ටෙස්ට් පිටියේ අංක 01 පාකිස්තානයට

205
Pakistan Cricket Team

අගෝස්තු මස 17 වැනිදා ඔස්ට්‍රේලියාව අභිබවමින් ජගත් ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ මුල් තැනට පත්වූ ඉන්දියාවේ සතුට දින 5කට සීමා කරමින් පාකිස්තානය ඉතිහාසයේ පළමු වරට ලොව අංක එකේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම බවට පත්ව තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පෝට් ඔෆ් ස්පේන් හීදී පැවති අවසන් ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වීම නිසා ඉන්දියාවට මෙම ඉරණම අත්විය.

පසුගිය ලිපි: උත්කර්ශවත් ක්‍රිකට් සම්මාන උළෙල මෙවරත්

කොදෙව් – ඉන්දියා ටෙස්ට් තරගාවලිය ඉන්දියාව ජය ගත්තේ තරග 2-0ක් ලෙසිනි. මේ අනුව ඔවුන්ට ප්‍රසාද ලකුණු 110ක් හිමිව තිබේ. ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ අංක 01 ලෙස දෙරට අතර 4 වන සහ අවසන් ටෙස්ට් තරගයට පිවිසි ඉන්දියාවට සිය ස්ථානය ආරක්ෂා කර ගැනීමට නම් වර්ගීකරණයේ 8 වන ස්ථානයේ පසුවන කොදෙව්වන් එම තරගයෙන් පරාජය කිරීම අනිවාර්ය කරුණක් විය. කෙසේ වෙතත් වර්ෂාවේ බලපෑමත් ආශීර්වාදයක් කරගත් පාකිස්තානය ඉන්දියාවට වඩා එක් ප්‍රසාද ලකුණක් ඉදිරියට යාමට සමත් වූ අතර ඔස්ට්‍රේලියාව මේ වනවිට ඉන්දියාවට වඩා ප්‍රසාද ලකුණු 2ක් පසුපසින් සිටියි.

ඉන්දියාව මෙම තරගාවලියට පිවිසියේ කොදෙව්වන්ට වඩා ප්‍රසාද ලකුණු 44ක් ඉදිරියෙන් සිටීම හේතුවෙන් ඔවුන්ට ප්‍රසාද ලකුණු අඩුවීම වලක්වා ගැනීමට නම් තරගාවලිය තරග 3-0ක් ලෙස හෝ ජය ගත යුතුව තිබුණි. 2-0 ක තරගාවලි ප්‍රතිඵලය හේතුවෙන් ඉන්දියාවට ප්‍රසාද ලකුණු 2ක් අහිමි වූ අතර කොදෙව්වන්ට ලකුණු 2ක් හිමිවිය.

පෝට් ඔෆ් ස්පේන් හීදී වර්ෂාව හමුවේ පරාජය වූ ටෙස්ට් තරගයත් සමග අවසන් වුනේ ලොව ස්ථාන 4කදී සති 6ක් පුරා පැවති ටෙස්ට් තරගාවලි 4ක උණුසුමයි. එම සති හයේ අවසන් දින 5 තුළ ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ පළමු ස්ථානය කණ්ඩායම් 3ක් අතට පත් වීම විශේෂත්වයකි.

අප්‍රිකා මහද්වීපයේදී නවසීලන්තය අතින් සිම්බාබ්වේ කණ්ඩායම තරග 2-0ක් ලෙස පරාජය වෙද්දී, යුරෝපා මහාද්වීපයේදී එංගලන්ත – පාකිස්තානු ටෙස්ට් තරගාවලිය අවසන් වූයේ තරග 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරවයි. උතුරු ඇමරිකා මහාද්වීපය ආසන්නයේ කැරීබියන් දූපත් සමූහය තුල ඉන්දියා – කොදෙව් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ඉන්දියාව ජයගනිද්දී, ආසියානු මහාද්වීපය තුල ශ්‍රී ලංකාව හමුවේ තරග 3-0ක අන්ත පරාජයක් ලබන්නට ඔස්ට්‍රේලියාවට සිදුවිය.

පාකිස්තානය ජගත් ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ පළමු ස්ථානය දිනාගත් ලොව 5 වන කණ්ඩායමයි. 2003 වසරේ මෙම වර්ගීකරණය හඳුන්වාදීමෙන් පසු මෙතෙක් එහි පෙරමුණ ගන්නට සමත්ව සිටියේ ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ ඉන්දියාව පමණි. පාකිස්තානය මෙම වර්ගීකරණයේ 7 වන ස්ථානය දක්වා පහතට වැටුණු අවස්ථා 3ක් ද වසර 13ක ඉතිහාසයේ දක්නට ලැබුණු අතර 2010 වසර මුල් භාගයේද ඔවුන් පසුවූයේ 7 වන ස්ථානයේයි.

කෙසේ වෙතත් මිස්බා උල් හක් නායකත්වය භාර ගැනීමෙන් පසු ක්‍රමයෙන් වර්ගීකරණ ලයිස්තුවේ ඉහලම ස්ථානය දක්වා ස්ථාවර ගමනක යෙදෙන්නට පාකිස්තානයට හැකිවිය. එම දස්කම සිදු කල පළමු පාකිස්තානු ක්‍රිකට් නායකයා බවට පත්වීමෙන් ලැබූ උද්දාමයත් සමග මිස්බා මෙසේ පැවසීය.

“ක්‍රිකට් ක්‍රීඩාවේ මූලාරම්භක සහ වඩාත්ම පිරිසිදු ටෙස්ට් අංශයේ ප්‍රමුඛයන් වීම තරම් සතුටක් කිසිදා අත්විඳින්නට ලැබී නැහැ. ක්‍රීඩකයන් තම ජීවිතය පුරාම වෙහෙස මහන්සියෙන් ක්‍රීඩා කරන්නේ මෙම ස්ථානය දක්වා පැමිණීමටයි. මේ අංක එකේ ස්ථානය අපි වසර ගණනාවක් පුරා සිදු කල සැලසුම් වල සහ ඒවා ජයගන්න දැරූ අපමණ වෙහෙසක ප්‍රතිඵලයක්. ටෙස්ට් කණ්ඩායම් අතර පළමු තැන ගැනීමට ඉතා විශිෂ්ට ගණයේ කණ්ඩායම් සහ ක්‍රීඩකයන් රැසක් පසු කර යාම, අපිට ඉතාමත් ආඩම්බර විය හැකි ජයග්‍රහණයක්.”

”මෙම ස්ථානයට පැමිණීමට අපට සහයදුන් සියල්ලන්ටම ස්තූතිවන්ත වෙනවා. ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට, පරිපාලකයින්ට, වගේම අපේ ක්‍රීඩා ලෝලීන්ටත් විශේෂ ස්තූතියක් හිමි වනවා, ඔවුන් හොඳ කාලයන් වල වගේම නරක කාලයන් වලත් අප සමග සිටීම හේතුවෙන්. මෙම අංක එකේ ස්ථානය අපේ දීර්ඝ ගමනේ එක් සන්ධිස්ථානයක් පමණයි. අපේ දිගු කාලීන ඉලක්කය මෙවන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් මගින් දක්ෂ කණ්ඩායම වලට දිගින් දිගටම අභියෝග කිරීමයි. එමගින් වඩාත්ම ක්‍රීඩාලෝලී ආකර්ෂණයක් ඇති කණ්ඩායමක් බවට පත්වීම අපේ අරමුණයි. එය දිගින් දිගටම පවත්වා ගන්නට හැකිවුවහොත් මෙවන් මල් මාලා අපේ ඉදිරි ගමන පුරාවටම ලැබෙන බව මට විශ්වාසයි” පාකිස්තානු ක්‍රිකට් නායකයා වැඩිදුරටත් පැවසීය.

ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචර්ඩ්සන් මහතා පාකිස්තානු කණ්ඩායමේ මෙම දස්කම පිලිබඳ සුබ පැතුම් එක්කරමින් පැවසුවේ පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ මිස්බා උල් හක්ගේ පාකිස්තානු කණ්ඩායම ක්‍රීඩා කල සටන්කාමී ආකාරය ඔවුන්ට අංක එකේ ටෙස්ට් කණ්ඩායම වීමට මග විවර කල බවයි.‍

”පසුගිය සති කිහිපය තුල පැවති ටෙස්ට් ක්‍රිකට් තරග සියල්ලම ඉතා තරගකාරී සහ ගුණාත්මක බවින් ඉතාම උසස් මට්ටමක පැවතුනා. එමගින් ලොවට පෙන්නුවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන විශේෂත්වය. ඒ වගේම ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ ඉහලම ස්ථානය සඳහා ඇති සටන වඩාත් තියුණු තරගයක් බවට පත්වීම හේතුවෙන් ක්‍රීඩා ලෝලීන්ටත් අපූරු අත්දැකීමක් ලැබෙනවා.”

පාකිස්තානය ලොව ප්‍රමුඛතම ටෙස්ට් කණ්ඩායම බවට පත්වීම සංකේතවත් කරමින් ICC ටෙස්ට් ශූරතා සෙංකෝලය ඔවුන්ට පිරිනැමීමට නියමිතයි. කෙසේවෙතත් එය සිදුකෙරෙන දිනයක් තවම ප්‍රකාශයට පත් කර නැහැ.

මේ අතර පාකිස්තානය තම ස්ථානය රැක ගැනීම සඳහාත් ඉන්දියාව යලි පළමු ස්ථානය දිනා ගැනීම සඳහාත් සැප්තම්බර් සහ ඔක්තෝබර් මාස වලදී සටන් වැදීමට නියමිතයි. නවසීලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරයට මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන කොදෙව් – පාකිස්තානු තරගාවලියටත් ටෙස්ට් ක්‍රිකට් තරග 3 බැගින් ඇතුලත් වෙයි.

අද දිනය වනවිට ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණය

පාකිස්තානය 111
ඉන්දියාව 110 (-2)
ඔස්ට්‍රේලියාව 108
එංගලන්තය 108
නවසීලන්තය 99
ශ්‍රී ලංකාව 95
දකුණු අප්‍රිකාව  92
බ. ඉ. කොදෙව් 67 (+2)
බංග්ලාදේශය 57
සිම්බාබ්වේ 08

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට