Tuesday, August 9, 2016

බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ විසින් චෙල්වනායකම්ව “මෝසස්“ කෙනෙක් ලෙස හැඳින්වූයේද ? Did Bishop Lakshman Wickremasinghe call Chelva a " Moses" ?

ආචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රභාකරන්ගේ බාප්පලා මස්සිනාලා පොතේ හෝ ඔහු විසින් 1990 දශකයේ දිවයින පුවත්පතට සැපයූ ලිපිවල හෝ එන එක් කරුණක් දිගටම මගේ මතකයේ රැඳී තිබේ. එනම් ලංකාවේ දෙමළ ජාතිකවාදී බෙදුම්වාදී ව්‍යාපාරයේ සමාරම්භකයා ලෙස සැලකෙන එස් ජේ වී චෙල්වනායකම් මහතාගේ අවමඟුලේදී. ලංකාවේ ඇංග්ලිකන් පල්ලියේ කැපී පෙනෙන චරිතයක් වූ කුරුණෑගල බිෂොප් තැන්පත් ලක්ෂ්මන් වික්‍රමසිංහයන් කතාවක් පවත්වමින් “ තම ජනතාව පොරොන්දු දේශයට රැගෙන ගිය මෝසස් කෙනෙක් “ ලෙස චෙල්වනායකම් මහතාව හැඳින්වූ බවය. 


බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ මේ කළේ යැයි කියන ප්‍රකාශය පුපුරා යන සුලුය. එක අතකින් ඒ බිෂොප් තුමා, සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගේ උදහසට වැඩියෙන්ම ලක්වූ ශ්‍රී ලාංකික නායකයන් වන ජේ ආර් ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ළඟම ඥාතියෙකි. අනික් අතින් ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මුල් වරට ක්‍රියාකාරී වූ අයෙක්ද වේ. 1983 ජූලි වාර්ගික ප්‍රහාරයන්ගෙන් පසු හෙන්ස්මන් විසින් අනවර්ථ නාමයකින් රචිත Sri Lanka: Holocaust and After හි සඳහන් පරිදි බිෂොප් තුමා එම කලබලවලින් අනාථ වූ දෙමළ ජනතාව වෙසෙන සරණාගත කඳවුරුවලට ගොස් තමන්ට හැකි අයුරින් ඔවුනට පිහිට වීමට උත්සාහ ගත්තේය. එමෙන්ම තමන්ගේම ළඟම ඥාතීන් මේ ක්‍රියාවලිය පිටුපසින් සිටීම ගැන ඔහු දැඩි කණගාටුවකින් පසුවූයේලු. හෙන්ස්මන් කියන ආකාරයට ඒ වන විටත් සෞඛ්‍ය තත්ත්වය පිරිහී තිබූ බිෂොප්තුමාගේ මරණය ඉක්මන් වූයේ මේ කණගාටුව නිසාය. 

මේ තොරතුරු නිසා ලක්ෂ්මන් වික්‍රමසිංහයන් දෙමළ බෙදුම්වාදයට සානුකම්පිත ස්ථාවරයක් දැරුවේදැයි මම  සැක කළෙමි. කුරුණෑගල     ක්‍රිස්තු රජිඳු මුල් දෙව්මැදුරේ (Cathedral Church of Christ the King) ලක්ෂ්මන් වික්‍රමසිංහ ශාලාව දකින සෑම විටම මේ පිළිබඳවද මගේ මතකයට නැගිනි.   ඇංග්ලිකන් පල්ලියේ කෙනත් ප්‍රනාන්දු බිෂොප් වරයා “ප්‍රභාකරන් මානව හිතවාදියෙක්“ යැයි පැවසූ පසුබිමක් තුළ එවැන්නක් සිදුවීමේ යම් සම්භාවිතාවක්ද තිබිණි. කෙසේ වුවත් එවැනි ස්ථාවරයක් ඔහුගේ මානව හිතවාදී ප්‍රතිරූපය පළුඳු කරන්නක් මෙන්ම ක්‍රිස්තියානි/කතෝලික පල්ලි, බටහිර අධිරාජ්‍යවාදය හා දෙමළ බෙදුම්වාදය අතර ඇතැයි නලින් ද සිල්වා හා සිංහල බෞද්ධ ජාතිකවාදීන් පවසන සැබැඳියාව තහවුරු කරන්නක් ද වේ. 

කෙසේ වුවත් මෑතකදී මේ ගැන නැවතත් මතක් වූ අවස්ථාවක් අන්තර්ජාලය ඔස්සේ කීවර්ඩ් සෙවීමක් කළ විට මට දක්නට ලැබුනේ මා සිතූ ප්‍රතිඵලය නම් නොවේ - සැබවින්ම චෙල්වනායකම්ගේ අවමඟුලේදී ඇංග්ලිකන් බිෂොප්වරයෙක් “ He died like Moses himself without reaching the promised land but the vision he saw, he leaves behind as the heritage and challenge to his peopleයනුවෙන් ප්‍රකාශයක් කර තිබේ. බයිබලයේ පැරණි ගිවිසුමේ නික්මයාම (Exodus) පරිච්ඡේදයේ එන මෝසස් නම් ඊශ්‍රායල් ජනතාව මිසර වහල් භාවයෙන් මුදාගත්  විමුක්තිදායකයා , කානන් දේශය එනම් පොරොන්දු දේශයට යාමට පෙර මිය යාමත් පසු කාලිනව ජෝෂූවා වැනි නායකයන් ඊශ්‍රායල සෙනඟ පොරොන්දු දේශය වෙත ගෙනයාමත් අතර සමාන්තර බවක් මේ ප්‍රකාශය තුළ ගම්‍ය වේ. ( ඒ අනුව නම් ජෝෂූවාට සමාන වන්නේ ප්‍රභාකරන්ය !) . 

කෙසේ වුවත් ඉහත ප්‍රකාශය කරඇත්තේ බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහයන් නම් නොවේ. දකුණු ඉන්දියාවේ ඇංග්ලිකන් පල්ලියේ යාපනය බිෂොප් තැන්පත් ඩී ජේ අම්බලවානර් විසිනි.  එම නිසා බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහයන්ගේ නමට සිදු වූයේ අසාධාරණ කැළලක් බව සඳහන් කළ හැකිය. 


2 comments:

  1. ඔබේ මුලාශ්‍ර අනුව පළ කර ඇති නිවැරදි කිරීම අනුව අපට වැටහෙන දෙය නම් නලින් ද සිල්වා වැන්නෙකු ඔහේ කටට එන දෙයක් කී වීට එය ඉත සිතින් පිළිගැනීමට සැදී පැහැදී සිටින පිරිසක් අප අතරම සිටිනවා නොවේ දෝ යන්නයි!

    එය ශෝකජනක වැටහීමකි!

    ReplyDelete
    Replies
    1. නලින් ද සිල්වා ඉතිහාසය ගැන කියන දේ ලුණු ස්වල්පයක් සමඟම ගැනීම ගුණදායකයි :) එසේ වුවත් ඔහුගේ මූලික මතවාද හැදෑරීමෙන් පසුව විවේචනය කිරීම වැදගත්

      Delete