Main Logo

Tuesday 16 August 2016

අතුරුදහන් කාර්යාලය වර්ජනය කරමු

අතුරුදහන් කාර්යාලය වර්ජනය කරමු

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවන්නේ ජෙනීවා යෝජනාවක් අනුව බව පැහැදිලියි. මේ ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවූයේ ම මෙවැනි ආයතන ඇතිකිරීම සඳහායි. බටහිරයන් මේ ආණ්ඩුව පිහිටුවූයේ මහින්දගෙන් හා රණවිරුවන්ගෙන් පළිගැනීමට. 2009 මුල එංගලන්තය හා අනෙක් බටහිර රටවල් කියන දේ අහල මහින්ද කටයුතු කළා නම් අදත් ඔහු ජනාධිපති . ඒ දවස්වල අප අරාබි වසන්ත ගැන කිවුවට කවුරුන්වත් ඒ ගැන ඇහුම්කන් දුන්නෙ නැහැ. මහින්ද පරාජය කරන්න බටහිරයන්ට  ඔහු ඝාතනය කරන්නට ඕන වුනේ නැහැ. අරාබි රටවල වගේ නොවෙයි මෙහේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තවමත් තියනවා. ඒ නිසා මැතිවරණයකින් මහින්ද (රනිල්ට බටහිරයන් උගන්නපු වචනවලට අනුව රාජපක්‍ෂ රෙජිමය) ගෙදර යවන්න බටහිරයන් කටයුතු කළා. මේවට කුමන්ත්‍රණ කියන එක වැරදියි. මේ තම ලෝක ආධිපත්‍යය රැකගැනීමට බටහීිරයන් ක්‍රියාකරන අන්දම.

මෛත්‍රිපාලගේ ආප්ප පාවාදීම, බොරු ප්‍රචාර මගින් හොරු කතන්දර ජනතාවට ඒත්තු ගැන්වීම,  නියම හොරුන් එ ජා පක්‍ෂයට සම්බන්ධකර ගැනීම, රනිල් අගමැති කිරීම, සිංගප්පූරු වසන්තය, දහනවවැනි සංශෝධනය මගින් අගමැතිගේ බලය වැඩිකර ගැනීම, ජනාධිපතිට පාර්ලිමේන්තුව අවුරුදු හතරහමාරක් යන තුරු විසුරුවා හැරීමට නොහැකි බව සංශෝධනයේ ඇතුල් කිරීම, ව්‍යාජ ජාතික ආණ්ඩු සංකල්පය, ආදී පියවර ගණනාවක් ඔස්සේ බටහිරයන් රනිල්ට බලතල පවරා දුන්නා. මේ බොහොමයක් අප කල් ඇතිව දැක්කා. සංධානයට ඒ ගැන අනතුරු ඇඟෙවුවා. ඔවුන් ඇහුවේ නැහැ.

ජාතිකත්වය ඉස්මතු කරගත යුතුය කියන එකට කන්දුන්නෙ ම නැහැ. දැනුත් කන්දෙන්නේ නැහැ. දැන් අප ඔවුන්ට කියන්නේත් නැහැ. මේ අය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නමින් දහනවවැනි සංශෝධනයට ඡන්දය දුන්නා. එමගින් තම වළ කපා ගත්තා. මෛත්‍රිපාලට පක්‍ෂ සභාපතිකම දුන්නා. බටහිරයන්ගේ සෑම උගුලකට ම අහුවුණා. ඒ අතර බටහිර කුමන්ත්‍රණ ගැන නම් කතා කළා. බටහිරයන්ගේ සෑලසුම්, ඔවුන්ගේ දැනුම් ආධිපත්‍යය, ගිවිසුම් ආදිය ගැන සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඊනියා කුමන්ත්‍රණ ගැන හඬා වැළපීමෙන් වැඩක් නැහැ. අද සාමාන්‍ය සුදු ඇමරිකානුන්ට ට්‍රම්ප් අවශ්‍ය වෙනවා. ඒත් ඉහළ සමාජය හිතනවා ඔහු ඇමරිකාවට තර්ජනයක් වේවි කියා. ඒ අය අද කටයුතු කරන්නෙ රිපබ්ලිකන් ඩිමොක්‍රටික් භේදයකින් තොරව ට්‍රම්ප් අයින් කරන්න. පුළුවන් නම් ඔවුන් ට්‍රම්ප්ගෙ අපේක්‍ෂකත්වය ඉවත් කරන්න සැලසුම් කරාවි. ඔවුන්ට පක්‍ෂයට වඩා බටහිර ක්‍රමයේ ආධිපත්‍යය රැකගැනීම වැදගත්. බටහිරයන් අපට ගහන්නේත් ඔවුන්ගේ ක්‍රමයේ ආධිපත්‍යය සඳහා.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය බටහිරයන්ගේ සැලැස්මේ තවත් පියවරක් පමණයි. මේ කාර්යාලය පිළිබඳ පනතට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂයවත් වෙන කිසිවකුවත් අධිකරණයට ගියේ නැහැ. ඒ පිළිබඳ රණවිරුවන් පාවාදීම ලිපියෙන් අප කී නමුත් ඒ ලිපිය නීතිඥයන්ට හා දේශපාලනඥයන්ට යොමු කළ නමුත් කිසිවකු ගණන් ගත්තෙත් නැහැ. තවමත් ජාතික සංවිධානයක් පිහිටුවීමට නිසි පියවර අරගෙනත් නැහැ. නව ව්‍යවස්ථාවක් ඇති කරගැනීමටත් ඒකාබද්ධ විපක්‍ෂය සහාය දෙනවා.  ඒකාබද්ධ විපක්‍ෂය අපට ඇතුවත් බැරි නැතුවත් බැරි කණ්ඩායමක් පමණක් බවට පත්වෙලා. 

ඒකාබද්ධ විපක්‍ෂය අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය අහෝසි කරන බව කියනවා. ඒ හොඳ කතාවක්.ඒ සමගම ඒකෙන් ගන්න සියළු තීරණ, දඬුවම් ආදිය ද අහෝසි කිරීමට කටයුතු සිද්ධ වෙනු ඇතැයි හිතනවා. අනාගතයේ දී කෙරෙන ඒ ක්‍රියාව වගේම වර්තමානයේ දී සිදුවන දේ ගැන ද අප කල්පනා කළ යුතුයි. අසාද් සාලි කියා තිබුණා මේ කාර්යාලයට 1987-90 කාලයේ සිදු වූ දේ ගැනත් පැමිණිළි කළ හැකි බව. මෙය ඉතාමත් භයානක කතාවක්. 87-89 ගැන පැමිණිළි හරියට විභාග කෙරී නැහැ. ඇත්තට ම ඒ ගැන මහා පරිමාණයෙන් පැමිණිළි කරලාත් නැහැ. බටලන්ද ගැන මොනවද කෙරිලා තියෙන්නෙ. ඒත් ඒ පැමිණිළි මේ අතුරුදහන් කාර්යාලයට ඉදිරිපත් කරන්න ඕන නැහැ. එහෙම කළොත් මේ රණවිරු පාවාදීමේ කාර්යාලයට නී්‍යානුකූලභාවයක්, පිළිගැනීමක් ලැබෙනවා. අසාද් සාලිලටයි අනෙක් අලින්ටයි ඕන කරන්නෙ ඒ පිළිගැනීම ලබාගන්න. 

සමහරවිට ජ වි පෙ හිතවතුන් මේ කර්යාලයට යන්න බැරි නැහැ. ඒකෙන් යමක් බලාපොරොත්තුවෙන් නොවෙයි හුදෙක් අර පිළිගැනීම ලබාදීම සඳහා. අප මේ කාර්යාලය සම්පූර්ණයෙන් ම වර්ජනය කළ යුතුයි. මේක බටහිරයන්ගේ වුමනාවට මහින්දට හා ගෝඨාභයට හා රණවිරුවන්ට දඬුවම් කරන්න පිහිටුවන එකක්. එය ජාතිද්‍රෝහී ආයතනයක්. අපට දෙමළ ජාතිවාදීන් කාර්යාලයට යන එක වළක්වන්න බැහැ. එහෙත් අනෙක් අය යන එක වළක්වන්න කටයුතු කරන්න ඕන.




මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

 https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා

2016 අගෝස්තු 16