ඔස්‌ට්‍රේලියාව සමග පැවැති දෙවැනි එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් ලකුණු 82ක ජයක්‌ ලැබු ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යෑවීමක නිරත වු අමිල අපොන්සු අත්දැකීම් පිරි පළපුරුදු ක්‍රීඩකයෙක්‌ වගේ යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසයි.

පසුගිය ලිපි: විනය කැඩූ තිසරට දඩ – ස්ටාක්ට අවවාද

අමිල අපොන්සු මෙම තරගයේ දහ වැනි පන්දු ඕවරය යෑවීමට ශ්‍රී ලංකා නායකයා කැඳවු අතර එහිදී ඔහුගේ පළමු පන්දු ඕවර තුන ලකුණු තුනකට නවතා දමද්දී එක්‌ කඩුල්ලක්‌ දවා ගැනීමට අපොන්සු සමත් විය.

ඇත්තටම අපොන්සු හොඳ පළපුරුද්දක්‌ තියෙන කෙනෙක්‌ විදිහට තමයි තරග දෙකේදීම පන්දු යෑව්වෙ. ඔහු නියම ස්‌ථානයේ පන්දුව පතිත කරමින් ඔස්‌ට්‍රේලියානුවන්ට විශාල තර්ජනයක්‌ එල්ල කළා.” යෑයි ශ්‍රී ලංකා නායකයා කීවේය.

මෙම තරගාවලිය සඳහා අමිල අපොන්සු නම් කරද්දී ඇන්ජලෝ මැතිව්ස්‌ ඔහුව එතරම් දැක නොමැති බවද පැවසීය. එහෙත් අපොන්සු පළමු පෙළ තෙදින තරග 27කදී කඩුලු 111ක්‌ දවා ගැනීමට සමත්ව ඇති අතර ඔහු රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබයි. ශ්‍රී ලංකා සංවර්ධිත කණ්‌ඩායම සමග දකුණු අප්‍රිකාවට ගිය අපොන්සු එහිදී දකුණු අප්‍රිකානු නැගී එන කණ්‌ඩායමට එරෙහිව එක්‌ ඉනිමක කඩුලු අටක්‌ දවා ගැනීමටද සමත් විය. අපොන්සු දෙවැනි එක්‌දින තරගයේදී යවන ලද පන්දු ඕවර 9.2ක තුළදී ලකුණු 18කට කඩුලු හතරක්‌ බිද දැමු අතර ඔහු සහභාගි වු එක්‌දින තරග දෙකේදී කඩුල්ලක්‌ දවා ගැනීමේ දළ ලකුණු සාමාන්‍ය 9.00ක්‌ ලෙස සටහන්වේ.

මේ අතර කණ්‌ඩායමට පැමිණ තිබෙන නවකයන් සියල්ලම ඉතාම හොඳින් දක්‌ෂතා දක්‌වන බවත් කණ්‌ඩායමේ තරගකාරීත්වය ඒ තුළින් ඇතිවී ඇති බවත් මැතිව්ස්‌ පවසයි.

අපිට ඉන්න නවකයන් සියල්ලන්ම හොඳින් දක්‍ෂතා දක්‌වනවා. මේ තරග දෙකේදී ධනංජය ද සිල්වාට එතරම් දක්‍ෂතා දක්‌වන්න බැරි වුණත් ඔහු ඉදිරියේදී හොඳ දෙයක්‌ කරයි කියල මා විශ්වාස කරනවා. ඒ අනූව මෑතකදී පැමිණ සිටින නවකයන් සියලු දෙනාම එක වගේ දක්‍ෂතා දක්‌වනවා.”

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට