Friday, August 26, 2016

ඤාව්වා

පරාක්‍රම පෙරේරා


බොඒ කලේ ගුවන් විදුලි ළමා රංග පීඨය, ගුවන් විදුලි රඟ මඬල කොයි තරම් ජනප්‍රිය ද කියනවා නම් අදටත් මෙම වැඩ සටහන් ගැන එහි ප්‍රචාරය වූ නාට්‍ය සහ චරිත ගැන බොහෝ අය තුළ තිබෙන්නේ හොඳ මතකයක්.
ලන්දේසි දූපත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙද්දී එය නෑසූ කෙනෙක් නැති තරම්. එහි ජිල්ජෝනා වැන්දබෝනා හරිම ජනප්‍රියයි. ඒ විතරක් නෙවෙයි ඔබට මතකද හන්දියේ ගෙදර නවරත්නම්, ඉරිවේරිස් මාමා? මේ ගුවන් විදුලි නාට්‍ය ගැන වගේම රූපවාහිනී කාටුන් හඬ කැවීම් ගැනත් කතා කරද්දී නම් අපට ඔහුගේ නම, ඔහු ඉදිරිපත් කළ චරිත අමතක වන්නේ නෑ.
ඔහු තමයි පරාක්‍රම පෙරේරා. ක්ෂේත්‍රයේ කවුරුත් ඔහුව හඳුනන්නේ, ඔහුට අමතන්නේ ‘පරා’ කියලයි. බොහෝ දෙනෙක් ඔහුව රූපයෙන් හඳුනන්නේ නෑ. නමුත් කට හඬින් ඕනෑම තැනකදී පරාව හඳුනා ගන්න පුළුවන්.
කොහොමද පරා ඔබ ගුවන් විදුලි ජීවිතය පටන් ගත්තේ?
ඉස්කෝලේ යන කාලේදී. ඉස්සර ඉතින් ඉස්කෝලේ (කොළඹ මහාබෝධි විදුහල) ඇරුණු ගමන්ම පුරුද්දට වගේ ගුවන් විදුලියට යනවා. කරු අයියගේ ළමා පිටිය. ඊට පස්සේ මහින්ද අල්ගමගේ ළමා රංග පීඨයට එහෙම සහභාගී වෙනවා. ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි. හැම දෙයක්ම සුන්දර අත්දැකීමක්. ළමා පීඨයේ මා එක්ක සිටිය වැඩි දෙනෙක් අද මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. ඒකම කොයි තරම් සතුටක් ද?
ඒ දවස්වල සමකාලීනයෝ ගැන සඳහන් කළොත්?
නිරංජලා, රෝහණ සිරිවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ගීතා කාන්ති, සමන් ආතාවුදහෙට්ටි, කරුණාතිලක හඳුවල, විජයන්ති මිගෙල්, කුසුම් පීරිස් වැනි කීප දෙනෙක් සිටියා. ඔය අතරතුර ගුවන් විදුලි නිවේදකයින් තෝරන පරික්ෂණයක් තිබුණා. මාත් ඉතින් ලොකු බලාපොරොත්තුවක් අරං ඔය පරීක්ෂණයට ඉදිරිපත් වුණා.
ඔබ ඉහළින්ම සමත් වෙන්නට ඇති?
මොන පිස්සුද ෆේල්.
ඉතින්?
මොනවා කරන්නද මම ඉතින් හිත හදා ගත්තා. නමුත් ඊට පස්සේ මම හිතපු නැති විදිහේ හොඳ අවස්ථාවක් උදා වුණා.එතකොට රූපවාහිනී හඬ කැවීම් පටන් ගන්න යන කාලේ.
ටයිටස් තොටවත්ත මහත්තයා විවිධ හඬවල් හොයමින් ඉඳලා තියෙනවා. ප්‍රේමකීර්ති ද අල්විස්, ටයිටස් තොටවත්ත මහත්තයට මගේ නමත් යෝජනා කරලා තිබුණා. ඊට පස්සේ පවත්වපු හඬ පරීක්ෂණයකින් මාව තෝරා ගත්තා.
රූපවාහිනියේ පැත්කට දමලා තිබුණු වීඩියෝ කැසට් පට කීපයක් ටයිටස් මහත්තයට හම්බ වෙලා. ඒ කැසට් පටි අපේ රටට, අපේ අයට සුදුසු විදිහට දෙබස් ලියලා ඔන්න කාටුන් වැඩ සටහනක් නිර්මාණය කෙරුණා.
ඒ කාලේ දැන් තරම් තාක්ෂණය අතින් දියුණුවක් තිබුණේ නැහැනෙ. මේකට නම තිබ්බේ දොස්තර හොඳ හිත කියලා. හරියට ජනප්‍රිය වුණු කාටුන් එකක්. මේ කාටුන් එකේ දොස්තර හොඳ හිත ගේ චරිතයත්, චව් චව් කියන චරිතයටත් හඬ කැව්වේ මමයි.
රූපවාහිනී කාටුන් අතර වඩාත් ජනප්‍රිය වූ කාටුන් බොහොමයකට පරාක්‍රමගේ හඬ නැතුවම බැරි හඬක් වූ නිසාවෙන්දෝ කාටුන් චරිත වැඩි ප්‍රමාණයකට දායක වීමට ඔහුට අවස්ථාව ලැබී තිබිණි. තාත්ත්වික වූ හඬ කැවීම් තුළින් බොහෝ අය අතරට කාටුන් චරිත සමීප කරවන්නට පරාක්‍රමට තිබුණේ පුදුම හැකියාවකි.
පිස්සු පූසා . . . ඒත් ඔබමයි නේද?
මාව පේන්නේ පිස්සු පූසෙක් වගේද?
ඒ කාටුන් රිතය වඩාත් ජනප්‍රිය වුණේ ඔබේ හඬ නිසයි.
ඔය පිස්සු පූසා කරන්න ඉස්සෙල්ලා ඉතින් ටයිටස් මහත්තයා කථාව ගැන කිව්වා. මේ කතාව ඉතින් පූසෙක්ගේ වටා ගෙතුණු කතාවක්නෙ. කතාව බලලා ඉවර වෙලා ඔන්න ටයිටස් මහත්තයා මට කිව්වා පූසෙක් වගේ ඤාව් ඤාව් කියන්න කියලා. මම ඉතින් ඤාව් ඤාව් කිව්වා. මගේ ඤාව්වට ටයිටස් මහත්තයටත් හරි හිනා. වැඩේ හරි ගියා. මං පිස්සු පූසා වුණා.
මේ පූස් ලොක්කා එහෙමත් නැත්නම් ඤාව්වා චරිතයට අපූර්වතම ජීවයක් ලබා දුන්නේ පරාක්‍රමයි. ‘ඒයි මාළු කට්ටා ලැහැස්ති වෙනවා. අපි දැන් වැඩේ පටාං ගන්ඩයි යන්නේ. ඔන්න පටාං ගන්නවා’.
ඒ අණ දෙන පිස්සු පූසා නැත්නම් පූස් ලොක්කාගේ් දෙබස් අදටත් අපේ මතකයෙන් ඈත් නොවෙයි.
ඔබගේ මේ සුවිශේෂී හැකියාවන් අගැයුමට ලක් වී තිබෙනවාද?
ඔව්. රූපවාහිනී හඬ කැවීම්වලින් විශිෂ්ඨ ශිල්පියාට හිමි සම්මානය මට හිමි වුණා. එය මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්.
මට කිසියම් ගෞරවයක් හිමි වුණා නම් ඒ ගෞරවය මට මේ තැනට එන්නට අත හිත දුන් මට මඟ පෙන්වපු හිතවතුන්ටත් හිමි වෙන්න ඕන. විශේෂයෙන්ම ප්‍රේමකීර්ති ද අල්විස්, මහින්ද අල්ගම, මඩවල එස්. රත්නායක, ප්‍රභා රණතුංග, රූපවාහිනී හඬ කැවීම් අංශයේ අතුල රන්සිරිලාල් මහතාවත් සිහිපත් කළ යුතුමයි. ප්‍රවීණ ගායිකා නන්දා මාලිනීගේ ශ්‍රවණ ආරාධනා ගීත ප්‍රසංගයේ 500 කට ආසන්න වාර ගණනක් කථනයෙන් දායක වුණේ මමයි. එයත් මගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක්.
ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැන දැන ගන්න කැමැතියි.
මම කලංසූරිය ආරච්චිගේ පරාක්‍රම පෙරේරා. මගේ අම්මා තවමත් මාත් එක්ක ඉන්නවා. අම්මාගේ ආශිර්වාදය මට හැමදාමත් ශක්තියක්.
ඒ වගේම මගේ ආදරණීය බිරිඳ අයිරාංගනීගෙන් මගේ කලා කටයුතුවලට ලොකු සහයක් ලැබෙනවා. පුතා දැනට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සහකාර වැඩ සටහන් නිෂ්පාදකවරයෙක්.
ලොකු දුව ශාන්ත මරියා විදුහලෙත්, පොඩි දුව යශෝධරා බාලිකාවේත් ඉගෙනුම ලබනවා. මගේ බලාපොරොත්තුව මගේ දරුවොයි. 0714475212 පරාක්‍රමගේ දුරකථන අංකයයි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි