Main Logo

Friday 5 August 2016

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 2

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 2

මෙහි පළමු කොටසට ප්‍රතිචාර රාශියක් ලැබිලා. මත ප්‍රකාශ කිරීම හොඳයි. ඒත් එය දේශපාලනඥයන්ගෙ මට්ටමට ගෙන යන්න එපා. පාද යාත්‍රාව ගැන පැවැත්වෙන වාද විවාද ගැන සලකන්න. ඒවා හූවක්වත් වටින්නෙ නැහැ කීම හූවටත් කරන අගෞරවයක් වෙන්න පූළුවන්. ඇතැම් අය මා ලියූ පොත් ගැන අසා තිබුණා. ඒ පොත් බොහොමයක් මුද්‍රණයේ නැහැ. සහරවිට නුගේගොඩ කියවන නුවණ පොත්හලේ හෝ සරසවි පොත්හලේ හෝ තියෙන්න පුළුවන්. මේ මාතෘකාව ගැන හෙට තවදුරටත් කියන්න කලින් කරුණු දෙකක් පැහැදිලි කරන්න ඕන. පළමුවෙන් කියන්න ඕන මේක ගෞරවය පිළිබඳ කතාවක් නොවන බව. මගේ නම හරි ප්‍රියානිගෙ නම හරි ප්‍රියන්තාගෙ නම හරි කියැවෙන්න ඕන එහි ඉතිහාසය සඳහන් කිරීමේ දී යම්කිසි පිළිවෙළකට. (චන්නට නැතත් ඇතැමුනට ඉතිහාසය අමතක කරන්න ඕන වෙලා) ඒ ගෞරවයක් සඳහා නොවෙයි. ඉතිහාසය සංදර්භය අපට වැදගත්. මේක විශ්වවිද්‍යාලවල කරන දේශන වගේ වෙන්න බැහැ. ඒ දේශන පවත්වන්නෙ ඉතිහාසයක් නැතිව වගේ. නිව්ටන්ගෙ චලිත නියම ගැන ඉගැන්වෙන්නෙ නිව්ටන්ට කලින් කිසිම දෙයක් වුනෙ නැති විධියට. නිව්ටන්ගෙ දෙවැනි නියමයෙන් පළමුවැනි නියමය ලබාගන්න පුළුවන්. ඇයි එහෙනම් පළමුවැනි නියමයක්. ඒ ඇරිස්ටෝටල්ගෙ චලිත නියම වැරදි කියලා කියන්න. ඒක විශ්වවිද්‍යාලෙ කියලා දෙන්නෙ නැහැ. අපේ ක්‍රමයෙ සංදර්භයට ඉතිහාසයට තැනක් දෙනවා. බුදුහාමුදුරුවන්ගෙ සූත්‍රවල සංදර්භයක් තියෙනවා. අඩු තරමෙන් ඒක ඉගෙන ගනිමු.


චන්න මට විද්‍යුත් ලිපියක් එවලා තිබුනා. ඒ වගේ ම මුහුණු පොතේ ප්‍රතිචාරත් දක්වල තිබුනා. ඔහු  ඉතිහාසය ගැන පොතේ සඳහන් කරල තියෙනව නම් හොඳයි. මා පොත කියවා නැහැ. චන්න පොඩි නිවැරදි කිරීමක් කරල තියෙනවා. ඒක සඳහන් කරන්න ඕන. ඔහු කියන්නෙ නාථ හා විපස්සක දෙවිවරුන් (මේ ප්‍රියන්තා  කියන පරිදි මහා විලච්චිය ප්‍රදේශයේ කලකට පෙර ජීවත්ව මියගිය  වෙදමහතෙක්) නමින් හැඳින්වෙන ප්‍රාණීන්ගෙන් ආසනික් ගැන කියැවුනත් ජලය හා පස සඳහන් වුනෙ ඔහුගෙන් කියලා. මා ඒ සාකච්ඡාවට හිටියෙ නැහැ. නාථ, විපස්සක දෙවිවරුන් හා චන්න අතර සාකච්ඡාව තිබුණෙ ප්‍රියන්තා මගින්. මා දෙවිවරුන් සමග එක සාකච්ඡාවකට පමණයි සහභාගි වී ඇත්තෙ. ඒත් ඔවුන්ගෙ වැරදි ගැන කියන්න. අප මතක තබාගත යුතු කරුණක් තිබෙනවා. මේ අදෘශ්‍යමාන ප්‍රාණීන්ට ද අපට වගේ ම වැරදි සිද්ධ වෙනවා. ඔවුන් ද පෘථග්ජනයන්. එහෙත් ඔවුන්ට අපට නොපෙනෙන දේ පේනවා. ඔවුන්ට අපට වඩා වෙනත් ආකාරයක ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් තියෙනවා. ඒ වගේ ම කියන්න ඕන කාරණය තමයි අපට ඒ ප්‍රාණින් සමග සංනිවේදනය කරන්න වෙන්නෙ තවත් අයකු මගින්. අපට ඇසෙන දේ ඒ ප්‍රාණියගේ ද නැත්නම් අර අනෙක් අයගේ ද කියා දැනගන්න එක තරමක ප්‍රශ්නයක්. හොඳම ක්‍රමය තමයි අපේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගෙන අප ම ප්‍රත්‍යක්‍ෂයෙන් යම් යම් දේ දැනගැනීම. එසේ බැරිනම් තමන් ම අදෘශ්‍යමාන ප්‍රාණීන් සමග සංනිවේදනය කිරීම. අප යොදාගත්තේ තුන්වැනි ක්‍රමය වෙනත් අයකු මගින් සංනිවේදනය කිරීම. 

අපේ රටේ අදෘ්‍යමාන බලවේග සමග ගනුදෙනු කරන පුද්ගලයන් රාශියක් ඉන්නවා. ඔවුන් අතර බොරු කාරයනුත් ඇති. ඔවුන්ට සහතික ගේන්න යැයි අපට කියන්න බැහැ. අප සහතික මත පදනම් ව ක්‍රියා කරන්නේ නැහැ. සහතික සුද්දන්ගේ ක්‍රමයක්. මට මේ අය කිහිප දෙනකු හමුවී තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයට කලින් අඩුම තරමෙන් අදෘශ්‍යමාන ප්‍රාණීන් සමග ගනුදෙනු කරන තුන්දෙනකු කියා සිටියා මහින්ද පරදින බව. එක් අයකු තකහනියක් අපේ නිවසට පැමිණ ඒ බව කීවා. ඔවුන් කියන්නේ ඇත්ත ද කියන එක ගැන මට සැකයක් තිබුණ බව කියන්න ඕන. කිසිවකු ඔහු දිනන බවක් කීවේ නැහැ. මහින්ද පැරදෙන බව කී අය ඔහු දිනවීමට නම් ජනතාව හැකිතාක් ධාර්මික විය යුතු බව කීවා. අද වුනත් එසේ කරන්න පුළුවන් නම් හොඳයි. මහින්ද ගැන කී කතා මා ටික දෙනකුට පමණක් කීවා. සමහර අය ඉතිහාසය ඉගෙනීමට ඒ අදෘශ්‍යමාන ප්‍රාණීන් හමුවෙනවා. මා ද ඔවුන්ගෙන් යම් යම් දේ ඉගෙන ගන්නවා. 

මට කියන්න තිබෙන දෙවැනි කරුණ මගේ විදේශගත වීම. මගේ ජීවිතයේ පෞද්ගලික කොටස සීමිතයි. ඒ නිසා මේ ගැනත් කෙටි විස්තරයක් කරන්න පුළුවන්. දැනට වසරකට පමණ පෙර මට සුළු හෘදයාබාධයක් වැළඳුනා. මගේ රුධිර පීඩනය ඉතා වැඩි වුනා. චන්න ජයසුමනත්, විශේෂඥ වෛද්‍යවරයකු වන අරුණ මුණසිංහත් (උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල සටනේ කොළඹ වෛද්‍ය පීඨයේ  ශිෂ්‍ය නායකයා . මේ සටනේ ඉතිහාසයත් තවම ලියවිලා නැහැ. ඒ ලියැවෙන්නේ ජ වි පෙ පැත්තෙන් පමණයි) මට වහාම රෝහලට ඇතුල්වන ලෙස කීවා. මගේ වෙදමහතා වන සරත් කෝට්ටයාවත්තත් එතැන හිටියා. ඔහුත් විරුද්ධ වුනේ නැහැ. මට රෝහලේ දී හදවත් නාළිකා බද්ධයක් (බයිපාස් සැත්කමක්) සිදු කළා. නාමල් විජේසිංහ හා රජීව පීරිස් යන වෛද්‍යවරු එහි දී මූලිකත්වය ගත්තා. චන්න ඇතුළු මේ සියළු දෙනාට ම මගේ ජීවිත කාලය දික් කිරීම පිළිබඳ ව මා අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා. එහි දී මගේ භාර්යාවත් දරුවනුත් සහෝදර සහෝදරියනුත් හිතවතුනුත් දැක්වු සැලකිල්ල හා සෙනෙහස ඉමහත්. රෝහලේ දී මා තීරණයක් ගත්තා මගේ මුණුබුරන් සමග ඇමරිකාවේ ටික කාලයක් ගත කළ යුතු ය කියාත් පවුලේ අය සමග චාරිකාවක යා යුතුය කියාත්.  

තාවකාලික ව වුවත් විදේශහත වීමට තවත් හේතුවක් තිබුණා. මා ශාරීරික ව ලංකාවේ ජීවත්වීම  අනිවාර්ය නොවන බවට දේශපාලනඥයන් හා ජනමාධ්‍යවේදීන් හා ජනතාව වග බලාගෙන තිබුණා. මහින්දවත් අනෙක් අයවත් මා කියන කිසිම දෙයකට ඇහුම්කම් දුන්නේ නැහැ. දිනේෂ් ගුණවර්ධන හැරුණු විට මට කිසිවකු හමුවීමටවත් නොහැකි වුනා. කොහොමටත් මා දේශපාලනඥයන් ඇසුරු කරන්නේ අතේ දුරෙන්. අප රැස්වීමක් පැවැත්වූ විට විසිපස් දෙනකුට වඩා පැමිණියේ නැහැ. සමහරවිට රැස්වීමකට එක් අයකු වෙනුවෙන් වියදම් කළ මුදල සාමාන්‍යයක් ලෙස රුපියල් විසිපන්දාහක් පමණ වුනා. රැ්ස්වීමක් හෝ මාධ්‍ය සාකච්ඡාවක් හෝ පැවැත්වු විට ජනමාධ්‍ය තුන හතරකට වඩා සහභාගි වුනේ නැහැ. ඔවුන්ගෙන් ලැබුනේ අවම ප්‍රචාරයක්. විද්‍යුත් මාධ්‍ය අප සැලකුවේ කුණු රොඩු ලෙසයි. ඔවුන්ගෙන් ප්‍රචාරයක් ලැබුණේ ම නැහැ. මා ලිපි සැපයූ මුද්‍රිත මාධ්‍ය ඒ ලිපි යළට මහට මෙන් පළකරන්න පටන්ගත්තා. ගාමිණී සුමනසේකර ඉරිදා දිවයිනෙන් ද ගාමිණී වීරකෝන් අයිලන්ඩ් පුවත්පතෙන් ද කතෘ ධුරවලින් ඉවත්වුවාට පසු සතිපතා නිත්‍ය වශයෙන් ලිපියක් පළකරගන්න බැරිවුනා. ඉරිදා රිවිරත් විදුසරත් ලිපි පළකිරීමට පසුව උනන්දුවක් දැක්වූයේ නැහැ. ලංකාවේ සිටියත් ඇමරිකාවේ සිටියත් මට කළ හැක්කේ මුහුණු පොතට හා කාලය වෙබ් අඩවියට ලිවීම පමණයි. ඒ අනුව මා රෝහලේ දී ගත් තීරණය ක්‍රියාත්මක කර ඇමරිකාවට ආවා. මා සැප්තැම්බර් මුල ආපසු ලංකාවට යනවා. ඒත් ලිවීම නතර කරන්නේ නැහැ. අදහස් ගලා ඒම නතර කරන්නත් බැහැ. ජනමාධ්‍ය ගැන නොසිතන නිසා දෝ මගේ රුධිර පීඩනය දැන් සාමාන්‍ය තත්තවයට පැමිණ තිබෙනවා. ආපසු ගිය විට ඒ වැඩිවෙන්නත් පුළුවන්. ඇතැම් දේශපාලන වෙබ් අඩවිත් මගේ ලිපි පළකරන්නේ නැහැ. මගේ අදහස්වලට කිසිම තැනක් දෙන්නෙත් නැහැ. ඒ ඔවුනගේ ව්‍යාපෘතිය සමග මා එකඟ නොවන නිසා වෙන්න පුළුවන්. ඔවුන් එසේ කළත් සිංහල බෞද්ධ සංස්කෘතිය වගේ ම මා ද වට්ටවන්න  බැහැ. (මතු සම්බන්ධයි)



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

නලින් ද සිල්වා

2016 අගෝස්තු 05