතුවල නිරත වෙන්නටද? රියැදුරකු වන්නටද? ඒවා පිරිමින්ට අයිති රැකියාය යන සමාජ ආකල්පයට බිය වී උත්සාහය හා අභිලාශය අතහැර දමන්න එපා. ඒ සඳහා අවශ්‍ය දැනුම පුහුණුව හා හැකියාවන් වර්ධනය කරගන්න. පාසල් දියණියක් නම් අධ්‍යාපනයට මුල් තැන දෙන්න. අධ්‍යාපන සුදුසුකම් සමඟම ඔබේ කුසලතා හඳුනාගෙන ඒවා වර්ධනය කර ගන්න. දිරියෙන් හා සතුටින් අභියෝගවලට මුහුණ දෙන්න. එවිට ඔබට ජයගත නොහැකි අරමුණක් මෙලොව නැත. මම එය ක්‍රියාවෙන් පසක් කොට සිටින්නෙමි. ඔබට ද එය කළ හැකිය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි