Tuesday, August 9, 2016

ප්‍රොස්ට් සහ සෙන්නා - ගිනි කන්දක් ළඟ හිම කන්දක්



1994 අවුරුද්දේ මැයි පළවෙනිදා, ඉතාලියේ Santerno නදිය අසබඩ තියෙන Imola ධාවන පථයේදී Formula One විශ්වය සදහටම අනික් පැත්තට කැරකුණා.

ඒ තමයි 1994 San Marino Grand Prix තරගාවලිය තිබුණු දවස්. කොහොම වුණත් තරගාවලිය පුරාම අඳුරු හෙවනැල්ලක් වැටිලා තිබුණා. අප්‍රේල් 30 වෙනිදා සුදුසුකම් ලැබීමේ වටයක් අතරමැදදී Roland Ratzenberger ගේ කාර් එක ධාවන පථයෙන් පිට පැනලා පයට කිලෝමීටර් තුන්සිය ගාණක වේගෙන් Villeneuve Corner එක ගාව තාප්පේ වැදුණා. Ratzenberger ගේ ජීවිතය එතනින් අවසන් වුණා. ඒ කාලේ වෙද්දී ෆෝමියුලා විශ්වයේ රජා තමයි අයර්ටන් සෙන්නා. සෙන්නා මේ අනතුර සිද්ධ වුණු තැනට ගිහින් ඇඬුවලු.

හරියටම දවසකට පස්සේ සෙන්නා වෙනුවෙන් මුළු ලෝකෙම ඇඬුවා...

අයර්ටන් සෙන්නාගේ කාර් එක ට්‍රැක් එකෙන් පිටපැනලා අර තරම්ම වේගෙන් ගිහින් තාප්පේ වැදුණේ ඇයි කියන එක සමහරුන්ට තාමත් අභිරහසක්. සමහරු කියනවා ස්ටියරින් එක ෆේල් වුණා කියලා. සමහරු කියනවා සෙන්නා ජීවිතේ එපාවෙලා ලෝකයෙන් සමුගත්තා කියලා.

නමුත් ටිකක් සිහිබුද්ධිය ඇතුව හොයනකොට පේනවා වෙලා තියෙන්නේ කාර් එක බිම ගෑවිලා aerodynamics වෙනස් වෙලා කාර් එකේ බැලන්ස් එක නැතුව යාම බව...



කොහොම වුණත් එදා ඉඳන් ෆෝමියුලා විශ්වය වෙනස් වුණා. ෂූමාකර් ලා හැමිල්ටන්ලා කීයක් ආවත් තාමත් කට්ටිය කියන්නේ ෆෝමියුලා වන් වල හිටපු ශ්‍රේෂ්ඨම කෙනා සෙන්නා කියලා. ඒක ෂූමාකර් පවා කිව්ව දෙයක්. හිම ක්‍රීඩාවක යෙදෙන්න ගිහින් හදිසි අනතුරක් වෙලා ෂූමාකර් එකතැන් වෙලා සෑහෙන කාලයක්. ඒ වුණාට තාමත් ෂූමාකර්ට වඩා ලොකු සාහිත්‍යයක් සෙන්නා ගැන තියනවා. (මේක දියුණු ෆෝමියුලා වන් රසිකත්වයක් තියන රටවල් වලට අදාළ නැති වෙන්න පුළුවන්. නමුත් මම මේක ලියන්නේ සිංහල කතාකරන සමාජයට. අපි වැඩි දෙනෙක් ෆෝමියුලා රේසිං ගැන පොල් ටොපි කෑල්ලක තරං දෙයක් දන්නේ නැහැ. නමුත් ෆෝමියුලා වන් කියන්නේ බොහොම උද්වේගකර ක්‍රීඩාවක්. අද අලුත් කාර්වලට එන තාක්ෂණයේ මූල බීජ සමහර වෙලාවට බිහිවෙන්නේ ෆෝමියුලා හතර මායිම ඇතුළේ. ඒ නිසා ඒ ගැන උනන්දුවක් දක්වන එක කාර් පිස්සන්ට වටිනවා. මම කට්ටියව ඒ ගැන පොඩ්ඩක් උනන්දු කරවන්න උත්සාහ කරන්නේ ඒකයි).

මේ සෙන්නා මායාව මැද්දේ කට්ටියම වැරදියට තේරුම් ගත්තු කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඇලාන් ප්‍රොස්ට් (Alain Prost). සෙන්නා ගැන ලිපියක් ලියන, කතාවක් මවන, ඩොකියුමෙන්ට්‍රියක් හදන කාටත් අහුවෙන කරදමුංගුව, කරාබු නැට්ට තමයි ප්‍රොස්ට්. කතාවක් මාකට් වෙන්න නම් වීරයෙක් ඉන්න ඕනේ. වීරයෙක් ඉන්න නම් දුෂ්ටයෙක් ඉන්න ඕනේ. ඉතිං ප්‍රොස්ට් නිකම්ම දුෂ්ටයා වුණා.


සෙන්නා එන්න කලින් ඉඳන් ප්‍රොස්ට් ෆොමියුලා ලෝකේ වීරයෙක් වෙලා හිටියා. එයා තමයි එතකොට McLaren ටීම් එකේ තරුව. සෙන්නා ගැන අමතක කරලා පොඩ්ඩක් ප්‍රොස්ට් ගැන හිතුවොත්, එයාට තියන අන්වර්ථ නාමය තමයි 'මහාචාර්යතුමා' හෙවත් 'The Professor' කියන එක. ක්‍රීඩාව ඇතුළුව අනෙක් හැමදේම සම්බන්ධයෙන් ප්‍රොස්ට් ගේ approach එක බොහොම සන්සුන්. මම කියන්නේ නෑ ප්‍රොස්ට් තොත්ත බබෙක් කියලා. නමුත් උඩට නගින්න නම් අනිකාගේ බෙල්ල උඩට හරි කකුල තියන්න අවශ්‍ය වෙන තරගකාරී මානසිකත්වය ඒ තරම් බරපතළ විදිහට ප්‍රොස්ට් ට තිබුණේ නැහැ.

අයර්ටන් සෙන්නා McLaren ටීම් එකට එකතු වුණේ 1988 දී. එදා ඉඳන්ම ප්‍රොස්ට් ව පරද්දන එක සෙන්නාට කොච්චර obsession එකක් වුණාද කියන එක සෙන්නා ගැන තියන ලිපිවල/වාර්තා වැඩසටහන් වල නිතර දකින්න පුළුවන්. වෙන එකක් තියා වතාවක් ප්‍රොස්ට් ගෝ-කාට් එකක් එළවන දිහා පවා සෙන්නා ඇහිපිය නොහෙලා බලාගෙන හිටියලු. ප්‍රොස්ට් තමයි එතකොට චැම්පියන්. චැම්පියන් ව පරද්දලා චැම්පියන්ගෙත් චැම්පියන් වෙන එක තමයි සෙන්නාගේ ඔලුවේ තිබුණේ. මේ දෙන්නා drive කරද්දී 1989 සහ 1990 කියන අවුරුදු දෙකේ දෙන්නාගේ වාහන එකට හැප්පුණා. ඊට අමතරව ෆෝමියුලා ටීම් මාරු වීම් සහ මාධ්‍ය මගින් ඇනුම්පද කියාගැනීම් වගේ ගොඩක් දේවල් තියනවා. මේවා විස්තර කරනවා නම්, කවුද හරි සහ කවුද වැරදි කියලා හොයනවා නම් දිගට ලියන්න ඕනේ. කොහොම වුණත් මේවායේ අවසාන ප්‍රතිඵලය වුණේ අර ග්‍රීක නාටකයක් වගේ සීන් ගොඩක් සහ නව නළු රසය කැටිවුණු කතාවක් බිහිවෙන එක තමයි. 


මේ ගේම උත්සන්න වුණු අවස්ථාවක් තමයි 1989 San Marino Grand Prix එක. පළවෙනි කෝනර් එකේදී එකිනෙකාට හරස් නොවෙන්න සෙන්නා සහ ප්‍රොස්ට් දෙන්නා එකඟ වෙලා තිබුණා. පළවෙනි ස්ටාට් එකේදී ඉස්සරහට ගියේ සෙන්නා. ප්‍රොස්ට් හිමිහිට එයාගේ පිටිපස්සෙන් ගියා. නමුත් 4 වෙනි ලැප් එකේදී Gerhard Berger හැප්පුණු නිසා රේස් එක නවත්තලා මුල ඉඳන් පටන්ගන්න වුණා. මේ පාර ඉස්සර වුණේ ප්‍රොස්ට්. නමුත් සෙන්නා පළවෙනි කෝනර් එකේදී අර එකඟතාව තුට්ටුවකට මායිම් නොකර ප්‍රොස්ට් ව පහුකරගෙන ගියා. එහෙම කළේ ඇයි කියලා ඇහුවම සෙන්නා කිව්වේ එකඟත්වය තිබුණේ පළවෙනි වතාවට විතරයි, ඒක restart එකකට අදාළ නැහැ කියලා. හැබැයි පස්සේ මේකේ අනික් පැත්ත සිද්ධ වුණා. එතනදී ප්‍රොස්ට් සෙන්නාව බ්ලොක් කළා. මේ විදිහට දෙන්නගේ ගේම නිසා දෙන්නටම අහිමි වෙච්චි දේවල් තිබුණා. 

මේ දේවල් වගේම ටීම් එක සෙන්නාට වැඩිපුර සපෝට් කිරීම සහ හොන්ඩා එකෙන් සෙන්නාටම ස්පෙෂල් එන්ජින් ලැබීම වගේ දේවල් නිසා කලකිරිලා ප්‍රොස්ට් ඊළඟ සීසන් එකේ ඉඳන් ෆෙරාරි එකට එකතුවෙන්න තීරණය කළා. ෆෙරාරි එක්ක ඩ්‍රයිව් කරපු පළවෙනි අවුරුද්දේදී ප්‍රොස්ට් රේස් එක ඉවර කළා නම් එයා චැම්පියන් වෙනවා. නමුත් සෙන්නා හිතාමතාම ප්‍රොස්ට්ව හප්පලා එයාට දිනන්න තිබුණු චාන්ස් එක නැති කළා. මේ විදිහට ජයග්‍රහණය වෙනුවෙන් අනුන්ගේ ජීවිත වගේම තමන්ගේ ජීවිතයත් අනතුරේ දාගන්න කොච්චර අසංවේදී වෙන්න ඕනෙද කියන එක ගොඩක් තැන්වල කතා වෙලා තියෙනවා. නමුත් කතාවේ අනික් පැත්ත ගැන හිතුවොත්, එකපාරක් Erik Comas හැප්පුණු වෙලාවක සෙන්නා කාර් එක නවත්තලා දුවලා ගිහින් Comas ට උදවු කළා. එදා කාර් එක නැවැත්තුවේ සෙන්නා විතරයි. සෙන්නා සෑහෙන සංකීර්ණ චරිතයක් කියලා බොහෝ දෙනෙක් කියන්නේ ඒකයි.
 



ආපහු අපි 1988 ට යනවා නම්, සෙන්නා තරුවක් වුණු දා ඉඳන් McLaren ටීම් එක ඇතුළෙත් බාහිර ලෝකෙත් ප්‍රොස්ට් ට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි. අද අපි යූ ටියුබ් එකේ වීඩියෝ එකක් හොයාගෙන ප්‍රොස්ට් ගේ ඉන්ටවිව් එකක් බැලුවොත්, එයාගෙම වචන වලින් මේක අහගන්න පුළුවන්. ලෝක ශූරතා කීපයක් දිනපු මනුස්සයෙක් වෙලත් එකපාරට තරුවක් බිහිවෙච්චි ගමන් ඒ මනුස්සය කුණු මුල්ලට විසිවුණා. දෙන්නම එකම ටීම් එකේ ඉන්නකොට පවා හොන්ඩා එකෙන් (එතකොට හොන්ඩා ෆෝමියුලා සීන් එකේ සෑහෙන සාර්ථකයි. එයාලා තමයි McLaren ටීම් එකට එන්ජින් සප්ලයි කළේ) සෙන්නාට කියලා වෙනම එන්ජින් එනකොට තමන්ගේ හිත රිදුණු හැටි තාමත් ප්‍රොස්ට් කියන්නේ දුකෙන්. ප්‍රොස්ට් කියන විදිහට, සෙන්නා පොරක් වෙන්නත් කලින්, අනික් අය වෙන කෙනෙක්ව ටීම් එකට ගම්මු කියද්දීත් නැහැ අපි සෙන්නා ව ගමු කියලා තියෙන්නේ ප්‍රොස්ට්මයි. අන්තිමට ප්‍රංශ ඉත්තෑවාගේ ගෙදරට බ්‍රසීලියන් කබල්ලෑවෙක්  රිංගුවා.



නමුත් ඇලාන් ප්‍රොස්ට් කියන්නේ මෙහෙම කුණු මුල්ලට විසිවිය යුතු මනුස්සයෙක් නෙමෙයි. සෙන්නා හැමතිස්සෙම හිතුවේ එයාට යන යන තැන දිනන්න දෙවියන්ගෙන් වරමක් තියනවා කියලා. ප්‍රොස්ට් හිතුවේ හැමදේම නිවැරදි තීරණ සහ නිවැරදි ගණනය කිරීම් මත තීරණය වෙනවා කියලා.

ඇලාන් ප්‍රොස්ට් කියන්නේ හතර පාරක් Formula One Drivers' Champion වෙච්චි කෙනෙක්.එයාගේ වාර්තාව සමකරන්න හෝ ඉක්මවා යන්න පුළුවන් වෙලා තියෙන්නේ Sebastian Vettel (4 පාරක්), Juan Manuel Fangio (5 පාරක්) සහ Michael Schumacher (7 පාරක්) කියන අය විතරයි. නමුත් අද කෙනෙක් ප්‍රොස්ට් ගැන විස්තරයක් හොයන්න ගියොත් යූ ටියුබ් එක ඇතුළේ වෑන් එකක් හයර් කරගෙන එහෙමෙහෙ යන්න වෙනවා. ප්‍රොස්ට් ගේ නම යටතේ තියන ඒවා බොහොමයක් විනාඩි පහේ දහයේ ඉන්ටර්විව්. ඒවත් වැඩි හරියක් සෙන්නා ගැන හදපු වාර්තා වැඩසටහන්වල අහුකොන්. එහෙම නැත්තං තියෙන්නේ ප්‍රොස්ට් ගේ ෆෑන්ස් ලා හදපු වීඩියෝ. ඒවා ප්‍රොස්ට් කාර් එක එළවන ඒවා එහෙන් මෙහෙන් පූට්ටු කරලා, මොකක්හරි සයිට් එකකින් නොමිලේ උස්සපු සංගීත කෑල්ලක් ඔබලා, ඉන්ටනෙට් එකෙන්ම නොමිලේ ගත්තු සොෆ්ට්වෙයා එකකින් එඩිට් කරපු සත පහක් වටින්නේ නැති වීඩියෝ පඩංගු.

මේ විදිහට ප්‍රොස්ට් ව නොතකා හැරෙන නිසා ප්‍රොස්ට් රසිකයෝ prostfan.com වගේ වෙබ්සයිට් හදාගෙන තියනවා. එයාලා මුලින්ම පැහැදිලි කිරීමක් කරලා තියනවා ප්‍රොස්ට් සෙන්නා ගැන දරන මතය ගැන. ප්‍රොස්ට් සෙන්නාට ගරු කරනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ප්‍රොස්ට් ගේ රසිකයොත් හැම දේටම හූම් ගාලා කටවහගෙන ඉන්න ඕනේ කියලා. එයාලගේ වෙබ් සයිට් එකේ සෙන්නා සහ ප්‍රොස්ට් ගැන සංසන්දනාත්මක වගුවක් තියනවා. ඒක ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියලා හිතුවා. 



සෙන්නා
ප්‍රොස්ට්
ෆෝමියුලා වන් ලෝකයේ අවුරුදු 10 ක් ගතකළා.
ෆෝමියුලා වන ලෝකයේ අවුරුදු 13 ක් ගතකළා.
අනික් කාර් එක්ක හැප්පුණු වතාවල් 13 යි.
අනික් කාර් එක්ක හැප්පුණු වතාවල් 11 යි.
ජයග්‍රහණ ලබපු ප්‍රතිශතය 25.47
ජයග්‍රහණ ලබපු ප්‍රතිශතය 25.63
රේස් එකකට ලකුණු 3.81
රේස් එකකට ලකුණු 3.99
ලෝක ශූරතාව 3 පාරක් දිනුවා.
ලෝක ශූරතාව 4 පාරක් දිනුවා.
පුළුවන් තරම් වේගයෙන්, අනික් අය ගැන නොහිතා, දිනන්න බලාගෙනම ඩ්‍රයිව් කිරීම තමයි අරමුණ.
පුළුවන් තරම් නීතිගරුකව, නිවැරදිව හා සාධාරණව ඩ්‍රයිව් කිරීම තමයි අරමුණ.


සෙන්නා ගැන පැයේ හමාරේ වැඩසටහන් හැදුණා. අසීෆ් කපාඩියා පැය 15,000 ක ෆුටේජ් එක්ක අවුරුදු 4 ක් දඟලලා විනාඩි 106 කට කපලා  සෙන්නා ගැන ෆිල්ම් එකක් හදලා සම්මානත් දිනුවා. ඒක ගැන මිනිහට ටොප් ගියර් එකෙන් ප්‍රචාරෙකුත් හම්බවුණා. හැම මගුලටම කුණු කතා කියන ජෙරමි ක්ලාක්සන් සෙන්නා ගැන සෙග්මන්ට් එකක් හැදුවා. ෆිල්ම් එක බලන්න කියලා කට්ටියට හතර පස් පාරක් කිවුවා.



මේ හැම එකකදීම සෙන්නා වීරයා වුණේ ප්‍රොස්ට්ව දුෂ්ටයා කරලා. ඒක සෙන්නා දන්නේ නෑ තමයි. නමුත් සෙන්නා හිටියා කියලත් වෙනසක් වෙයි කියලා මම හිතන්නේ නෑ.

ප්‍රොස්ට් නිතර කියන දෙයක් තමයි එයා ක්‍රීඩාවෙන් අයින් වුණාට පස්සේ සෙන්නා එක්ක තිබුණු ප්‍රශ්න විසඳුණා කියලා. තමන්ගේ අන්තිම රේස් එකට දවස් කීපෙකට කලින් සෙන්නා 'I miss you Alain' කිවුවා කියන එක ප්‍රසිද්ධයි. හැබැයි මේක වුණේ මීඩියා සංදර්ශනයකම කොටසක් විදිහට. සෙන්නා මේක කිවුවේ කාර් එක පදින ගමන්, කාර් එකේ කැමරාවක් හයි කරලා තියෙද්දී. නමුත් සෙන්නා ජීවතුන් අතර ඉඳලා එයත් විශ්‍රාම අරන් ටීම් එකක් මැනේජ් කරනවා වගේ වැඩකට බැස්ස නම් ප්‍රොස්ට් ට සීන් එක බලාගන්න තිබ්බා.



දැන් මම මෙහෙම කියනකොට සෙන්නා ගේ ෆෑන්ස්ලා මාත් එක්ක තරහ වෙයි. නමුත් සෙන්නා සහ ප්‍රොස්ට් අතර තිබුණු ගේම ෆෝමියුලා සීන් එකේ හොඳම ගේම විදිහට සමහරු සලකනවා. ෆෝමියුලා සීන් එකේ ගේම් රෙස්ලින් ගේම් වගේ බොරු ෂෝ නෙමෙයි. ඒවා ඩොලර් බිලියන ගණන්වල ගේම්. ලෝකේ මිලියන ගාණක් ප්‍රේක්ෂකයෝ ඉස්සරහා රජෙක්, කුමාරයෙක් වෙන්න ගහන ගේම්.

ජීවිතයත් මරණයත් අතර තියන කෙස් ගහ උඩ පැයට හැතැම්ම දෙසිය තුන්සිය ගාණෙන් රඟන ගේම්... සමහර විට මායාව සහ යථාර්ථය අතර දෝලනය වෙන ගේම්...

මාව ෂුවර් නැත්තං නිකී ලවුඩා සහ ජේම්ස් හන්ට් කියලා සර්ච් කරලා බලන්න... 


www.facebook.com/CarPissuwa 

22 comments:

  1. බලන් ගියාම පොර හෙන කළු චරිතයක් ද මංදා !

    ReplyDelete
    Replies
    1. එක අතකින් බැලුවාම ඔවු. ඕක ගැන සෑහෙන දුරකට තර්ක කරන්න පුළුවන්.

      මම මේක ලියද්දී කල්පනා කළේ, සෙන්නා ගැන ලියන ලිපියට සෙන්නා ඉස්සරලාම කමෙන්ට් කළොත් කොහොමද කියලා. ස්තූතියි සෙන්නා :D

      Delete
    2. කල්පනාව හරි ගියා නේද එහෙනම්.. :D හැබැයි මේක කියෙව්වට පස්සේ මම මේ, නම වෙනස් කරන්න කල්පනා කොර කොර ඉන්නෙ.. හෙහ් හෙහ්..

      මම සෙන්නා ගැන ලියන්න සෑහෙන කාලෙක ඉඳන් හිත හිත හිටියේ.. ඒත් ඒක අතපහු වෙවී කල්ගියා.. උඹ ඒක සුපිරියටම දැන් කරලා තියනවා..යතාර්තයම එලියට දාලා...

      Delete
    3. අඩේ එහෙමද? ඔයාගේ අරමුණ ඉටුකරගන්න බැරිවීම ගැන දුකයි. ඒ වුණාට ඔයාගේ ප්‍රතිචාරය ගැන බොහොම සතුටුයි. ඔයා කවදත් මේ බ්ලොග් දෙකටම සපෝට් එක දෙන කෙනෙක් නේ. ඒක මට බොහොම වටිනවා!

      Delete
    4. කෝ සෙන්නයියෙ ෆෙරාරිය ? හැක්

      Delete
    5. වැට් හින්ද ෆෙරාරිය විකුණල දැං බර කරත්තෙලු යන්නෙ.

      Delete
  2. I saw a documentry once according to that senna himself has instructed adjustments to be made to th williams car steering column which resultd th failure as he couldnt turn th car . And his frnt tire smashed on to th helmet forc8ng his brain matter to flow out of it.nt sure if ths is correct but i liked his way of driving .he looked as if he was floating on th tarmac. Thanks for highlihting alan

    ReplyDelete
  3. I saw a documentry once according to that senna himself has instructed adjustments to be made to th williams car steering column which resultd th failure as he couldnt turn th car . And his frnt tire smashed on to th helmet forc8ng his brain matter to flow out of it.nt sure if ths is correct but i liked his way of driving .he looked as if he was floating on th tarmac. Thanks for highlihting alan

    ReplyDelete
  4. I saw on a documntry that senna himself ordered certain adjustment to th steering column which resulted the faulure and then th front tire smashed thru his helmat . And he had brain matter pouring out after words.they introduced laws to connect tires wit some cable to avoid this happening again

    ReplyDelete
    Replies
    1. I think they presented a counter argument that the steering column indeed was intact at the moment of the impact. However the tyres were not warm enough and that affected the ground clearance. The car hit the track near the corner and that is why we see sparks moments before the impact. That changed the aerodynamics and that is why the car suddenly changed directions. At lease that is what I believe :) Thank you so much for the feedback... Yes, I always think Prost is one of the most unfortunate people on this planet.

      Delete
  5. ජේම්ස් හන්ට් හා නිකී ලවුඩා වගේම ෆෝර්මියුලා වන් ගැන දැනුමක් Interest එකක් ගන්න පුලුවන් Rush ෆිල්ම් එක බැලුවොත් බලපු අය ඇති නැති අයට කිව්වෙ..

    ReplyDelete
  6. ජේම්ස් හන්ට් හා නිකී ලවුඩා වගේම ෆෝර්මියුලා වන් ගැන දැනුමක් Interest එකක් ගන්න පුලුවන් Rush ෆිල්ම් එක බැලුවොත් බලපු අය ඇති නැති අයට කිව්වෙ..

    ReplyDelete
  7. මරු බං ..හරි ආසාවෙන් කියෙව්වෙ විස්තරේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පත්තර මල්ලි. :)

      Delete
  8. පරක්කු වුනා එන්න. වැඩ බහුල කාලයක්.

    මටනම් F1 කිව්වම මතක් වෙන්නෙ Michael Schumacher. සපත්තු හදන්න ඉපදිච්ච එකා රේසිං ඩ්‍රයිවර් කෙනෙක් වුන එක පුදුමයක් නෙවෙයි බියගම හරි ක‍ටුනායක හරි ගාමන්ට් එකක ඇඳුම් මහන්න උපන් ලිස් ටේලර් නිලියක් වුනා නම් හෙහ් හෙහ්.

    බබා මූණක් නැති Schumacher ගැන හිතනකොට මට හිතාගන්න බැරි මේ යකා වයසට නොයන්නෙ මොකද කියන එක. හරියට Bon Jovi වගේ.

    බ්ලොග් ලියන සෙන්නාට මම ඉස්සෙල්ලම දාපු කමෙන්ට් එකේ මම ධාවන ශූරයා ගැන ඇහුවා මතකයි.

    අර වගුවෙ තියෙන්නෙ facts සහ opinion දෙකම. උඩම පේලි පහේ facts යටම පේලියේ opinion. ඒ හන්දා වද වෙන්න දෙයක් නෑ.

    මම කාලයක් ටීවී එකේ F1 තරඟ බලන්න මෝටර් සයිකල් තරඟ බලන්න ඇබ්බැහිවෙලා හිටියා. පස්සෙ රෙස්ලිං තරඟ ඇබ්බැහිය වගේම ඒකත් අතෑරලා දැම්මා.

    දැන් ඔය දැක්කොත් බලා ඉන්නවා. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඔපීනියන් නැතුව ෆැක්ට්ස් විතරක් තිබ්බනම් ෆෝමියුලා වන් නෙමෙයි අපට බලන්න වෙන්නේ චෙස් :D

      Delete
  9. මාත් දන්නෙ මයිකල් ෂූමාකර් තමයි ඔය රේසිං කාර් එලෝන එකෙක් විදියට.
    මොනව උනත් හොඳ තොරතුරු ටිකක්.

    ReplyDelete
    Replies
    1. උනන්දු නැතුවත් ඇවිත් කියෝපු එක වටිනවා... ස්තූතියි...

      Delete
  10. අදටත් මම හිතන දෙයක් තමයි ,අපරාදෙ මම තව අවුරුදු 10 කට කලින් ඉපදෙන්න තිබ්බෙ කියන එක.එ හේතු 2ක් මත.එකක් මට 96 වර්ල්ඩ් ක්ප් එක මිස් වෙච්ච එක.අනික ෆොර්මියුලා 1 වල golden era එක මිස් වෙච්ච එක.වත්මන් එෆ් 1 නරකයි කියනවා නෙවෙයි ඒත් අලුත් තාක්ශනය සහ තද regulations නිසා රේස් එකක exciting ගතිය නැති වෙලා කියල හිතෙන නිසා.කොහොම උනත් මගේ ලිස්ට් එකෙත් ලවුඩලට ස්ටුවර්ට්ලට වඩා උඩින් ම හිටියෙ සෙනා තමයි.දුශ්ටය වුනේත් ප්‍රොස්ට්ම තමයි.ඒ ඉතින් මන් බලල තියෙන හැම ඩොකියුමෙන්ට්‍රියෙම,යුටියුබ් විඩියෝ එකේම තදයා වෙන්නෙ සෙනා නිසා වෙන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. සෙන්නා අදටත් ලේසි වීරයෙක්. ප්‍රොස්ට් අදටත් ලේසි දුෂ්ටයෙක්. ආපහු ඔයාගේ කොමෙන්ටුවේ මුලට ගියොත්, 96 වර්ල්ඩ් කප් එකේ සමහර අවස්ථා අද ඊයේ වගේ මතක තියෙන්න තරම් මම වාසනාවන්තයි... :)

      Delete