තිසර, ඩිල්ශාන්, දිල්රුවන් සහ මිලින්ද නැවතත් පිටියට

864
Thisara, Dilshan, Milinda, Dilruwan

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කල 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට, එංගලන්ත තරග සංචාරයට සහභාගී නොවූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම කැඳවා තිබේ. තුන් ඉරියව් ක්‍රීඩකයන් වන මිලින්ද සිරිවර්ධන සහ තිසර පෙරේරාද ඒ අතරට අයත්.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා ජයග්‍රහණය විජයග්‍රහණයක් වෙයි

මෑත කාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම සොයා ගැනීම් අතරට අයත් මිලින්ද එක්දින තරග වලදී ලකුණු 30කට අධික සාමාන්‍යයක් රඳවාගෙන සිටින ක්‍රීඩකයෙක්. ඔහු එංගලන්ත තරග සංචාරයේ එක්දින සහ පන්දුවාර 20 තරග සඳහා යොදා නොගැනීම බොහෝ කතාබහට ලක්වූ මාතෘකාවක් විය. මෙම තරගාවලිය සඳහා පැවති පුහුණු තරග වලදී ඉහල දස්කම් අතර සිටි මිලින්ද යලි කණ්ඩායමේ සිය ස්ථානය වෙන් කරගන්නට සමත්ව තිබේ.

කෙසේ වෙතත් තිසර පෙරේරා නැවත කණ්ඩායමට කැඳවීමට ගත තීරණය තරමක් පුදුම සහගත වන්නේ ඔහු 2015 වසරේ පැවති තරග 19කදී කඩුලු 14ක් පමණක් දවාගෙන තිබීමත්, පිත්තෙන් සැලකිය යුතු දායකත්වයක් ලබාදී නොතිබීමද හේතුවෙනි. ශ්‍රී ලංකා A කණ්ඩායම සමග එංගලන්ත සංචාරයට එක්වුණු තිසර එහිදී දවාගෙන ඇත්තේද කඩුලු 2ක් පමණයි. එසේ තිබියදීත් තේරීම් කමිටුව දසුන් ශානක අභිබවමින් තිසරට තවත් අවස්තාවක් දීමට තීරණය කර ඇත්තේ ඔහුගේ අත්දැකීම් බහුලත්වය පදනම් කරගෙන විය හැකියි.

පෞද්ගලික හේතුවක් මත එංගලන්ත තරග සංචාරයට එක් නොවූ තිලකරත්න ඩිල්ශාන්ද, නැවත කණ්ඩායමට එක්වන්නේ දශක එක හමාරකට අධික තරග අත්දැකීම් සමගයි. කෙසේ වෙතත් නවක ක්‍රීඩකයන් රැසක් දස්කම් අතරට පැමිණීම හේතුවෙන්, මෙම තරගාවලියේදී දක්වන දස්කම් හතලිස් හැවිරිදි ඩිල්ශාන්ගේ ක්‍රිකට් අනාගතය කොයිබටද?, යන්න තීරණය කෙරෙන ප්‍රධාන සාධකයක් බවට පත්වනු ඇති.

මේ අතර 2014 වසරේ තම අවසන් එක්දින තරගයට ක්‍රීඩා කල ඩිල්රුවන් පෙරේරාද නැවත එක්දින සංචිතයේ ස්ථානයක් හිමි කරගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව සමග අවසන්වූ ටෙස්ට් තරගාවලියේ දැක්වූ ඉහල දස්කම් පදනම් කර ගනිමිනුයි. දිල්රුවන් ටෙස්ට් තරගාවලියේදී කඩුලු 15ක් බිඳ හෙලන්නට සමත් විය.

දෙවන වරට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස වැඩ භාරගැනීමෙන් පසු යොවුන් ක්‍රීඩකයන් ජාත්‍යන්තර කරලියට ගෙන ඒම සඳහා විශාල ඉඩකඩක් වෙන් කරන සනත් ජයසුරිය මෙවරද තමන්ගේ එම දර්ශනය ක්‍රියාත්මක කර ඇත්තේ නවකයන් දෙදෙනෙක් සංචිතයට එක් කරමිනුයි.

මේ අනුව එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේදී ශතක 2ක් රැස් කළ අවිශ්ක ප්‍රනාන්දු පළමු වරට ශ්‍රී ලංකා ජාතික සංචිතයක ස්ථානය වෙන් කරගෙන තිබේ. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලෙන් බිහිවූ මෙම  දකුණත් ආරම්භක පිතිකරුවා ට අමතරව එම විදුහලේම හිටපු ක්‍රිකට් නායකයෙක් වන වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සෝද ශ්‍රී ලංකා එක්දින සංචිතයේ දඟ පන්දු බල ඇණියට එක්වන්නේ පළමු වරටයි.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම සමග දකුණු අප්‍රිකානු සංචාරයට එක්වූ අමිල එහිදී පැවති පළමු සිවුදින තරගයේදී කඩුලු 13ක් දවා ගන්නට සමත් විය.

දසුන් ශානකට අමතරව එංගලන්ත සංචාරයේ එක්දින සංචිතයට ඇතුළත්වූ උපුල් තරංග, ෆර්වීස් මහරූෆ්, සුරාජ් රන්දීව් සහ නිරෝෂන් දික්වැල්ල මෙම සංචිතයෙන් ඉවත් කරන්නට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන ඉරිදා (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

 ශ්‍රී ලංකා සංචිතය 

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා , මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, දිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, සුරංග‍ ලක්මාල්, ලක්ෂාන් සඳකැන්, අමිල අපොන්සු, අවිශ්ක ප්‍රනාන්දු

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට