Sunday, August 21, 2016

ලියමන

හිතේ තනියට පාලුවට පොඩි නිවාඩුවකට යන්න කියලා
ලැබුනාම මාසෙම මහන්සිය එනව මැණිකේ නුඹව සොයලා

සින්න වෙන්නට කලින් බේරා ගන්න උගසට තියපුවා
මතක් වෙනවා පුංචි දූ ගෙන එන්න කියලා කියපුවා

අම්මගේ බේතුත් අහවරයි මතක හැටියට මගෙ හිතේ
කඩේ මුදලාලිටත් බේරන්නට ඕනි ගානට සතේ

පුතා ඉල්ලපු වයින් කාර් එක මේ සැරේ මම අරන් එන්නම්
උඹට ලස්සන ගවුම් රෙද්දක් අනිත් පඩියට ගෙනත් දෙන්නම්

රූල් කොලයක් පිරෙන්නට තියනවා වියදම් අඩු නැතී
බෝඩිමේ ගානත් ගෙවන්නට ඕනි මාසෙක හිඟ ඇතී

සුමනෙ ගෙන් ගිය මාසේ ඉල්ලා ගත්තු දාහක් තියනවා
එක්කො මට මේ සැරේ නෑවිත් ඉන්න කියලා හිතෙනවා

අජිය නම් ගම් යනව කිව්වා මේ මාසෙ පඩි පහුවෙලා
උගෙ අතේ එවතැහැකි වියදම්, ඇයි නුඹේ නෙත් තෙත් වෙලා

මමත් හිතකින් නෙමේ නෑවිත් ඉන්න හිතුවේ මේ සැරේ
ගමන් වියදම එකතු කරගෙන එනවමයි ඊලඟ සැරේ

No comments:

Post a Comment