Main Logo

Thursday 18 August 2016

මාලබේට කළ යුත්ත

මාලබේට කළ යුත්ත

ඇතැමුන් පෞද්ගලික වෛද්‍ය උසස් අධ්‍යාපනයට පමණක් විරුද්ධ වන්නේ ඇයි ද කියන එකට  පිළිතුරක්  නැහැ. ඒ හැඟීමෙන් පමණක් කරන දෙයක්. හැඟීම් සංස්කෘතිය මත ද ඇති වෙනවා. සිංහල බෞද්ධයකුට සතකු මැරීමක් ගැන ඇති වන හැඟීම මුස්ලිම් භක්තියකුට ඇතිවන හැඟීමට වඩා වෙනස්. ඒත් සිංහල බෞද්ධයන් ද අද මසුන් මැරීමේ යෙදෙනවා. දෙමළ ජනයාට සිංහලයන්ට විරුද්ධව හැඟීමක් ඇති කර තිබෙන්නේ දෙමළ වෙල්ලාල ප්‍රභූන්. එය ක්‍රිස්තියානි පසුබිමක් ඇති වෙල්ලාල ප්‍රභූන් විසින් ඇතිකරන ලද්දක්. එය විශේෂයෙන් ම ඇති කෙළේ ඇංග්ලිකන් ක්‍රිස්තියානියේ දකුණු ඉන්දීය පල්ලියක බැතිමතකු වූ චෙල්වනායගම් විසින්. වෙල්ලාල ප්‍රභූන්ට ඒ හැඟීම ඇතිකෙළේ ලන්දේසීන් හා පසුව ඉංගිරිසින්. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද යන ප්‍රශ්නයට ප්‍රභූන්ටවත් සාමාන්‍ය දෙමළ ජනයාටවත් පිළිතුරක් දෙන්න බැහැ. ඒත් ඔවුන් ඉංගිරිසින්, දැන් බටහිරයන් හා ඉන්දියාව, විසින් සිංහලයන්ට විරුද්ධව මෙහෙයවෙනවා. 


යමකුට පෞද්ගලික ව්‍යවසායන් සියල්ලට ම විරුද්ධ විය හැකියි. එයත් අවසාන වශයෙන් ගත්කල මාක්ස්වාදී මතවාදයෙන් සකස් කෙරෙන්නක්. බුදුහාමුදුරුවන් අනේපිඬු සිටුවරයාට විරුද්ධ වුනේ නැහැ. මාක්ස්වාදී පඬියකු කියාවි සිටුවරුන් ධනපතියන් නොවන බවත් ධනවාදය ඇතිවූයේ සියවස් දෙක තුනකට ඉහත බවත්. බුදුදහමට අනුව සාධාරණ වශයෙන් (පොදුවේ) වෙළෙඳාම අකැප නැහැ. එහෙත් යම් යම් දේ විකිණීම නම් අකැපයි. දැනුමත් බෙදාහදාගන්නා දෙයක් පමණක් නොවෙයි බොහෝ විට බෙදාහරින දෙයක්. බෞද්ධ සංස්කෘතියේ තමයි පළමුවෙන් ම දැනුම ලබාදෙන උසස් අධ්‍යාපන ආයතන පිහිටුවනු ලැබුවේ. ඒ කොහේවත් නොවෙයි, ලංකාවෙ. මහාවිහාරය හා අභයගිරිය ඉතාලියෙ දොළොස්වැනි සියවසේ පිහිටුවපු බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයට සියවස් ගණනාවකට පෙර පිහිටෙව්වෙ. නාලන්දා තක්‍ෂිලා ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් අපට පස්සෙ. ඒත් බෞද්ධ සංස්කෘතියෙ දැනුම විකුණුවෙ නැහැ. අද දැනුම විකුණන එකට විරුද්ධ වෙනවා නම් පෙර පාසලේ ඉඳලා විරුද්ධ වෙන්න ඕන. පෞද්ගලික පාසල්වලට විරුද්ධ වෙන්න ඕන. ඊනියා ජාත්‍යන්තර පාසල්වලට විරුද්ධ වෙන්න ඕන. විවෘත විශ්වවිද්‍යාලෙ පාඨමාලාවලට මුදල් අයකරනවට විරුද්ධ වෙන්න ඕන. පෞද්ගලික ආයතනවලින් ඉංජිනේරු ආදී උපාධි ලබා දෙනවට විරුද්ධ වෙන්න ඕන. ඇයි පෞද්ගලික උසස් වෛද්‍ය අධ්‍යාපනයට පමණක් විරුද්ධ වෙන්න ඕන? අද අප ජීවත්වන්නේ බෞද්ධ සංස්කෘතියක නොවන බවත් අමතක කරන්න එපා.  

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුල්වෙන්න බැරි අයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් වෙන්න හැකියාවක් තියෙන්න බැහැ කියන එක කිසිම පදනමක් නැති කතාවක්. ඒක වෛද්‍ය උපාධියෙ ඇති ඊනියා වටිනාකම අනුව ඇති කරගත් හැඟීමක් නිසා කියන කතාවක්. අද ඉංජිනේරු පීඨවලට ඇතුල්වෙන්න බැරිවුනු අය මෙන් ම වෙනත් හේතුන් නිසා එසේ ඇතුල් නොවූ අයත් පෞද්ගලික විද්‍යාලවලට ගිහින් ඉංජිනේරු, තොරතුරු තාක්‍ෂණ ආදී උපාධි ගන්නවා. සමහරු පිටරට විශ්වවිද්‍යාලවලට යනවා. ඊනියා ජාත්‍යන්තර පාසල්වලට සිසුන් ඇතුළත් කරන්නට ඇතැම් දෙමව්පියන් පෙළඹෙන්නෙ රජයේ පාසලකට තම දරුවන් ඇතුළත් කිරීමට නොහැකි වීම නිසා. බොරු ලිපින දී රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කරනවා. කොළඹ සිසුන් නුවරඑළියෙන් උසස් පෙළ පරික්‍ෂණයට පෙනී සිටිනවා. නුවරඑළියේ සිසුන් නුවර හරි කොළඹ හරි උපකාරක පංතිවලට යනවා. මේ සිසුන්ගෙ දිස්ත්‍රික්කය මොකක් ද? දිස්ත්‍රික් කෝටා ක්‍රමයේ අඩුපාඩුකම් තියෙනවා. 

මේ ප්‍රශ්න පොදු මූලයකින් පැන නගින්නෙ. මේවා එකක් අනෙකට සම්බන්ධයි. ඇතැමකු කියාවි රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වෙන්න බැරි වුනේ දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා කියලා. වනාතමුල්ලෙ දුප්පත් දරුවකුට කොළඹ දිස්ත්‍රික්කයෙන් පෙනී සිටීම නිසා රජයේ  වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වෙන්න බැරි වුනොත් මුදල් නැති කම නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකටවත් ඇතුල් වෙන්න බැහැ. අනෙක් අතට මුදල් ඇති අයකුට පිටරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුල් වෙන්න පුළුවන්. මාලබේට යන්නෙ එහෙම බැරි නමුත් යම් වත්කමක් තියෙන අය. ඔවුන්ගේ දෙමවුපියන් සමහරවිට ඉඩකඩම් උගස් කරලා හරි විකුණලා හරි මුදල් හොයාගන්නවා වෙන්න පුළුවන්. රජයේ වෛද්‍ය පීඨවල ඇතැම් ගුරුවරුන්ගෙ දරුවනුත් දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා රජයේ වෛද්‍ය පීඨයකට ඇතුල්වෙන්න බැරුව මාලබේ ඉගෙන ගන්නවා. මා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙ සභාපති තනතුර දරන කාලෙ යෝජනාවක් ඉදිරිපත්වුනා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ දරුවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ දී යම් අනුපාතයක් (කෝටාවක්) හිමිවිය යුතු බවට. අප එයට විරුද්ධ වූවා. 

අපේ අධ්‍යාපන ක්‍රමයෙ නොයෙක් අඩුපාඩුකම් තියෙනවා. අපට කරන්න තියෙන්නෙ හැකිතාක් පිරිසකට නොමිළේ අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථා ඇතිකිරීම මිස මුදල් ගෙවා අධ්‍යාපනයක් ලබා ගැනීමට වැට කඩොළු බැඳීම නොවෙයි. රැකියා ලබාදීම හරි ලබාගැනීම හරි මේ සමග පටලවා ගන්න එපා. රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව තව තවත් වැඩි කරන්න ඕන. පර්යේෂණාගාර දැනට වඩා කාර්යක්‍ෂම ආකාරයකින් යොදාගන්න ඕන.  ඒත් අර 6% කතාව බොරුවක්. උසස් පෙළ සමත්වීම හොඳ නිර්ණායකයක් නොවෙයි. ඒත් මේ පවතින අධ්‍යාපන ක්‍රමයෙ වෙන විකල්පයක් නැහැ. ඒ අතර මට අමතක වන්නෙ නැහැ මේ අධ්‍යාපනය අපේ අධ්‍යාපනයක් නොවන බවත්. ඒක බොහොම පළල් මාතෘකාවක්. 

වෛද්‍ය උපාධි ලැබීමෙන් පසු උපාධිධාරීන් ශ්‍රේණිගත කිරීම සඳහා පරීක්‍ෂණයක් පැවැත්වෙනවා. එහි දී මුලට ම එන්නේ උසස් පෙළ පරීක්‍ෂණයෙන් වැඩිම ලකුණු ලැබූ අය ම නොවෙයි. හෝඩියේ සිට උපාධිය දක්වා හැමදාමත් ඉහළ ලකුණු ලැබූ අය ඇත්තේ කිහිප දෙනකු පමණයි. මාලබේ ඇතැම් උපාධිධාරීන් රජයේ වෛද්‍ය පීඨවල ඇතැම් උපාධධාරීන්ට වඩා දක්‍ෂ විය හැකියි. 

මාලබේ සම්බන්ධයෙන් කරන්න තියෙන්නෙ එහි උපාධිධාරීන්ට වෙදකම් හා සැත්කම් කිරීමට හැකි ද යන්න සොයා බැලීම පමණයි. එය පොදු තීරණයක් නොව උපාධිධාරියාගෙන් උපාධිධාර්යාට ගන්නා තීරණයක් විය යුතුයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවුනු අය අද බටහිර වෛද්‍යවරුන්  ලෙස සේවය කරනවා. ඇතැම් අය රජයේ වෛද්‍ය පීඨවල මහාචාර්යවරු. අප උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වුනේ වෙනත් හේතුවක් මත. මා එය කියා ඇති. රජයේ නොවන  (පිටරට) වෛද්‍ය විද්‍යාලවලින් උපාධි ලබන බටහිර වෛද්‍යවරුන් වෙනුවෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙනවා. මෙය කලක් ඇක්ට් 16 පරික්‍ෂණය ලෙස හඳුන්වනු ලැබුවා. දැන් එය ඊආර්පීඑම් (ලංකාවේ වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට ලියාපදිංචිවීම සඳහා වූ පරීක්‍ෂණය) ලෙස හැඳින්වෙනවා. මේ පරීක්‍ෂණය සඳහා සිසුන් පුහුණු කරන පෞද්ගලික ආයතනයක් කොළඹ තිබෙනවා! මේ පරීක්‍ෂණය පැවැත්වෙන්නේ පිටරටින් උපාධි ලබන ලංකාවේ සිසුන් විවිධ පසුබිම් සහිත විශ්වවිද්‍යාලවලින් පැමිණෙන නිසා ඔවුන් යම් ආකාරයක ප්‍රමිතියකට ලක්කිරීමටයි. එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සහායෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් පැවැත්වෙන්නෙ.  පිටරට උපාධිධාරීන්ටත් ඇති මේ පරීක්‍ෂණය මාලබේ උපාධිධාරීන්ට නොදීම අසාධාරණයි. ලංකාවේ ඉගෙන ගැනීම පිටරට ඉගෙන ගැනීමට වඩා නරක ද? මාලබේ උපාධිධාරීන්ටත් මේ පරීක්‍ෂණයට පෙනී සිටීමට ඉඩ දීම සුදුසු ක්‍රමයයි.  එයින් සමත්වන සිසුන්ට ඇබෑර්තු අනුව පත්වීම් ලබාදිය යුතුයි. ඔවුන්ට පසුව සේවාවාසික පුහුණුවකුත් ලබා බටහිර වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට හැකි විය යුතුයි.   

http://www1.kalaya.org/2016/08/blog-post_10.html

http://www1.kalaya.org/2016/08/blog-post_11.html


http://www1.kalaya.org/2016/08/blog-post_14.html




මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද/ කාලය වෙබ් අඩවියෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

(https://www1.kalaya.org)


නලින් ද සිල්වා