ලංකාවත් දකුණු අප්‍රිකාවත් කරට කර සටනක්

474
sri-lanka development vs southn africa emerging 2nd four day-day 2

සංචාරක ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන හා අවසන් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (22) දකුණු අප්‍රිකාවේ පිටෝරියා හිදී පැවැත්විණි. අද දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 98ක් ලබාගන්නා ලදි.

පසුගිය ලිපි: දකුණු අප්‍රිකානුවන් ඉහල තැනක

අද දිනය ආරම්භ කරන විට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම තම පළමු ඉණිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 405ක් ලබාගෙන තිබිණි. ඒ වන විට කැරබෝ මොගොට්සි හා මාර්කස් අකෙර්මාන් නොදැවී ලකුණු 155*ක් හා ලකුණු  91*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටින ලදි.

ඔවුන් දෙදෙනා ගොඩනැංවූ අනගි සබඳතාවය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හා එම පිතිකරුවන් දෙදෙනාටම අමතක නොවන සබඳතාවයක් බව නොඅනුමානය. එම දෙපල ලකුණු 208ක දැවැන්ත සබඳතාවයක් 4 වන කඩුල්ල සඳහා ගොඩනැංවීමට සමත් විය. එම සබඳතාවය නිමාවට පත්කරමින් අකෙර්මාන්ව ලකුණු 156කට දවාලීමට සංජය චතුරංග සමත් විය. ඒ වන විට අකෙර්මාන් 4 පහරවල් 21ක් හා 6 පහරවල් 4කින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සංග්‍රහ කර තිබිණි.

අනතුරුව යලිත් 5වන කඩුල්ල සඳහා පිටියට එක්වූ මොගොට්සි හා පැට්රික් කුරුගර් යළිත් ලකුණු 80ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. විචාරකයන්ගේ මතය අනුව මෙම තණතීරුව පිතිකරණ පාරාදීසයක් බව තව තවත් තහවුරු කිරීමට එම සබඳතාවය ද ඉවහල් විය. කුරුගර් 4 පහරවල් 5ක් හා එක් 6 පහරකින් තම ඉණිම වර්ණවත් කරගනිමින් ලකුණු 53ක් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් දක්ෂ පිතිකරණයක නිරත වූ 21ක් හැවිරිදි  තරුණ ක්‍රීඩක මොගොට්සි ලකුණු 205*ක් නොදැවී ලබාගනිමින්  පුරා පන්දුවාර 123යි පන්දු 2ක් තුල පිටියේ රැදී සිටිමින් කලකට අමතක නොවන විශිෂ්ට ඉණිමක් දියත් කරමින් තම ද්විත්ව ශතකය ලබාගන්නා ලදි.

දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම පළමු ඉණිම – 588-05 dec (123.2) කැරබෝ මොගොට්සි 205*, මාර්කස් අකෙර්මාන් 156, සයිමන් කොහොමාරි 59, පැට්රික් කුරුගර් 53, සංජය චතුරංග 2/95

අනතුරුව තම පළමු ඉණිම දියත් කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 59ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූ අතර එහිදී පබසර වඩුගේ ලකුණු 32කට දවාලමින් එම සබඳතාවය බිදලීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් විය. දෙවන කඩුල්ල සඳහා එෂාන් ලහිරු මිලින්ත හා හෂාන් දුමිදු ලකුණු 39*ක නොබිදුනු සබඳතාවයක් දෙවන දිනය අවසන් වන විට ගොඩනැංවීමට සමත් වූයේ කරට කර තරඟයක පෙර නිමිති පහල කරමිනි.

දෙවන දිනය නිමාවන විට,

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම පළමු ඉණිම – 98-01 (41) පබසර වඩුගේ 32, එෂාන් ලහිරු මිලන්ත 29*, හෂාන් දුමිදු  24*, ටෙශ්පෝ නෙටුයිලි  1/44

හෙට (23) තරගයේ තෙවන දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට