දැල්පන්දු ශූරතා දෙකක් කුරුණෑගලට

663

  • Milo Netball All Island Champions 2016
    Milo Netball All Island Champions 2016 (U14 & U18) - Holy Family Convent Kurunegala

ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමයත් අඛණ්ඩව 25වැනි වරට නෙස්ලේ ආයතනයේ සවිබල ගැන්වීමෙනුත් පැවති සමස්ත ලංකා දැල්පන්දු ශූරතාවලිය දින තුනක් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදි පැවත්විය. වට තුනක් පුරා දිවගිය තරගාවලියේ ආරම්භක වටයට පාසල් 1000ක් පමණ සහභාගී වූ අතර ශූරතාවලියේ අවසන් වටයේ තරග ඊයේ (01) මාතර පාපන්දු සංවර්ධන මධ්‍යස්ථාන පිටියේදි පැවැත්විය.

තරගාවලියේ ඡායාරූප ඇල්බම සදහා පිවිසෙන්න

එහිදි දක්ෂ ලෙස ක්‍රීඩා කල කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විදුහල් ක්‍රීඩිකාවන් ශූරතාවයන් දෙකකට හිමිකම් කීමට සමත් විය. ශූරතාවලිය ප්‍ර‍ධාන වයස් කාණ්ඩ 3කින් පැවති අතර ඒවා 14න් පහල, 16න් පහල සහ 18 පහල වේ.

ගියවර දෙස බැලීමේදි කුරුණෑගල ශුද්ධ වු බාලිකා විදුහල් ක්‍රීඩිකාවන් වයස් කාණ්ඩ 3න්ම අවසන් වටයට පිවිසියත් මෙවර ඔවුන්ට ලගා වීමට හැකි වූයේ වයස් කාණ්ඩ 2කින් පමණි.

ශුරතාවලියේ 14න් පහල අංශයේ අර්ධ අවසන් පූර්ව වටයේදි කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය විසින් කොළඹ ගෝතමී බාලිකා විදුහල ලකුණු 18/06 ලෙස පරාජය කරමින් ද, කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විදුහල විසින් කොළඹ මියුසියස් විදුහල ලකුණු 19/09 ලෙස පරාජය කරමින්ද අවසන් වටය දක්වා පැමිනීමට සමත් විය.

14න් පහල අවසන් මහා තරගයේදි වඩාත් සටන්කාමී ලෙස ක්‍රීඩා කල ක්‍රීඩිකාවෝ තරගය නිමා කරන විට 14-14 ලෙස සම තත්වයක පසු වූ අතර අතිරේක මිනිත්තු කිහිපයේදි කුරුණෑගල ක්‍රීඩිකාවෝ සුක්ෂම ලෙස ලකුණක් වැඩිපුර වාර්තා කරමින් 18-17 ලෙසින් තරගයේ ශූරතාවය සිය නාමය යටතට ගැනීමට සමත් විය. තරගයේ තෙවැනි ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයට හිමිවිය.

ගියවර 16න් පහල ශූරතාවය දිනා ගත් කුරුණෑගල ශුද්ධ වු පාසල් කණ්ඩායමට තෙවැනි ස්ථානයට ඒමටවත් නොහැකි වෙමින් ශූරතාවය කොළඹ විශාඛාවන් විසින් ලබා ගන්නා ලදි.

අර්ධ අවසන් වටයේදි 22/15 ලෙස කොළඹ කාන්තා විදුහල් කණ්ඩායම පරාජය කරමින් කළුතර බාලිකා විදුහල ද, 18/08 ලෙස මලියදේව බාලිකා විදුහල පරාජය කරමින් කොළඹ විශාඛා විද්‍යාලයද අවසන් වටයේදි තරග වැදිනි.

එයද 18/17 ලෙසින් එක් ලකුණකින් ජය වාර්තා කිරීමට  කොළඹ විශාඛා ක්‍රීඩිකාවෝ සමත් විය. තෙවැනි ස්ථානය කුරුණෑගල මලියදේව විදුහලට හිමිවිය.

වඩාත්ම අවධානය දිනාගත් තරගය වු 18න් පහල අංශයේ ශූරතාවය දිනාගැනීමට සමත් වුයේ කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විදුහල් කණ්ඩායමයි.

ඔවුන් අවසන් වටයට අසුන් වෙන් කරගත්තේ 30/12 ලෙසින් කොළඹ විශාඛා විදුහල පරාජය කරමිනි.

කුරුණෑගල බාලිකාවන්ගේ ප්‍ර‍තිවාදීන් වු කොළඹ ආනන්ද විද්‍යාලීය කණ්ඩායම අවසන් වටයට පිවිසියේ කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩිකාවන් 24/12 ලෙස පරාජය කරමිනි. 18න් පහල තෙවැනි ස්ථානය කොළඹ විශාඛා විදුහලට හිමිවිය.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවන් ලෙස

  • 14න් පහල – ශාන්ත බ්‍රිජට් විදුහල් ක්‍රීඩිකා රොශේල් ප්‍ර‍නාන්දු
  • 16න් පහල – කොළඹ විශාඛා විදුහල් ක්‍රීඩිකා නෙලනි අමා විජේසිංහ
  • 18න් පහල – කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විදුහල් ක්‍රීඩිකා පබසරා තෙන්නකෝන්

යන ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්විය.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට