Friday, August 12, 2016

අපේ පාලම

අතීතයෙ ඒ දවස
මුනගැහුනු අපි සවස
අපේ පාලම උඩට
ගියා ඊයේ සවස

මාව හඳුනාගත්තු
ගඟේ රැලි අහනවා
නුඹ කොහිද නුඹ කොහිද....

නෑහුනා වගේ මම
හිනැහුනා ගඟ දියට

"කෝ ඉතින් ඔහොම මදි
තව හොඳට කට පුරා
ඉර බහින අර පැත්ත
බලාගෙන හිනැහෙන්න"

මල් කලඹ වම් අතට
සාරි පොට හුලඟකට
පාවෙලා යන්න දී
හැරුන මා.. ඉර දෙසට

ඉර පුදුම වූ ලෙසින්
මා වෙතට ලං වෙලා
"ඔබේ සෙවනැල්ල නැහැ
එය කොහෙද හැංගිලා"

කොහොම මම හිනැහෙමිද
නුඹේ හඬ ඇහෙනවා
හමා යන මද නලේ
ගලා යන ජල කඳේ

"ඔයා තව ලං වෙන්න
ඈව ලං කරගන්න
ඉන වටා අත යවා,
ඈ...
ඔබේ බව පෙන්වන්න"

"අන්න හරි...දැන් හොඳට
හිනැහෙන්න...."

හිනැහුනා මම ඉතින්
ගං දියට
මද නලට...

දුනිමි අරගෙන යන්න..
ප්‍රේමයේ අවසාන සිනා පොද

රත්තරන් පැහැ ඉරට....

No comments:

Post a Comment