ආනන්දය, ඩී.එස් අභිබවයි

300
Singer Schools u17 cricket Ananda v DS Senanayake College

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය මගින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟයක් අද (19) වත්තල ලයිසියම් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී, කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර පැවැත්විණි. මෙම තරඟයෙන් ආනන්ද විද්‍යාලය ලකුණු 85ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

පසුගිය ලිපි: සාන්ත පීතර විද්‍යාලය අවසන් 4 ට

මෙම තරඟය වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ කාණ්ඩයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරඟය ලෙස පැවැත්විණි. මෙහිදී කාසියේ වාසිය දිනාගත් ආනන්ද විද්‍යාලීය A කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. ආනන්ද විද්‍යාලයේ ලකුණු පුවරුව සවිමත් කිරීමට මුල සිටම ඉවසිල්ලෙන් පන්දුවට පහර දුන් දුශාන් හෙට්ටිගේ ලකුණු 88ක් ලබාගනිමින් විශිෂ්ට ඉණිමක් දියත් කල අතර, එම ඉණිම තාක්ෂණයෙන් සපිරි ඉණිමක් විය.

දුශාන් සමඟ එක්ව හොඳ සබඳතාවයක් පවත්වාගෙන යමින් ආනන්ද විද්‍යාලයේ ලකුණු පුවරුව තවත් සවිමත් කිරීමට ශමල් හිරුෂාන් සමත් විය. ඒ ලකුණු 48ක් තම නම ඉදිරියෙන් සටහන් කරමිනි.

මුදිත ලක්ෂාන් ආනන්ද විද්‍යාලයට එරෙහිව මෙම තරගයේ දී ඩී.‍ එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් දක්ෂ ලෙස පන්දු යවන ලදි. එහිදී ඔහු විසින් ලකුණු 38කට කඩුලු 3ක් දවාලීමට සමත් විය.

ආනන්ද විද්‍යාලීය A කණ්ඩායම – 242-9 (50) දුශාන් හෙට්ටිගේ 88, ශමල් හිරුෂාන් 48,ලහිරු හිරන්‍ය 22 , මුදිත ලක්ෂාන් 3/38

ලකුණු 243ක දැවැන්ත හා අභියෝගාත්මක ලකුණක් හඹා යාමකට පිටියට පිවිසි සේනානායක විද්‍යාලීය පිතිකරුවන්ට සාර්ථක වීමට අත්දැකීම් බහුල අසේල සිගේරා ඇතුළු ආනන්ද විද්‍යාලයේ පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ඔවුන් දක්ෂ ලෙස පන්දු රැකීමේ ද නියැලෙන ලදි. අවසානයේදී ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දස්කම් දැක්වීමට මුදිත ලක්ෂාන් සමත් විය. ඒ පිත්තෙන් ලකුණු 55ක් එක්කිරීමෙනි. නමුත් වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30ක සීමාව පසුකල යාමට නොහැකි වූ අතර ලක්ෂාන් ගේ දක්ෂ ඉණිම සේනානායක ජය තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය.

ඩී. එස්. සේනානායක විද්‍යාලීය A කණ්ඩායම – 157-10 (44.4) මුදිත ලක්ෂාන් 55, දසුන් දිමාශ 26, දිමන්ත කෞෂල්‍ය 24, ඉදුවර රණතුංග 22, අසේල සිගේරා 3/15, ශමල් හිරුෂාන් 2/2, සනත් දසනායක 2/26

අවසානයේ දී ආනන්ද විද්‍යාලය ලකුණු 85ක දැවැන්ත ජයග්‍රහණයක් ඩී. එස්. සේනානායක විද්‍යාලයට එදිරිව ලබාගන්නා ලදි.

මෙම තරඟ වටයේ තෙවන අර්ධ අවසන් පූර්ව තරඟය හෙට (20) කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර කොළඹ සාන්ත පීතර විද්‍යාලය ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට