30 July 2016

අරුග්ගොඩ වෙල් යාය

මා පානදුර කුඩා අරුග්ගොඩට ආ දා පටන් මා සිත් ගත් ස්ථාන කිහිපයක් වෙයි. ඒ අතරින් බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළ ප්‍රධාන තැනක් ගනියි. ඒ ගැන මා පෙර ලිපියකින් සදහන් කර ඇත.

රුක් ගහ තොටුපොළ හැරුණ විට මා සිත් ගත් අනෙක් ස්ථානය වන්නේ අරුග්ගොඩ වෙල් යායයි. නිලට නිලේ දිස්වන වෙල්යාය දෙස කෙතරම් වෙලාවක් බලා සිටියත් මා සිතට මදි ය. ඒ තරම් මා සිත්ගත් ස්ථානයකි.

වෙල් යාය මැදින් කුඩා දිය පහරක් වෙති. එහි කුඩා තිත්තයින් ද පෙතියන් ද දණ්ඩි කොරලි වැනි කුඩා මත්සයින් ද වෙති. දොල පහරේ ඔහේ පිහිනන ඔවුන් දෙස මා බලා සිටින්නේ ඉමහත් ආශාවකිනි.

එසේම දොළ පහරට මදක් ඔබ්බෙන් කුඩා පැළක්ද වෙයි. දහවල් ගිනි රශ්මියේ වැඩ කරන ගොවීන්ගේ විඩාව මදක් සංසිදුවන තැනකි මේ, පැල. එසේම ඔවුන් දහවල් ඇඹුල භුක්ති විඳින ස්ථානය ද මෙයම වෙති. මේ පැලට ගොඩ වී මා ද මද වෙලාවක් ගත කරන්නත් අමතක නොකරමි.


අගෝස්තු පාසල් නිවාඩුවේ දී නම් වෙල් යායට කාර්ය බහුල කාළයකි. ගමේ කොල්ලෝ කුරුට්ටන්ගේ කෙළි මඩලක් බවට මේ වෙල් යාය පත් වේ. එසේම ඔවුන් බොහෝමයක් මේ වෙල් යායට එන්නේ සරුංගල් යැවීමට ය. එකිනෙකාට නොපරදින ලෙස ඔවුන් සරුංගල් උඩ යවයි. ඒ සරුංගල් නිසාවෙන් නිල් අහස සිත්තරෙකුගේ තෙළි තුඩගින් හැඩවූ  අපූරු සිත්තමක් සේ පෙනේ.

ඒ සියල්ලටම වඩා මා සිත්ගන්නේ වෙල කෙරවළෙහි ඇති රබර් ගස් යාය වෙයි. කලින් කලට විවිධ වර්ණයන් ගෙන දෙන අපූරු සිත්තමකි මේ, රබර් යාය.

සමහර කාළයේදි කොළ පාටින් ඇතිරූ ඇතිරිල්ලක් සේ දිස්වන මේ රබර් යාය, තවත් කලෙක කහ තැඹිලි පැහැයක් ගනී. ඒ රබර් ගස් වල කොළ හැලෙන කාලෙට ය. රබර් යාය දළු ලන කලෙක ලා කොල පාට තීරක් සේ දිස් වේ.

එසේම රබර් යාය කෙලවරින් කුඩා අතුරු පාරක් ද වෙයි. රුක්ගහ පානදුර පාරත් රටියලාගොඩ බටදොඹතුඩුව පාරත් සම්බන්ධ කරන කුඩා පාරකි මෙය. මේ පාරේ ගමන් කිරීමට ද මා ආසා කරයි. ඒ රබර් යායේ සිහිලස නිසා බව මා කිව යුතුමය.

මෙවැනි සුන්දර පරිසරයක සුවපහසුව විඳින්නට මට ලැබෙන්නේ සති අන්තයේ පමණි. ඒ අනෙක් දවස් පහේම මා කොළඹ රාජකාරි කිරීම සදහා යා යුතු වීම නිසා ය. එහෙත් හැකි හැම විටෙකම මා මෙහි රැදෙන්නට  අමතක නොකරමි.

මගේ දරුවෙකුට හෝ මෙම පරිසරයේ සුන්දරත්වය විඳින්නට ලැබුනොත් ඔහුත් මා මෙන්ම මෙහි ගත කිරීමට බොහෝ සෙයින් කැමති වෙනු නොඅනුමාන ය.

3 comments:

  1. අපූරුයි සංකල්ප. මේ ලිපියත් ආශාවෙන් කියෙව්වා. ඇත්තමයි ඔය කියන ලස්සන පළාත බලන්න එන්න හිතෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. https://www.facebook.com/daya.bamunusinghe?fref=ts
    මෙන්න අරුග්ගොඩ ගමේ කෙනෙක් ගැන විස්තරයක්.

    ReplyDelete
  3. අහා අරුක්ගොඩ! නවසිය බර ගණන්වල මගේ මුළු ළමාකාලයම ගෙවුනෙ ඔය පලාතෙ තමා. අපි අළුබෝමුල්ලෙ. ඉස්සෙල්ලාම ඔය පාරවල්වල පයින් ඇවිද්දා. ඊට පස්සෙ බයිසිකල් පැද්දා.

    මේක කියෙව්වාම. ඉස්සෙල්ලාම කලේ ගුගල් ස්ට්‍රීට් එකෙන් ඒ පාරවල් දිගේ ගිය එකයි. දැන් ඔක්කොම වෙනස් වෙලා. ඒත් වෙල්යාය, පාලම් පාරුව වගේ සිහිවටන තාම තියනවා, මගේ මතක පිය සටහන් ඔස්සේ යන්න :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.