ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව මූලස්ථානය කොළඹට

285
ACC opens their corporate HQ in Sri Lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් සටහන් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) මූලස්ථානය කොළඹ-07, මේට්ලන්ඩ් පෙදෙසේදී අති උත්කර්ෂවත් ලෙස ඊයේ (20) දොරගුළු විවර කරන ලදී.

පසුගිය ලිපි: තර්ස්ටන් විද්‍යාලයට දැවැන්ත ජයක්

මෙම උත්සවය පැවැත්වුනේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට අමතරව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විශේෂ අමුත්තකු ලෙස මෙම අවස්ථාවට එක්ව සිටි අතර ආසියානු ක්‍රිකට් පරිපාලන දැවැන්තයින් රැසක්ද ඊට එක්විය.

ආසියානු ක්‍රිකට් කවුන්සිල මූලස්ථානය එහි ස්ථාවර කාර්යාලය ලෙස ශ්‍රී ලංකාව තෝරාගැනීම සඳහා වත්මන් රජයෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන ලදී. ACC පරිපාලන කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා රජයෙන් ලබා දීමට පොරොන්දුවූ සහන එම මූලස්ථානය මෙරට පිහිටුවීමට ගත් තීරණයට බෙහෙවින් බලපා ඇත.

මෙම නව මූලස්ථානය මගින් රටවල් 25ක් සාමාජිකත්වය දරන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ කේන්ද්‍රස්ථානය මෙන්ම පරිපාලන හදවත බවටත් ශ්‍රී ලංකාව පත්වීම මෙරට ක්‍රීඩාවේ දියුණුවටත් මහත් පිටිවහලක් වනු ඇත.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් ප්‍රධානී සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා උත්සව සභාව අමතමින් මෙසේ පැවසීය.

ආසියානු ක්‍රිකට් කවුන්සිල මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීම මට ඉතාම සතුටක් සහ ආඩම්බරයට කරුණක්. මෙයි ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආකර්ශනීය නව පර්ච්ඡේදයක ආරම්භය වනු ඇත. ඒ වගේම එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන්ද යහපත් ලෙස බලපානු ඇති බව මගේ විශ්වාසයයි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේ අවස්ථාවට එක්වුණු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ආසියානු ක්‍රිකට් පරිපාලකයින් අමතින් පල කලේ මෙවන් අදහසක්.

“ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවට වගේම පරිපාලනයටත් සැඟවුණු දක්ෂතා ඇති පුද්ගලයන් රැසක් සිටින ස්ථානයක්. අපි විශ්වාස කරනවා ACC මූලස්ථානය මෙරට පිහිටුවීම මගින් එම සැඟවුණු දක්ෂතා මතුකර ගැනීමටත් අවස්තාවක් හිමි වන බව.”

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සභාව අමතමින් පැවසුවේ මෙම සුවිශේෂී අවස්ථාවේ පංගුකාරයින් බවට පත් වීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකා රජය මහත් සේ ආඩම්බර වන බවයි. ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය සඳහා, අවශ්‍ය සෑමවිටම සහය ලබාදීමට රජය සූදානම් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය කලාපීය සාමාජික රටවල් වල ක්‍රිකට් පුහුණුව, විනිශ්චය කටයුතු සහ ක්‍රීඩා වෛද්‍ය කටයුතු සංවර්ධනය සඳහා වැඩසටහන් ගණනාවක් මෙහෙයවීම සිදුකරයි. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයාගනු ලබන්නේ ආසියානු කුසලානය ඇතුළු එම කවුන්සිලය මගින් සංවිධාන කරනු ලබන තරගාවලි වලදී රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් ලැබෙන මුදල් ඇතුළු අනුග්‍රාහක මුදල් මගිනුයි. ඒ අනුව ඊට අදාළ සියලු  පරිපාලන කටයුතු මෙතැන් පටන් ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවෙනු ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට