තෙත් වැසි වනාන්තරවල ඇවිදිද්දී කූඩැල්ලෝ එල්ලෙන එක නවත්තන්නේ කොහොමද? | How to stop leeches when hiking/trekking in rain forests


















දිය ඇළි බලන්න, කුරුල්ළන් බලන්න, ස්වභාවධර්මයේ සුන්දරත්වය විඳගන්න, පර්යේශණ වැඩ වලට තෙත් වැසි වනාන්තරවල ඇවිදින අයට තියෙන ලොකු ගැටලුවක් කූඩැල්ලන්ගෙන් බේරී සිටින එක. පිරිමින්ටත් වඩා කාන්තාවන්ට මේ ගැටලුව බරපතලයි.


කූඩැල්ලෙක් ඇඟේ එල්ලිලා ඉන්නවා දැක්කම යටිගිරියෙන් මොරදෙන තරුණියන් වගේම වැඩිහිටි කාන්තාවන්ද මම දැක තියෙනවා. කොහොමද කූඩැල්ලනෙ ගෙන් බේරෙන්නේ?? 

කූඩැල්ලා ගැන තොරතුරු බිඳක්

කූඩැල්ලා තෙත් කලාපීය ප‍්‍රදේශවල සුලබව දක්නට ලැබෙන සතෙකි. මිනිස් ජීවිතයට මාරක තර්ජනයක් නොමැති වුවද යම් යම් අනතුරු ඇති කරන මෙන්ම මිනිසාගේ බියටත්, පිළිකුලටත් ලක්වූ සතකු ලෙසද කූඩැල්ලා හැඳින්විය හැකියි. 

කූඩැල්ලන් ප්‍රබේධ 700ක් පමණ හඳුනාගෙන ඇති අතර මින් 100ක් පමණ මුහුදු කූඩැල්ලන් වේ. 90ක් පමණ ගොඩ කූඩැල්ලන් වන අතර ඉතිරි සියල්ලම මිරිදිය කූඩැල්ලන් වේ. මෙම දිය සහ ගොඩ කූඩැල්ලන් වර්ග දෙකම ශරීරයේ එල්ලී ලේ උරාබීමෙන් පසුව එම ස්ථානයේ කැසීමක් ඇති වේ. එමෙන්ම ඉදිමීමක් ඇති වේ. 

කූඩැල්ලන් ලේ උරාබොනවිට ලේ කැටිගැසීම වැලැක්වීම සඳහා හිරුඩින් නැමති එන්සයිමයක් සපන තැනට මුදා හරී. එවිට බාධාවකින් තොරව හැකිතාක් ලේ උරාබීමට කූඩැල්ලාට හැකිවේ. කූඩැල්ලෙකු ඉවත්කල පසු එතනින් යම් කාලයක් ලේ ගලා යන්නේ මෙම හිරුඩින් එන්සයිමයේ ක්‍රියාකාරිත්වය නිසාය.

පණුවන් ගණයට අයත්වන කූඩැල්ලන්ගේ සමීපතම ඥාතියා වන්නේ ගැඩවිල් පණුවාය. විවිධ ප්‍රමාණවලින් කූඩැල්ලන් වර්ග දකින්නට ඇති අතර විශාලම කූඩැල්ලා වන්නේ ජයන්ට් ඇමසන් ලීච් ලෙස හඳුන්වන, අඟල් 18ක් පමණ විශාල යෝධ කූඩැල්ලාය. එම කූඩැල්ලා ඇමසන් වනාන්තරයේ ජීවත්වේ.


රත්නපුරය, බදුල්ල, බණ්ඩාරවෙල වැනි තෙත් කලාපීය පරිසරයේත්, රබර් වතු ආශි‍්‍රතවත්, සිංහරාජය, කන්නෙලිය, නාකියාදෙනිය වැනි තෙත්කලාපීය වනාන්තරවලත් බහුලව ව්‍යාප්ත වී සිටින ගොඩ කූඩැල්ලන් සාමාන්‍යයෙන් අඟල් 0.3 පමණ සිට අඟල් 3ක් දක්වා දිගුවේ.

තමන්ගේ සිරුරේ ප්‍රමාණය මෙන් 5ගුණයක් රුධිරය උරාබීය හැකි කූඩැල්ලාට වසරක් පමණ නිරාහාරව වුවද සිටිය හැකිය. උභයලිංගික (hermaphrodite) සතෙකු වන කූඩැල්ලාට ගැහැනු හා පිරිමි ප්‍රජනන ඉන්ද්‍රිය ඇති අතර ඒ අනුව බිත්තර දමා පැටවුන් බිහිකිරීම සඳහා කූඩැල්ලන් ලිංගිකව එක්වීමක් අවශ්‍ය නැත.

කූඩැල්ලෙක් එල්ලුනුවිට ඉවත් කිරීම

ඉතා වැදගත්!! කූඩැල්ලන් ශරීරයේ එල්ලී සිටින විට අතින් ඇද ගලවා දැමීම නොකළ යුතුයි. එවැනි අවස්ථාවලදී ඩෙටෝල් දියර, ලුණු දියර, අළු හෝ සබන් දියර දමා කූඩැල්ලා ඉවත් කළ යුතුයි. 

කූඩැල්ලෙකු අතින් ඇද ඉවත්කල හොත්, එම තුවාලය පැසවන්නට ඉඩ ඇති අතර සුවවීම සඳහා බොහෝ කල් ගතවේ.

සිංහරාජ, කන්නෙලිය වැනි කූඩැල්ලන් බහුල වනාන්තර හා වතුවල ඇවිදින විට කූඩැල්ලන් එල්ලීම වලක්වා ගන්නා පහසු ක්‍රමයක්! - ලීච් සොක්ස් හෙවත් කූඩලු මේස්

කූඩලු මේස් පැළඳගෙන සිංහරාජයේ සැරිසරන දේශීය සංචාරකයින් කිහිපදෙනෙකු































































කූඩලු කරදරයෙන් මිදී සැනසිල්ලේ වැසි වනාන්තරයක ඇවිදින්නට කියාපු විසඳුමකි කූඩලු මේස්. සිංහරාජයේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ මේවා එකක් රු.300 ගණනේ විකිණීමට ඇත. ගොරෝසු අමු කපු රෙදිවලින් මසා ඇති මෙම මේස් සාදාගැනීම ඉතා පහසුය. 

තමන්ම සාදාගන්නේ නම් අවශ්‍ය වන්නේ පරණ කපු හෝ ඩෙනිම් කලිසමක් පමණකි. කලිසමේ කකුල් අඩි 3ක්/4ක් පමණ දිගකින් කපාගන්න. සිහින් කෙලවර ඝණ නූලකින් මසා හෝ ට්වයින් වැනි නූලකින් හොඳන් බැඳගන්න. ඔබගේ පාද ඇතුලුකල යුත්තේ එම කොටසටයි.

මේස් දැමූ පාද, කූඩලු මේස් තුලට ඇතුලුකොට, සපත්තු දමාගන්න. කූඩලු මේස් වල අනෙක් කෙලවර තුලට ඔබ හැඳ සිටින කලිසමේ කකුල් ඇතුලු කරන්න රෙදිපටිවලින් එම ස්ථාන හොඳින් බැඳගන්න.

කූඩැල්ලන් සපත්තුවලට ගොඩ වුනද, කූඩලු මේස් කුට්ටමේ ඝණ රෙද්ද හා ඔබගේ සපත්තු මේස් තුලින් සපාකෑමට නොහැකිව අසරණව සිටිනු දකින්නට හැකිය. 

කූඩැල්ලන් සපත්තුවට ගොඩවනු වැලැක්වීමටද ඕනෑනම්, ඩෙටොල් වතුර, සබන් වතුර, භූමිතෙල් වැනි දියරයක් සපත්තුවට හා කූඩලු මේස් මතට ඉස ගන්න.

කෙසේවෙතත් ගස්වල ඉහල අතුවල ඉන්නා කූඩැල්ලන් ඇඟට වැටීමට හෝ අතුපතර අතරින් යනවිට ඔබගේ දෑත් වල එල්ලීමට හැකි බැවින් කල්පනාකාරී වන්න. වාටිය විශාල (broad brimmed hat) තොප්පියක් පැලඳීමෙන් හිසට, බෙල්ලට කූඩැල්ලන් වැටීම අවමකරගත හැක. එමෙන්ම දැඩි හිරු රෂ්මියෙන් ආරක්ශාවීමටද මෙය උපකාරී වනු ඇත. 


උරහිසේ සිට පහලට දෑත්වල සිද්ධාලේප හොඳින් ආලේපකර ගැනීමෙන් දෑත්වල එල්ලීම අවම කරගත හැකිය.

කූඩැල්ලන් එල්ලිමේ කරදරය ඇති වැසි වනාන්තර වල ඇවිදින්නට යද්දී ගෙන යායුතු දේවල් හා හැඳ පැළඳිය යුතු ආකාරය

1] කූඩලු මේස් කුට්ටම

2] සැරට හැදූ ඩෙටෝල්, සැරට හැදූ සන්ලයිට් සබන් දියර / සැරට හැදූ ලුණු දියර / දියකල ඩිටර්ජන්ට් දියර හෝ පිරිසිදු කිරීමේ දියර පිරවූ ස්ප්‍රේ කෑන් එකක්.

3] ගොරෝසු ඩෙනිම් හෝ ඝණ කපු කලිසමක් (කාන්තාවන් සායවල් ඇඳීමෙන් වලකින්න )

4] කපු කමිසයක් හෝ පහසු ටී ශර්ටයක්

5] වාටිය විශාල (broad brimmed hat) තොප්පියක් 

6] ලොකු සිද්ධාලේප බෝතලයක්

7] කුඩා ප්‍රථමාධාර පෙට්ටියක් - කැලෑව තුල සිදුවිය හැකි සුළු අණතුරු වලදී ප්‍රථමාධාර සඳහා.





__________________________________________________________________________

Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments